Loading...
චැට් තේමාවන්, සජීවී විකාශන පටිගත කිරීම, සමූහවල පණිවිඩ කියවීම සහ තවත් යාවත්කාලීන කිහිපයක් ටෙලිග්‍රෑම් ආයතනය විසින් ලබා දෙයි

පරිශීලකයින්ගේ සිත් දිනාගත් Telegram යෙදුම මෙවර සැප්තැම්බර් update එක ද නිකුත් කිරීමට කටයුතු යොදා ඇත. එම සමාගම විසින් අගෝස්තු මාසයේදී නිකුත් කළ unlimited live stream පහසුකමට Recording පහසුකමද එකතු කරමින් එයිට අමතරව මෙවර ඉතා ආකර්ෂණීය සිත්ගන්නා සුළු පහසුකම් කිහිපයක්ම තම පරිශීලකයින් හට ලබා දීමට කටයුතු කර ඇත.

Chat Themes

මෙවර update එක මගින්  නිකුත්කර ඇති ආකර්ෂණීයම පහසුකම ලෙස chat themes එනම් සංවාද තේමා පහසුකම පෙන්වාදිය හැකියි. මෙම යාවත්කාලීනයෙදී විශේෂයෙන් පෞද්ගලික සංවාද සඳහා ඔබට නව තේමාවන් 8ක් ලබා දී ඇත. එම සියලු තේමාවන් වර්ණවත් මෙන්ම අද්විතීය පසුබිම් රටාවලින් සමන්විත වේ. අදාල සංවාදයේ ඉහල ඇති තිත් තුන (...) touch කර "Change Colors" යන්නෙන් ඔබට එය වෙනස් කළ හැකිය.

තවද ඔබ එම තේමාවන් වෙනස් කිරීමෙන් පසු සමඟ සංවාදයේ යෙදෙන අනෙක් පුද්ගලයාටද එම වෙනස සංවාදය තුල දැකගත හැකිය. එමෙන්ම සෑම තේමාවක ම දිවා රාත්‍රි ලෙස කොටස් දෙකක් ඇති අතර ඔබේ යෙදුමෙහි dark mode හිදී ද එය ඉතා හොඳින් ක්‍රියා කරයි.

අන්තර් ක්‍රියාකාරී ඉමෝජි

මෙම යාවත්කාලීනය මගින්, දැනටමත් ලබා දී තිබූ සජීවීකරණ ඉමෝජි touch කිරීමෙන් පූර්ණ තිරය (full screen) සඳහාම බලපාන ලෙස ක්‍රියා කරන සජීවීකරණ කිහිපයක් දක්නට ලැබේ. එනම්, පෙර එම ඉමොජි touch කිරීමේදී සිදුවූ vibrate වීමට අමතරව දැන් මුළු තිරයම ආවරණය වන ලෙස ක්‍රියා කිරීමක් සිදුවේ. දැන් ඒවා ඉතා ආකර්ෂණීය ලෙස ක්‍රියා කරන අතර මෙහිදී ඔබ සහ ඔබ සමග සංවාදයේ යෙදෙන අනිත් පුද්ගලයාගේද chat open කර තිබෙන අවස්ථාවේදී එම ඉමෝජී වල බලපෑම එනම් එය ක්‍රියා කිරීම ඔහුට ද දැක ගත හැකිය. මෙය දැනට ක්‍රියාත්මක වන්නේ පෞද්ගලික සංවාද තුල පමණි.

සජීව විකාශනයන් පටිගත කිරීම

සංවාද තේමාවන් සහ සජීවීකරණ ඉමෝජි පෞද්ගලික සංවාද සඳහා සීමා වුවද Live Stream Recording පහසුකම සමූහ සහ නාලිකා සඳහාම වෙන්වූ වූවකි. අසීමිත පරිශීලකයින් ගණනකට සහභාගි විය හැකි ලෙස දියුණු කළ video calls සහ live stream පහසුකමහි දැන් පහසුවෙන්ම වීඩියෝ සහ ශබ්දය යන දෙකම පටිගත කිරීමේ හැකියාව ඇත. අදාල සමූහයේ හෝ නාලිකාවේ ඇඩ්මින්වරුන්ට පටිගත කිරීම ආරම්භ කළ හැකි අතර එය විකාශන තිරයේ ඉහළ ඇති තිත් තුන (...) හි "Start Recording " යන්නෙන් පහසුවෙන් සිදු කළ හැක.

