Loading...
පරිශීලකයන්ගේ පෞද්ගලිකත්වය සුරැකීමට "WhatsApp Username" විශේෂාංගය ලබා දීමට සූදානම් වේ

ලොව පුරා බිලියන සංඛ්‍යාත ජනතාවක් එදිනෙදා සන්නිවේදන කටයුතු සඳහා භාවිත කරන මෙටා (Meta) සමාගමට අයත් WhatsApp App එකේ පරිශීලකයන්ගේ ආරක්ෂාව සහ පෞද්ගලිකත්වය උපරිමයෙන් සුරැකීම උදෙසා සුවිශේෂී නවතම යාවත්කාලීන කිරීමක් හඳුන්වා දීමට සූදානම් වනවා. ඒ මීට පෙරත් අප ඔබ වෙත තොරතුරු රැගෙන ආ WhatsApp Username විශේෂාංගයයි.

මෙතෙක් කල් WhatsApp ගිණුමක් ආරම්භ කිරීමට සහ වෙනත් අයෙකු සමඟ සම්බන්ධ වීමට තමන්ගේ පෞද්ගලික දුරකථන අංකය අනිවාර්යයෙන්ම ලබා දිය යුතු වුවද, ඉදිරියේදී හඳුන්වා දෙන WhatsApp Username විශේෂාංගය හරහා එම ක්‍රමවේදය සම්පූර්ණයෙන්ම වෙනස් වීමට නියමිත වනවා.

දුරකථන අංකය රහසිගතව තබාගැනීමේ අවස්ථාව

මෙම නව විශේෂාංගයේ ප්‍රධානතම අරමුණ වන්නේ පරිශීලකයාගේ දුරකථන අංකය බාහිර පාර්ශවයන්ගෙන් සඟවා තබාගැනීමට ඉඩ සැලසීමයි.

  • අංකය වෙනුවට සුවිශේෂී නාමයක්: මින් ඉදිරියට ඔබට WhatsApp හරහා නව සම්බන්ධතාවක් ගොඩනඟා ගැනීමට අවශ්‍ය වූ විට, ඔබගේ දුරකථන අංකය ලබා දීම වෙනුවට ඔබ විසින්ම වෙන් කරවා ගන්නා ලද අනන්‍ය පරිශීලක නාමය (e.g., @Name123) ලබා දිය හැක.
  • සන්නිවේදනයේ නිදහස: රැකියා ස්ථානවලදී, විවිධ පොදු සමූහ හෝ ව්‍යාපාරික කටයුතුවලදී තමන් නොහඳුනන පුද්ගලයන් සමඟ සම්බන්ධ වීමේදී සිදුවන දුරකථන අංක අනාවරණය වීම මඟින් සිදුවන සයිබර් කරදර සහ අනවශ්‍ය ඇමතුම් වළක්වා ගැනීමට මින් හැකියාව ලැබේ.
Image Source - Whatsapp x Account

ඔබගේ කැමැත්ත පරිදි ක්‍රියාත්මක වීමේ නම්‍යශීලීභාවය

මෙම විශේෂාංගය WhatsApp පරිශීලකයන් සඳහා අනිවාර්ය එකක් නොවන අතර, එය සම්පූර්ණයෙන්ම තමන්ගේ කැමැත්ත මත භාවිත කළ හැකි එකක් වීම විශේෂ වනවා.

  • ඔබට අවශ්‍ය නම් පමණක් සැකසුම් (Settings) වෙත පිවිස අනන්‍ය Username එකක් සකසා ගත හැකිය.
  • දැනටමත් ඔබගේ දුරකථන අංකය සතු සමීපතමයන්ට සුපුරුදු පරිදි ඔබ සමඟ සම්බන්ධ විය හැකි අතර, නවකයන්ට ඔබව සොයාගැනීමට Username එක භාවිත කළ හැක.

ඔබ කැමති "Username" එක අදම වෙන්කරවා ගන්න

යෙදවුම තුළ මෙම විශේෂාංගය නිල වශයෙන් ක්‍රියාත්මක වීමට ප්‍රථම, පරිශීලකයන් හට තමන් කැමති, තමන්ගේ නමට හෝ ව්‍යාපාරයට ගැළපෙන සුවිශේෂී පරිශීලක නාමයන් කලින්ම වෙන්කරවා ගැනීමට WhatsApp සමාගම දැන් අවස්ථාව සලසා දී තිබෙනවා.

ලොව පුරා මිලියන ගණනක් පරිශීලකයන් එකම නම ලබාගැනීමට උත්සාහ කළ හැකි බැවින්, තමන්ට වඩාත්ම සුදුසු නිවැරදි Username එක අන් අයට පෙර කඩිනමින් වෙන් කරවා ගන්නා ලෙස Android වැඩකාරයෝ අප ඔබට මතක් කර සිටිනවා.

මෙවැනි වූ තාක්ෂණික කරුණු සහ නවතම තාක්ෂණික පුවත් ඉක්මනින් දැන ගැනීම සඳහා Android වැඩකාරයෝ අප සමඟම රැඳී සිටින්න.
Source: blog.whatsapp.com