Loading...
එතෙක් මෙතෙක් පැවති පාපන්දු ලෝකයේ වර්තමා​න උන්මාදය, FIFA World Cup 2022 සහ තාක්ෂණ​ය

ලොව ජනප්‍රියතම ක්‍රීඩාව ලෙස විරුදාවලිය ලද Football නැතහොත් පාපන්දු ක්‍රීඩාව ලොව පුරා රටවල් ගණනාවක් පුරා විහිදී පවතින ක්‍රීඩාවකි. කිසිඳු බේදයකින් තොරව ලොව වෙසෙන බහුතරයකගේ ජනාදරයට පත් වූ මෙම ක්‍රීඩාවේ මෞලි මංගල්‍ය වසර 4කට වරක් එළඹෙන අතර මෙම වසරේ, එනම් 2022 වසරේ එම උත්කර්ශවත් උත්සවය කටාර් රාජ්‍යයේදී පැවත්වීමට මේ වන විට සියලු කටයුතු සංවිධානය කර තිබෙනවා.

නොවැම්බර් මස 20 වන දින සිට දෙසැම්බර් මස 18 වන දින දක්වා පැවැත්වෙන මෙම තරඟාවලිය රටවල් 32ක සහභාගීත්වයෙන් මෙන්ම 800කට අධික ක්‍රීඩක සහභාගීත්වයෙන් පැවැත්වේ. මෙම සියලුම තරඟ කටාර් රාජ්‍ය තුළ ක්‍රීඩාංගන 8ක් කේන්ද්‍ර කොටගෙන පැවැත්වීමට නියමිත අතර එය එතෙක් මෙතෙක් FIFA World Cup ඉතිහාසය තුළ පැවති විශිෂ්ටතම තරඟාවලිය වීම නොඅනුමානය. මෙම ලිපිය ගෙන එන්නේ එම තරඟාවලිය සතු විශේෂතා රැසක් ඔබ වෙත ගෙන ඒම සඳහායි.

FIFA ඉතිහාසය පිළිබඳව කෙටියෙන්

ලොව පුරා විසිරී සිටින පාපන්දු රසිකයින්ගේ හදවත් තුළ වැජඹෙන්නා වූ FIFA World Cup තරඟාවලිය ප්‍රථමයෙන් පැවැත්වූයේ 1930 වර්ෂයේ දී ය. කණ්ඩායම් 13කගේ සහභාගීත්වයෙන් පැවති එම තරඟාවලිය උරුගුවේ රාජ්‍ය තුළ පවත්වන ලදී.

එතැන් සිට FIFA World Cup තරඟාවලිය 2022 වසර වන විට කණ්ඩායම් 32ක පමණ සුදුසුකම් ලද කණ්ඩායම් ප්‍රමාණයක් සහභාගී කොට ගෙන පවත්වන අතර මෙම තරඟාවලිය අනෙකුත් තරඟ අතරින් වඩාත් වෙනස් වන්නේ මේ සඳහා යොදාගන්නා තාක්ෂණය මෙන්ම මේ සඳහා වැය කර ඇති මූල්‍යමය දායකත්වය වැනි කැපී පෙනෙන කරුණු හේතුවෙනි.

FIFA 2022 සඳහා කටාර් රාජ්‍යයේ සූදානම

2022 FIFA World Cup සත්කාරකත්වය 2010 වසරේදී කටාර් රාජ්‍ය වෙත ලැබීමත් සමග ඒ සඳහා ඉතාමත් යුහුසුළුව ක්‍රියා කිරීම පෙර වසර වලදී අප වෙත දැකගැනීමට හැකියාව ලැබුණු සුලබ දසුනක් විය. එමෙන්ම මෙම තරඟාවලිය සඳහා ක්‍රීඩාංගන 8ක් වෙන් කර තැබීමත් ඒ සඳහා නවීන තාක්ෂණික යෙදීම් භාවිතා කිරීමත් කැපී පෙනෙන කරුණක් විය. එමෙන්ම මෙලෙස සිදුකරන FIFA 2022 ලෝක කුසලානය සඳහා ඔවුන් විසින් සිදුකරන සියලුම ව්‍යාපෘති වල වටිනාකම ඩොලර් බිලියන 220 ක් පමණ වන බව සඳහන් වේ.

