Loading...
පොලිස්පතිගේ නමින් එන ව්‍යාජ 'සයිබර් අපරාධ' ලිපිය ඊමේල් හරහා නැවතත් කරළියට

පසුගිය වසරේදී සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සංසරණය වු ව්‍යාජ ලිපියක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබුණ අතර එම ලිපිය සේ වන විට නැවත e-mail මාර්ගයෙන් සංසරණය වීම ආරම්භ වී තිබෙනවා.

මීට පෙරත් ශ්‍රී ලංකා පොලිසිය ප්‍රකාශ කළ පරිදි, මෙම ව්‍යාජ තොරතුරු පතුරුවන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මේ වන විටත් විමර්ශනයක් සිදු කරනු ලබනවා.

e-mail ඔස්සේ සංසරණය වන ව්‍යාජ ලිපිය

ව්‍යාජ ලිපිය හඳුනාගන්නේ කෙසේද?

පොලිසිය පෙන්වා දෙන පරිදි, අදාළ ලිපියේ පහත සඳහන් ව්‍යාජ ලක්ෂණ අඩංගු වේ:

  1. නම සහ අත්සන: "CONVICTION" යන ශීර්ෂය යටතේ ඇති මෙම ලිපියේ වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නම සහ ව්‍යාජ අත්සනක් යොදා ඇත.
  2. අසත්‍ය ආයතනයක්: මෙම ලිපිය "Cyber Crime Headquarters, Sri Lanka" (ශ්‍රී ලංකා සයිබර් අපරාධ මූලස්ථානය) නම් ආයතනයකින් නිකුත් කළ බවට පෙන්වා දී තිබුණද, එවැනි නමකින් යුත් කිසිදු ආයතනයක් ශ්‍රී ලංකා පොලිසිය යටතේ ක්‍රියාත්මක නොවේ.
  3. සංකේත භාවිතය: ශ්‍රී ලංකා රාජ්‍ය ලාංඡනය, ශ්‍රේෂ්ඨාධිකරණ ලාංඡනය සහ ශ්‍රී ලංකා පොලිස් ලාංඡනයට සමාන ලාංඡන මෙහි අනිසි ලෙස භාවිතා කර ඇත.
  4. භාෂාව: ලිපියේ භාවිතා කර ඇති භාෂා රටාව නීත්‍යානුකූල පදනමකින් තොර, එකිනෙකට පටහැනි සහ දෝෂ සහිත එකක් බව පොලිසිය අවධාරණය කරයි.

පොලිසියේ අවධාරණය


මෙම ලිපිය ශ්‍රී ලංකා පොලිසිය විසින් නිකුත් කරන ලද්දක් නොවන බවත්, එය පොලිස් දෙපාර්තමේන්තුව අපකීර්තියට පත් කිරීම සහ මහජනතාව නොමඟ යැවීම සඳහා සිතාමතාම නිර්මාණය කරන ලද "විකෘති කරන ලද" (Distorted) ලේඛනයක් බවත් පොලිසිය දක්වා තිබෙනවා.

මෙවැනි ලිපි සඳහා ප්‍රතිචාර දැක්වීමට පෙර ඒවායේ සත්‍ය අසත්‍යතාවය තහවුරු කර ගන්නා ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටීන අතර මෙවැනි ව්‍යාජ ලිපිවලට ප්‍රතිචාර දැක්වීම තුළින් ඔබගේ පෞද්ගලික දත්ත හෝ මුදල් වෙනත් පාර්ශවයන් අතට පත් වීමේ වැඩි ඉඩක්ද පවතිනවා. එබැවින් මෙවැනි සාවද්‍ය ලිපි හෝ e-mail පණිවිඩවලට නොරැවටෙන ලෙස Android වැඩකාරයෝ අපි නැවත නැවත මතක් කර සිටිනවා.

ව්‍යාජ e-mail පණිවිඩයට ප්‍රතිචාර දැක්වු පසු ලැබෙන e-mail පණිවිඩය

ව්‍යාජ පුවත් සහ ලේඛන පතුරුවා හැරීම දණ්ඩන මුක්තිය යටතේ බරපතල වරදක් වන අතර ඒ සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව ද පොලිස් මූලස්ථානය වැඩිදුරටත් දක්වා තිබෙනවා.

Source: www.police.lk srilankamirror.com