Artificial Intelligence පිළිබදව ලොව පෙරළිකාර සමාගමක් වන OpenAI ආයතනය විසින් තම සේවාවන්හි නවතම සන්ධිස්ථානය සනිටුහන් කරමින්, Atlas (ඇට්ලස්) නමින් Web Browser එකක් හඳුන්වා දී තිබෙනවා. මෙය හුදෙක් සාම්ප්‍රදායික Web Browser එකක් මෙන් නොවන අතර, ChatGPT සමග ඒකාබද්ධ කර ඇති, කෘත්‍රිම බුද්ධියෙන් බල ගැන්වූ අති නවීන Web Browser එකක් ලෙස දක්වන්න පුලුවන්.
මෙමඟින්, පරිශීලකයන්ට මින් පෙර කිසිදා අත්නොදුටු පරිදි, අන්තර්ජාලය සමඟ අන්තර් ක්‍රියා කිරීමට, තොරතුරු සෙවීමට සහ සංකීර්ණ කාර්යයන් ඉටු කර ගැනීමට හැකියාව ලැබෙනවා. තාක්ෂණික ලෝකයේ ප්‍රවීණයන් පවසන්නේ, ChatGPT Atlas යනු Search Engines සහ Web Browser භාවිතය පිළිබඳ අපගේ සාම්ප්‍රදායික සංකල්පයම වෙනස් කළ හැකි ප්‍රබල පියවරක් බවයි.
ChatGPT Atlas හි මූලිකම සහ කැපී පෙනෙන ලක්ෂණය වන්නේ, එය ChatGPT සමග ඒකාබද්ද වි තිබීමයි. මේ මගින් Apps හෝ Tabs අතර මාරු නොවී, ක්ෂණිකවම ChatGPT වෙත ප්‍රවේශ වීමේ පහසුව මෙහිදී පරිශීලකයාට හිමි වෙනවා.
සාම්ප්‍රදායිකව, පරිශීලකයෙකු යම් වෙබ් අඩවියක තොරතුරක් සොයන විට, එම තොරතුරු පිටපත් කර, වෙනම tabs එකක ChatGPT විවෘත කර, ප්‍රශ්නය ඇසීමට සිදුවේ. එහෙත් Atlas සමඟ, මෙම සමස්ත ක්‍රියාවලියම විගසින් හා සරලව සිදුවේ. පරිශීලකයා ඕනෑම වෙබ් අඩවියක සිටියදී, Context Specific Questions ඇසීමට හැකි අතර, ඊට ක්ෂණිකවම පිළිතුරු, සාරාංශ සහ ඇතැම් විට ස්වයංක්‍රීයව සම්පූර්ණ කළ කාර්යයන් පවා ලබා දීමට Atlas සමත් වේ.
උදාහරණයක් ලෙස, ඔබ දිගු පුවත්පත් වාර්තාවක් කියවමින් සිටී නම්, ඔබට Atlas වෙත හැරී "මෙම ලිපියේ ප්‍රධාන කරුණු තුන සාරාංශ කරන්න" යැයි පැවසිය හැකිය. Browser එක දැනට සිටින Web පිටුවේ අන්තර්ගතය අවබෝධ කරගෙන, කිසිදු ප්‍රමාදයකින් තොරව එම කාර්යය ඉටු කරනු ඇත. මෙම සෘජු සහ ඵලදායී ඒකාබද්ධතාවය හේතුවෙන්, දත්ත සහ තොරතුරු සැකසීමේදී වැය වන කාලය සහ ශ්‍රමය විශාල වශයෙන් අඩු වේ.

මෙය Google Chrome Browser එක සඳහා පදනම සපයන Chromium තාක්ෂණය මත පදනම් වූවක් වන අතර මෙය සංවර්ධකයන්ට හුරුපුරුදු සහ ස්ථාවර වේදිකාවක් වනවා.
කෙසේ වෙතත් දැනට, OpenAI මෙම නව Browser මුලින්ම නිකුත් කර ඇත්තේ macOS මෙහෙයුම් පද්ධතියට පමණක් සීමා කරමිනි. එනම්, Apple සමාගමේ පරිගණක භාවිතා කරන්නන්ට දැනට මෙම නව අත්දැකීම ලබා ගැනීමට අවස්ථාව හිමිව ඇති අතර, ඉදිරියේදී Windows, iOS, සහ Android මෙහෙයුම් පද්ධති සඳහා ද Atlas නිකුත් කිරීමට සැලසුම් කර ඇති බවයි.
Source: chatgpt.com