කෙසේ වෙතත් කටාර් රාජ්‍ය FIFA ලෝක කුසලානයක් සඳහා සත්කාරකත්වය දක්වන ප්‍රථම මැදපෙරදිග රාජ්‍ය වන අතර මේ සඳහා ඔවුන් 26,000 කට අධික සේවක ප්‍රමාණයක් සේවයේ යෙදවිය. එමෙන්ම මෙම තරඟාවලිය ඉලක්ක කොටගෙනම ක්‍රීඩාංගන 8න් 7ක්ම අලුතෙන් නිර්මාණය කිරීමට ඔවුන් කටයුතු කළහ. එලෙස නිපදවන ලද ක්‍රීඩාංගන අතරින් ප්‍රධානතම ක්‍රීඩාංගනය වන Lusail හි ප්‍රේක්ෂකයන් 80,000 කට පමන අසුන්ගත හැකි වේ. එමෙන්ම අටවන ක්‍රීඩාංගනය ලෙස පවතින Khalifa International Stadium හි 40,000 ක පමන ප්‍රේක්ෂක ප්‍රමාණයකට අසුන්ගත හැකියාව ඇත.

Lusail Stadium පිළිබඳව සඳහන් කර තිබූ වාර්ථා වැඩසටහනක්

ප්‍රේක්ෂකයන් සඳහා ලබා දී ඇති පහසුකම්

මෙම තරඟාවලිය පැවත්වෙන මාස දෙකක කාලය සඳහා ලොව පුරා සිටින පාපන්දු රසිකයින් අතරින් මිලියන 1.2 කට වඩා වැඩි පිරිසක් තම රට තුලට පැමිණේ යැයි කටාර් රාජ්‍ය බලධාරීන් තක්සේරු කර ඇති අතර එම හේතුව නිසා මීට වසර ගණනාවකට පෙර සිටම මෙම තරඟාවලිය ඉලක්ක කරගනිමින් පැමිණෙන සංචාරකයන් සඳහා පහසුකම් සැපයීමට හෝටල්, මහල් නිවාස මෙන්ම අනෙකුත් විවිධ ආකාරයේ විනෝදාස්වාදයන් ගෙන් යුත් ඉදිකිරීම් මේ වන විටත් සිදුකර අවසන් ය.

ඊට අමතරව පැමිණෙන පිරිස් වෙත නවතම අත්දැකීම් සමුදායක් එක් කරමින් Doha හි පවතින නිදන කාමර 10,000 ක එකතුවකින් යුත් සුඛෝපභෝගී මගී නැව් ද නවාතැන් ගැනීමට සහ විවේක ගැනීම සඳහා සපයා ඇත. තව ද පාලකයන් විසින් ලබා දී ඇති Modern Tents හි රැඳී සිටීමට පවා අවසරය ලබා දී ඇති අතර එම ස්ථාන ලෙස වෙන් කර ඇත්තේ Doha හි උතුරු දූපත් වේ.

