Loading...
Elon Musk සමග අලුත් වෙන්න සූදානම් ව​න Twitter

2022 වසර අවසන් වීමට ඇත්තේ තවත් සුළු කාලයක් පමණි. එලෙස පවතින මෙම සමය තුළ ඇති වූ ප්‍රධානතම මාතෘකාවක් වූයේ ලොව අංක එකේ ව්‍යාපාරිකයෙකු වන Elon Musk විසින් Twitter සමාජ මාධ්‍ය ජාලය මිලදී ගැනීමයි. මෙම පුවත පිළිබඳව ලොව පුරා සිටින පිරිසගෙන් යහපත් මෙන්ම අයහපත් ප්‍රතිචාර ලැබීම එක සේ සිදුවිය.

කෙසේ නමුත් Musk විසින් මෙලෙස ලබාගත් Twitter තුළ යම් වෙනස්කම් කිහිපයක් සිදුකෙරුණු බව Android වැඩකාරයෝ අප සමග සම්බන්ධ වී සිටින ඔබ මේ වන විටත් දැනුවත් ඇතැයි සිතමු. එසේත් නොමැති නම් මෙම සබැඳිය ඔස්සේ ඒ පිළිබඳව තොරතුරු ලබාගත හැක.

මේ වන විට බොහෝ දෙනා කතාබහට ලක් කෙරෙන මාතෘකාව වන්නේ Twitter Verification ලබා ගැනීම සඳහා යම් මුදලක් අය කෙරෙන බවට පැතිර යන පුවතයි.කෙසේ නමුත් මෙම ක්‍රියාවලිය සත්‍ය වන අතර එය ඉදිරි සතිය තුළ දී ක්‍රියාත්මක කිරීමට වැඩකටයුතු සිදුකරන බව සමාගම සඳහන් කර ඇත.

Twitter Verification සිදුවන ආකාරය.

සමාජ මාධ්‍ය ජාලා බොහෝමයක් ප්‍රචලිත වන විට එමගින් ධනාත්මක ප්‍රතිපලයක් මෙන්ම ඊට හාත්පසින් ම වෙනස් ප්‍රතිඵල වුව ද ලැබිය හැක. එලෙස 2009 වසරේ සිදු වූ යම් සිද්ධි දාමයන් හේතුවෙන් Twitter සමාගම වෙත යම් පසුගාමීත්වයක් උදා විය. එයට හේතුව නම් Twitter සමාජ මාධ්‍ය භාවිතා කරනු ලබන ලොව පුරා සිටින පරිශීලකයන් විවිධ අරමුණු උදෙසා ලොව ප්‍රසිද්ධ නළුවන්, ගායකයන් මෙන්ම ජනප්‍රිය පුද්ගලයන්ගේ විස්තර ඇතුළත් කරමින් Fake Profiles නිර්මාණය කර තිබීමයි.

මෙය තම සමාගමේ මෙන්ම සමාජ මාධ්‍ය ජාලයේ ඇති විය හැකි අනපේක්ෂිත අවධානම අවම කිරීම සඳහා ඔවුන් Verification පහසුකම ලබාදීම සිදුවිය. මෙම පහසුකම තුළින් රජයේ නිලධාරීන්, රජයේ ආයතන, ජනප්‍රිය කලාකරුවන්, ක්‍රීඩකයන්, වෙනත් ජනප්‍රිය පුද්ගලයන් සහ ලොව පුරා පවතින විවිධ ආකාරයේ සන්නාම සතුව පවතින Twitter ගිණුම් Verify කිරීම හරහා එම පාර්ශවයන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම සිදුවිය.

Verification ක්‍රියාවලිය වෙනස් කිරීම කෙරෙහි Elon Musk ගේ අවධානය.

පසුගිය දා Elon Musk විසින් Twitter මිලදී ගැනීමෙන් පසුව Twitter හි පවතින නිල් පැහැති Verification සලකුණ ලබා ගැනීම සඳහා මසකට ඇමෙරිකානු ඩොලර් 20 ($20) මුදලක් ගෙවීමට පරිශීලකයන් හට සිදුවන බවයි. එලෙස සඳහන් පුවත පළ වීමත් සමග බොහෝ පරිශීලකයන් මෙන්ම මාධ්‍යවේදීන් සහ අනෙකුත් පාර්ශවයන් මේ පිළිබඳව දෝශදර්ෂණයට ලක් කරන ලදී.

කෙසේ නමුත් මේ පිළිබඳව පරිශීලකයන්ගෙන් අදහස් විමසීම සඳහා Jason Calacanis විසින් පළ කර තිබූ Poll (අදහස් විමසුමක) ප්‍රතිඵල පහත පරිදි වේ.

