Loading...
COVID 19 සඳහා Google සහ Apple එකතුවෙන් app එකක්

මුළු ලෝකයක බිලියන ගනනක ජනගහනයක් හිර කරලා දාපු, මුළු ලෝකයක නිෂ්පාදිතය දෙවන ලෝක යුද්ධයටත් වඩා වේගයෙන් බිඳවට්ටන්න සමත් උන වෛරසයක් තමන්ගේ ඊළඟ ගොදුර හොයාගෙන අපි අවට හැම තැනම සැරිසරන ලෝකයක තමා අපි දැන් ජීවත් වෙන්නෙ.

පොඩ්ඩක් බය කරල ගන්න හැදුවේ.

හරි, කොහොම උනත් මේ කොරෝනා වෛරසය, Covid-19 එහෙමත් නැත්නම් SARS-CoV-2 කියන්නෙ ඇත්තෙන්ම අද වෙනකොටත් නියමිත බෙහෙතක් නැති, වේගයෙන් ව්‍යාප්ත වන භයානක වෛරසයක්. ලෝක ජනගහනයෙන් මිලියනයකට අධික පිරිසක් මේ වනවිටත් ලෝගාතුර වෙලා ඉවරයි.

ඉතින් මේ කොරෝනා පැරදවීමේ සටනට විවිධ තාක්ෂණික ආයතන සම්බන්ධ වෙද්දි, තාක්ෂණික ලෝකයේ දැවැන්තයෝ දෙන්නෙක් වෙන Google සමාගම සහ Apple සමාගමත්, ඔවුනොවුන් සමඟ එකතු වෙලා මේ සටනට සහය දෙන්න තීරණය කරලා තියෙනවා.

මෙයා මේ කරන වැඩේ සරළවම කියනවා නම් වෙන්නෙ මෙහෙමයි. මේකට කියන්නේ Contact Tracing කියලා. Bluetooth තාක්ෂණය යොදාගෙන වැඩිදියුණු කරන ලද API එකක් භාවිතයෙන්, විවිධ රටවල් වල හදපු Contact Tracing Tools ටිකක් බලගන්වන්න තමා මේ අය මේ උත්සාහය දරන්නේ. මේ API එක පාවිච්චි කරන්නේ, අපේ අතේ තියෙන ජංගම දුරකථන වල Bluetooth Modules.

මේ Contact Tracing වැඩේදි වෙන්නේ මේකයි. හිතන්න දෙව්මි සහ අවන්ත කියලා යාලුවො දෙන්නෙක් ඉන්නවා. මේ දෙන්නා මේ Contact Tracing App එකක් දෙන්නගෙම phone වල දාගෙන ඉන්නේ.

• දෙව්මි සහ අවන්ත ලඟදි මුණගැහෙනවා ඇඳිරිනීතිය අයින් කරපු වෙලා⁣වක රවුමක් දාන්න ගිහින්.
• දෙව්මි සහ අවන්ත ටිකක් ලඟින් ඉන්නවා. අත් එහෙම අල්ලන්.
• ඇඳිරිනීතිය ආපහු දාන වෙලාව ලං වෙන නිසා දෙන්නම ගෙවල් වලට යනවා
• ටික දවසකින් අවන්තට කොරෝනා රෝග ලක්ෂණ පහල වෙන නිසා අවන්ත යනවා රෝහලකට මේක පරීක්ෂා කරගන්න. ගියාම අවන්තට කොරෝනා වෛරසය වැළඳිලා කියලා තහවුරු වෙනවා
• අවන්ත එයාගෙ ජංගම දුරකථනයේ තියෙන අර මුලින් කියපු App එක open කරලා තමන්ට කොරෝනා වෛරසය වැළඳිලා තියෙන බව ඒ⁣ App එකේ manually update කරනවා.
• ඊට පස්සෙ දෙව්මි අතේ තියෙන ජංගම දුරකථනයේ අර App එකම යම් ආකාරයම Alarm එකක් හරහා දෙව්මිට දැනුම් දෙනවා අවන්තට කොරෝනා වෛරසය ආසාදනය වෙලා තියෙන බවත්, දෙව්මි අවන්තව පහුගිය දවස් කිහිපයේ ලඟින් ආශ්‍රය කල බවත්, දෙව්මි හැකි ඉක්මනින් වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු විය යුතු බවත්.

ඔන්න ඕක තමා සරළව වෙන්නෙ. හැබැයි මේ සිද්ධියෙදි, Apple සහ Google සමාගම් දෙකම එක්තරා විශේෂත්වයක් එකතු කරනවා. ඒ තමා කිසිම ආකාරයකින් මේ API එක භාවිත කරලා හදන App පාවිච්චි කරන කිසිම කෙනෙකුගේ අනන්‍යතාව හෙලි නොවෙන විදියට, යම් නියමිත කාල පරිච්ඡේදයක් තුල වෙනස් වෙමින් යන විදියට හදපු Anonymous Identifier Becons හරහා අනිත් Devices හඳුනාගන්න විදියට මේක හැදුව එක. ඒ නිසා මෙතනදි දෙව්මි අවන්ත නිසා ලෙඩ උන බව දෙව්මි දන්නෙ නෑ.

අද වන විට මේ API එක සාර්ථකව පරීක්ෂා කරගෙන යනවා. ලඟදිම අපේ රටටත් ඒවි.

Source - XDA