FIFA වෙනුවෙන්ම අලුත් වූ ගමනාගමනය

ප්‍රේක්ෂකයන් සඳහා පහසුකම් සැපයීමේ ප්‍රධානතම පියවරක් ලෙස කටාර් රාජ්‍ය තුළ ගමනාගමනය ද තරමක වෙනසක් සිදුකිරීමට බලධාරීන් තීරණය කර ඇත. මිලියනයකට අධික ප්‍රේක්ෂකයන් සහ අනෙකුත් තරඟාවලි වලට සහභාගී වන ක්‍රීඩකයන් සඳහා කටාර් තුළ ඉතාමත් කාර්යක්ෂම ගමනාගමන සේවාවක් ලබාදීම උදෙසා බලධාරීන් යුහුසුළුව ක්‍රියා කර ඇති බව මේ වන විට ලොව පුරා මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙම තරඟාවලිය මූලික කොටගෙන 2019 වසරේ කටාර් රාජ්‍ය තුළ Metro දුම්රිය සේවාවක් ආරම්භ කළ අතර එය මේ වන විට තරඟ පැවැත්වීමට නියමිත ක්‍රීඩාංගන සියල්ලම ආවරණය කරමින් සම්පූර්ණ වී ඇත. එමෙන්ම මෙම තරඟාවලිය පැවැත්වෙන කාලසීමාව තුළ කටාර් හි පොදු ප්‍රවාහනය නොමිලේ ලබාදීමට එහි බලධාරීන් තීරණය කර ඇත.

මෙම තරඟාවලියේ විශේෂත්වය වන්නේ මෙම සියලුම තරඟ පැවැත්වෙන ක්‍රීඩාංගන 8ම Doha නගරයේ සිට කිලෝමීටර 55 ක අරයකින් යුත් ප්‍රදේශයක පිහිටා තිබීමයි. එම නිසා මෙම Metro දුම්රිය සේවාව මගින් එම සියලුම ගමනාගම පහසුකම් ආවරණය කර ගැනීමට හැකියාව පවතී. එම නිසා ප්‍රේක්ෂකයන් හට එකම දිනයක පැවැත්වෙන එකිනෙකට වෙනත් ක්‍රීඩාංගන දෙකක තරඟ කිසිඳු අපහසුතාවයකින් තොරව නැරඹීමට හැකියාව පවතී.

කටාර් හි ස්ථාපිත Metro දුම්රියන්

මෙම තරඟාවලිය නැරඹීම උදෙසා කටාර් වෙත පැමිණෙන ප්‍රේක්ෂකයන් අතරින් දිනයකට 50,000 ක පමණ ප්‍රමාණයක් පොදු ප්‍රවාහනය භාවිතා කිරීමට හැකියාව ඇති බව සඳහන් කරන එරට බලධාරීන් ඒ සඳහා බස් රථ 4,000ක් සහ Electric රථ 700ක් පමණ යොදවා ඇති බව සඳහන් වේ.

FIFA 2022 සඳහා ලැබී ඇති ආරක්ෂාව

මෙම තරඟාවලිය උදෙසා කටාර් රාජ්‍ය තුළ ආරක්ෂාව දැඩි කර ඇති අතර ඒ සඳහා 40,000 කට අධික ආරක්ෂකයින් පිරිසක් යොදවා ඇත. එමෙන්ම මේ සඳහා තුර්කිය සහ පකිස්ථානයෙන් ආරක්ෂකයින් ලබා දී ඇති අතර තරඟයට සහභාගී වන රටවල් වලින් ද ආරක්ෂකයන් පැමිණීම සිදුවී ඇත.

FIFA 2022 ලෝක කුසලානය සඳහා ඉදිවූ ක්‍රීඩාංගන

FIFA 2022 තරඟාවලිය මූලික කොටගෙන කටාර් රාජ්‍ය තුළ නවතම ක්‍රීඩාංගන 7ක් ඉදිකර ඇති අතර මෙම තරඟාවලිය ක්‍රීඩාංගන 8ක් තුළ පැවත්වීම සිදුවේ. එම ක්‍රීඩාංගන සහ එහි රැස්විය හැකි ප්‍රේක්ෂක සංඛ්‍යාවන් පහත පරිදි වේ. එම සබැඳි ඔස්සේ පිවිසීමෙන් ඔබට එම ක්‍රීඩාංගන වල වෙනත් තොරතුරු ලබාගත හැකි ය.

