කෘත්‍රිම බුද්ධි ක්ෂේත්‍රයේ දැවැන්තයා වන OpenAI සමාගම විසින් ඔවුනගේ ChatGPT සඳහා වූ ‘වැඩිහිටියන්ට පමණක්’ වෙන් වූ විශේෂ අංග ඇතුළත් 'Adult Mode' එළඹෙන වසරේ (2026) මුල් භාගයේදී නිකුත් කිරීමට සූදානම් වන බව නිල වශයෙන් තහවුරු කර තිබෙනවා. මෙමඟින් පාරිභෝගිකයින් දීර්ඝ කාලයක් තිස්සේ ඉල්ලා සිටි, අඩු සීමා කිරීම් සහිත සහ වඩාත් විවෘත සංවාද සඳහා අවස්ථාව හිමි වනු ඇත.
මෙම නව මාදිලිය හරහා පරිශීලකයින්ට වැඩිහිටි සාහිත්‍ය, මානව ලිංගිකත්වය, සබඳතා සහ වඩාත් පරිණත මාතෘකා පිළිබඳව සීමාවලින් තොරව AI සමඟ අදහස් හුවමාරු කර ගැනීමට හැකි වනු ඇත.
OpenAI හි ප්‍රධාන විධායක නිලධාරී Sam Altman මහතා මීට පෙර සඳහන් කළේ, "වැඩිහිටි පරිශීලකයින්ට වැඩිහිටියන් ලෙස සැලකීම" තම සමාගමේ නව දර්ශනය බවයි. ඒ අනුව මේ Adult Mode එක ඔස්සේ වැඩිහිටියන්ට ලිංගිකත්වය, ආදර සබඳතා සහ වඩාත් සංකීර්ණ මානසික සෞඛ්‍ය ගැටලු වැනි මාතෘකා යටතේ වඩාත් ගැඹුරු සංවාද කළ හැකි වනවා. එමෙන්ම නිර්මාණාත්මක ලේඛකයින්ට සහ වැඩිහිටි පාරිභෝගිකයින්ට NSFW (Not Safe For Work) ගණයට අයත් අන්තර්ගතයන් නිපදවීමට සහ කියවීමටත් මේ ඔස්සේ අවස්ථාව ලැබෙනවා. වැඩිහිටි අන්තර්ගතයන්ට අවසර ලැබුණද, බාලවයස්කරුවන් සම්බන්ධ අන්තර්ගතයන්, නීති විරෝධී ක්‍රියා හෝ අසම්මත ලිංගික අන්තර්ගතයන් සඳහා වන තහනම දැඩිව ක්‍රියාත්මක වන බවයි සඳහන් වන්නේ.
මෙම Adult Mode එක සාමාන්‍ය පරිශීලකයින්ට ස්වයංක්‍රීයව විවෘත නොවන අතර එය භාවිතා කිරීමට නම් පරිශීලකයා වයස අවුරුදු 18ට වැඩි බව තහවුරු කළ යුතුය. ඒ සඳහා OpenAI සමාගම නවතම AI Age-Prediction Model එකක්ද පරීක්ෂා කරමින් සිටීන බව වාර්තා වනවා. ඒ අනුව මෙහිදී සාමාන්‍ය වෙබ් අඩවි මෙන් නොව, ChatGPT විසින් පරිශීලකයා කතා කරන ආකාරය, භාවිතා කරන භාෂා රටාවන් සහ හැසිරීම් රටාවන් විශ්ලේෂණය කර ඔවුන්ගේ වයස අනුමාන කරනු ඇත. මීට අමතරව අවශ්‍ය අවස්ථාවලදී පුද්ගල හැඳුනුම්පත් හෝ Selfie ඡායාරූප මඟින් වයස තහවුරු කිරීමට Persona වැනි තෙවන පාර්ශවීය සේවාවන් භාවිතා කිරීමට ද ඉඩ ඇති බවත් වාර්තා වනවා. එමෙන්ම වයස් සත්‍යාපන පද්ධතිය 100% ක් නිවැරදි බවට තහවුරු වන තෙක් Adult Mode එක නිකුත් නොකරන බවත් සමාගම අවධාරණය කර තිබෙනවා.
OpenAI Applications හි ප්‍රධාන විධායක නිලධාරිනී Fidji Simo මහත්මියට අනුව, Adult Mode විශේෂාංගය 2026 වසරේ පළමු කාර්තුව (ජනවාරි - මාර්තු) තුළ එළිදැක්වීමට නියමිත වන අතර මෙහි අත්හදා බැලීම් දැනටමත් ඇතැම් රටවල සිදු කෙරෙන අතර, එය ප්‍රථමයෙන් ඇමරිකා එක්සත් ජනපදය සඳහා නිකුත් වනු ඇතැයි අපේක්ෂා කරනවා. මීට අමතරව මේ විශේෂාංගය බොහෝ විට ChatGPT Plus සාමාජිකයින්ට පමණක් සීමා වීමට ඉඩ ඇති බවටත් වාර්තා පළ වනවා.
Source: www.techradar.com www.gizmochina.com