මෙහි ප්‍රතිඵල සලකා බලන විට මිලියන 2කට ආසන්න ප්‍රකාශ කිරීම් වලින් 81% ක් පමණ ප්‍රකාශ කොට ඇත්තේ ඔවුන් කිසිඳු ආකාරයකින් ගෙවීමක් සිදු නොකරන බවයි. එලෙස පවතින වාතාවරණයක් තුළ Elon Musk විසින් එම Twitter සටහනට Reply එකක් වශයෙන් මෙලෙස සඳහන් කර ඇත.

මෙම සිද්ධි දාමයන්ගෙන් පසු දින Musk විසින් Twitter Thread එකක් පළ කරමින් සඳහන් කර ඇත්තේ තමා විසින් මෙම Twitter මාධ්‍ය ජාලයේ Verification ලබා ගැනීම සඳහා මසකට ඇමෙරිකානු ඩොලර් 8 ($8) ක මුදලක් අය කිරීමට තීරණය කර ඇති බවයි. එසේම ඔහු විසින් සඳහන් කරනු ලබන්නේ

  • මෙම මුදල අදාල පරිශීලකයන්ගේ රට අනුව වෙනස් වන බව
  • පරිශීලකයන් සඳහා Reply, Mention, Search කිරීමට ප්‍රමුඛතාවය ලබා දීම
  • දීර්ඝ කාලයක් සහිත Video සහ Audio පළ කිරීමට හැකියාව ලැබීම
  • Ads ප්‍රමාණය අවම කිරීම
  • ගිණුම් සඳහා අමතර Tag එකක් (Secondary Tag) ලබාදීම

 වැනි කාරණා සහ තවත් පහසුකම් ලබාදීම කෙරෙහි මෙහි දී සලකා බලන බවයි. එසේම මෙලෙස අය කරනු ලබන මුදල් Twitter හි Content Creation සිදු කරන පරිශීලකයන් සඳහා ලබා දීමට වැඩපිළිවෙලක් සකස් කර ඇති බව ඔහු විසින් එම Twitter පණිවුඩයෙන් වැඩිදුරටත් සඳහන් කරයි.

පරිශීලකයන් වෙත සිදුවන බලපෑම.

Twitter හි පෙර පැවති ආකාරයට Verification ලබා දීම සිදුවන්නේ නම් එහිදී එම ගිණුම් සත්‍යාපනය කිරීම සඳහා යම් පියවරයන් කිහිපයක් අනුගමනය කරනු ලබයි. එහි දී එම පරිශීලකයාගේ අනන්‍යතාවය මෙන්ම එම ගිණුම තුල කොපමණ සක්‍රීය වන්නේ ද යන්න පවා සලකා බලන කාරණා වේ.

නමුත් මෙම අවස්ථාවේ දී Musk විසින් Verification සලකුණ ලබා ගැනීමට මුදලක් ගෙවීම සිදුකිරීම අනිවාර්යය කළ ද එය සිදුවන ක්‍රියාවලියක් පිළිබඳව පැහැදිලි සටහනක් සිදුකර නැත. මේ වන විට පවතින තොරතුරු අනුව වැටහෙන්නේ එම අදාල $8 ක මුදල ගෙවා ඕනෑම පරිශීලකයෙක් හට තම ගිණුම Verify කිරීමට හැකියාව ඇති බවයි.

මෙලෙස Verification ලබා දීම තුළින් පෙර Twitter හි පැවති ගුණාත්මකභාවයට හානියක් සිදුවනු ඇති බවට බොහෝ විචාරකයන් විසින් මතයන් පළ කරන අතර ඇතැම් ජනප්‍රිය චරිත මේ වන විටත් මෙම සමාජ මාධ්‍යයෙන් ඉවත් වීමේ ප්‍රවණතාවයක් දක්නට ඇත. මෙවැනි ක්‍රියාවලි තුළින් ලොව පුරා වෙසෙන පරිශීලකයන් මෙන්ම ඉන් පරිබාහිර පිරිසට අසත්‍ය තොරතුරු සමාජගත වීම සඳහා මහත් සේ රුකුලක් වනු ඇති බවට වැඩිදුරටත් අනෙකුත් පාර්ශවයන් සඳහන් කරනු ලබයි.

මේ වන විට මෙම ක්‍රියාවලිය සම්බන්ධ සම්පූර්ණ තොරතුරු ලැබී නැතත් ඉදිරියේ දී මේ පිළිබඳව තොරතුරු ලැබුණු විගස ඔබ වෙත ලබා දීම සඳහා අප සූදානම් බව සතුටින් දැනුම් දෙන්නෙමු. Android වැඩකාරයෝ වන අප සමග දිගටම රැඳී සිටින්න. මෙම ලිපිය පිළිබඳව අදහස් දැක්වීමට Comment Section එක ඔබට විවෘතව ඇත.

Sources: www.bloomberg.com