Loading...
කේබල් මැදින් තියෙන මේ කෑල්ල මොකක්ද?

සමහර ෆෝන් වලට එන ඩේටා කේබල් වල, ලැප්ටොප් චාජර්ස් වල, වයර් එක මැදින් තියෙන මේ බෙරයක් වගේ කෑල්ල මොකක්ද කියලා ඔයාලා අනිවාර්යයෙන්ම කල්පනා කරලා ඇති.

මට පොඩි කාලෙ හිතුණෙ ඕක අධි වෝල්ටීයතාවයකින් උපකරණය ආරක්ෂා කරගන්න තියෙන ෆියුස් එකක් කියලා. නමුත් ඒක ෆියුස් එකක් නෙවෙයි කියලා ඉගෙනගත්තෙ මෑතකදි.

ඇත්තටම ඕකට කියන්නෙ Ferrite Bead/Ferrite Choke කියලා.

Ferrite කියන්නෙ අයන් ඔක්සයිඩ් Fe2O3 එහෙමත් නැත්නම් මලකඩ අරගෙන, ඒවා බේරියම්, මැංගනීස්, නිකල්, සහ සින්ක් වගේ ලෝහමය මූලද්‍රව්‍ය එකක් හෝ කීපයක් සමඟ මිශ්‍ර කරලා හදාගන්න සංයෝගයකට.

මේ Ferrite කියන ද්‍රව්‍ය විද්‍යුත් පරිවාරකයක් විදියටයි වැඩ කරන්නෙ. සරලව කිව්වොත්, Ferrite හරහා විදුලිය ගමන් කරන්නෙ නෑ. ඒ වගේම මේවා පහසුවෙන් කාන්දම් බවට පත් කරන්න පුළුවන්.

Ferrite Bead එක කියන්නෙ අපි මේ කතා කරපු සංයෝගයෙන් හදාගන්න මුද්දක් වගේ ව්‍යුහයකට. ඒ මුද්ද ඇතුළෙන් තමයි ඩේටා/කරන්ට් එක ගෙනියන කම්බි ටික යන්නෙ.

Ferrite Bead එකෙන් වෙන්නෙ මොකක්ද?

Ferrite Bead එකේ ක්‍රියාකාරීත්වය

මේකෙන් වෙන්නෙ, කේබල් එක ඇන්ටනාවක් විදියට ක්‍රියාත්මක වීම නතර කරන එක කියලා සරලව කියන්න පුළුවන්.

දුරකථන, පරිගණක වගේ උපාංග වල විවිධ ආකාරයේ අධි සංඛ්‍යාත (high frequency) තරංග උත්පාදනය වෙනවා. මේ තරංග වලට පිටින් සම්බන්ධ වන කේබල් එකක් හරහා සම්ප්‍රේෂණය වෙන්න පුළුවන්. එතකොට වෙන්නෙ කේබල් එක හරහා වෙන නියම සන්නිවේදනයට මේ අලුතින් කාවැදුන noise එක නිසා බාධා ඇති වෙන එකයි

මේ අනවශ්‍ය noise එක ජංගම දුරකථනය හෝ පරිගණකය වැනි උපාංගයකිනුත්, අනෙක් අතට භාහිර මූලාශ්‍රයකිනුත් ඇති වෙන්න පුළුවන්.

Ferrite bead එකෙන් කරන්නෙ මේ අවුල නැති කරලා Noise එක අවම කරලා අපිට අවශ්‍ය කරන සංඥා කේබලය හරහා දෙපැත්තටම යවන්න පහසු කරන එකයි.

මම හිතන්නෙ දැන් ඔයාලට මේ මොකක්ද කියලා අවබෝධයක් ඇති. ගොඩක් කට්ටිය හිතන් ඉන්නෙ ඔය ෆියුස් එකක් කියලයි. ඇත්තටම ඒක වැරදි මතයක්.

අපි අලුත් ලිපියකින් හමුවෙමු. ඔබට ජය!