  1. Al Bayt Stadium - 60,000
  2. Khalifa International Stadium - 40,000
  3. Al Thumama Stadium - 40,000
  4. Ahmad Bin Ali Stadium - 40,000
  5. Lusail Stadium - 80,000
  6. Stadium 974 - 40,000
  7. Education City Stadium - 40,000
  8. Al Janoub Stadium - 40,000

මෙම ක්‍රීඩාංගන අතරින් Al Bayt Stadium හි ආරම්භක තරඟය ලෙස කටාර් සහ ඉක්වදෝර් තරඟ පැවැත්වෙන අතර අවසන් තරඟය දෙසැම්බර් මස 18 වන දින Lusail Stadium හි පැවැත්වීමට නියමිතය.

Al Bayt Stadium
Ahmad Bin Ali Stadium
Al Janoub Stadium
Al Thumama Stadium
Education City Stadium
Khalifa International Stadium
Lusail Stadium
Stadium 974

මෙම ක්‍රීඩාංගන වල දැකිය හැකි වූ ප්‍රධානතම ලක්ෂණයක් වූයේ එහි යොදවා තිබූ Cooling Technology පිළිබඳවයි.

මෙම කාල වකවානුව තුළ කටාර් රාජ්‍යයේ දේශගුණය සැලකීමේ දී තරමක් ඉහළ උෂ්ණත්ව අගයන් වාර්ථා වීම සුලභ කරුණකි. ප්‍රේක්ෂකයන් විශාල ප්‍රමාණයක් රැස්ව සිටින ක්‍රීඩාංගන වල උෂ්ණත්වයේ බලපෑම සැලකිල්ලට ගනිමින් විශේෂත ආකාරයේ සිසිලන පද්ධතියක් (Cooling System) නිර්මාණය කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ.

මේ සඳහා ක්‍රීඩාංගන සියල්ලම භාවිතා කර ඇති අතර එහිදී මෙම සිසිලනය සඳහා අවශ්‍ය ශක්තිය පුනර්ජනනීය බලශක්තිය භාවිතා කර සූර්ය කෝෂ මගින් ක්‍රියාත්මක කරවීම තවත් විශේෂිත කරුණකි. මෙම සිසිලන් පද්ධතිය මගින් සාමන්‍යයෙන් සෙල්සියස් අංශක 26 ක පමණ උෂ්ණත්වයක් ක්‍රීඩාංගනය තුළ පවත්වා ගත හැකි අතර එය ක්‍රීඩාංගනය තුළ සිටින් ප්‍රේක්ශක සංඛ්‍යාව මත ද වෙනස් වීම සිදුවේ.

ක්‍රීඩාංගනය පිටත උෂ්ණත්වය කුමන අගයක පැවතියත් ක්‍රීඩාංගනය තුළ එකම උෂ්ණත්වයක් පවත්වා ගැනීමට මෙමගින් හැකියාව් උදාවනු ඇත. එමෙන්ම ක්‍රීඩාංගනය තුළ වාතය පෙරීමකට ලක් කර නැවත එම කුටීර හරහා පිට කිරීම ද මෙහි කැපී පෙනෙන ලක්ෂණයකි.


මෙලෙස විවිධා අංශ ඔස්සේ නවීකරණය වෙමින් හැඩවන 2022 FIFA පාපන්දු ලෝක කුසලානය ලෝකවාසීන් හට අමතක නොවන අත්දැකීමක් වනු ඇති බවට බොහෝ විචාරකයන් සඳහන් කරයි. විශාල පිරිවැයක් සහ විශාල කාලයක් වැයකරමින් තාක්ෂණික වශයෙන් ඉතා ඉහළ මට්ටමේ ක්‍රීඩා රසාස්වාදයක් ලබා දීම අරමුණු කරගත් මෙම තරඟාවලියා අනෙකුත් තාක්ෂණික පුවත් පිළිබඳව විමසිල්ලෙන් සිටීමට Android වැඩකාරයෝ පාඨක ඔබ වෙත මම ආරාධනා කරමි. ඔබගේ අදහස් පහළින් Comment කරන්න.

Sources: www.fifa.com