සිරස් හෝ තිරස් අතට පටිගත කිරීම සිදු කළ හැකි අතර වීඩියෝ සංවාදයේ මාතෘකාව අසල රතු තිත මගින් එය පටිගත වන බව ඕනෑම අයකුට දැන ගැනීමට හැකිය. පටිගත කිරීම අවසන් වූ පසු එම පටිගත කිරීම් අදාල ඇඩ්මින්වරයාගේ Saved Messages හි ඇතුලත් වන අතර එය අනෙක් සාමාජිකයින් සමඟ පහසුවෙන් හුවමාරු කර ගත හැක. මෙම පහසුකම මගින් අදාල අවස්ථාවේ එම සංවාදය මගහැරුණු පුද්ගලයකුට වුවද පහසුවෙන් එය නැරඹීමේ හැකියාව ඇත.

කුඩා සමූහවල ඔබේ පණිවිඩය කියවූ අය

සාමාන්‍යයෙන් සමූහයක් තුල ඔබ පණිවිඩයක් යැවූ පසු කවුරුන් හෝ එය කියවූ විගස (✓✓) ලෙස සලකුණු කෙරේ. නමුත් දැන් ඕනෑම කුඩා සමූහයකට, එනම් සාමාජිකයන් 50ට අඩු සමූහ වලට ඔබ යම් පණිවිඩයක් යැවූ පසු එය කියවූ අය කවුරුන්ද යන්න ඔබට දැක බලා ගත හැකිය. නමුත් පරිශීලකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඕනෑම පණිවිඩයක එය කියවූ පුද්ගලයන් කවුරුන්ද යන්න සටහන් වන්නේ දින හතක් පමණි.

මෙවර යාවත්කාලීනය ඉතා ඉක්මනින් නිකුත් කල අතර එහි හේතුවක් ලෙස ඔවුන් සදහන් කරන්නේ ඔවුන්ගේ database වල සිදු වූ migration එකක් බවයි. එනම් 2013 සිට ඔවුන් භාවිතා කල "int32" storage system එක පරිශීලක සංඛ්‍යාවේ වැඩි වීමත් සමගම User ID වල සහ Bots, Channels සැකසීමේ පහසුකම ක්‍රමයෙන් අවසන් වීමත් හේතු කොටගෙන "int64" වෙත මාරු කර ඇත. මෙය නිසාවෙන් පරිශීලකයින්ට යාවත්කාලීන කිරීමේදි පහත ආකාරයේ ක්‍රියාවලියක් දක්නට ලැබේ.

ඔබගේ ගිණුමට සම්බන්ධ වී පවතින database එකෙහි size එක අනුව මෙම ක්‍රියාවලිය සදහා වැඩි කාලයක් ගත විය හැකි අතර, මෙම පණිවිඩයෙන් පසුව updating... යන්නෙන්ද යම් වෙලාවක් දක්නට ලැබේ. ඒ සදහා ඉවසීමෙන් කටයුතු කරන ලෙසත්, යම් ගැටලුවක් ඇතොත් https://t.me/tginfosichat හි අප කණ්ඩායම දැනුවත් කරන ලෙසත් පරීශීලකයින්ගෙන් ඉල්ලා සිටින්නෙමු.

එමෙන්ම පසුගිය දින කිහිපයක සිට ඔබට පහත ආකාරයේ confirmation message එකක්ද දිස් වන්නට විය.

අප මේ පිළිබදව අපගේ නාලිකාවේ පැවසූ පරිදි, ටෙලිග්‍රෑම් 7.8 අනුවාදයෙන් පසු අනුවාදවලදී, ඔබේ ටෙලිග්‍රෑම් ගිණුමට සම්බන්ධ දුරකථන අංකය නිතරම ඔබ ළග යාවත්කාලීනව තිබෙන බවත් සහ 2FA මුරපදය ඔබේ මතකයේ තිබෙන බවත් තහවුරු කරගැනීම උදෙසා මෙවැනි ක්‍රමවේදයක් ටෙලිග්‍රෑම් ආයතනය විසින් ඇතුලත් කර තිබේ.

මෙහි  "Yes" එබීමෙන් පසුව, මෙම පණිවිඩය ඉවත් වන අතර, ඔබ යම් හෙයකින් "No" යන්න එබුවහොත් ඔබේ ගිණුමට නව දුරකථන අංකයක් එකතු කරන ලෙස යෝජනා කරයි.

කෙසේ නමුත්, ටෙලිග්‍රෑම් පරිශීලකයින් උනන්දුවෙන් සිටින Emoji Reactions යාවත්කාලීනය පිලිබදව තවමත් කිසිදු ඉගියක් හෝ දක්නට නොලැබේ. suggestions.telegram.org හි top suggestion එකක් ලෙස මෙය දක්නට ලැබෙන අතර, එම feature එකද වඩාත් ගුණාත්මකව නිකුත් කරනු ඇතැයි බලාපොරොත්තු විය හැක.

Source: Telegram, Telegram Info Sinhala