කෘත්රිම බුද්ධි තාක්ෂණයේ තවත් සුවිශේෂී පියවරක් සනිටුහන් කරමින් Google සමාගම විසින් සිය නවතම සහ අතිශය ප්රබල AI මාදිලිය වන Gemini 4 Argon ඔක්තෝබර් 13 වනදා නිල වශයෙන් හඳුන්වා දීමට කටයුතු කර තිබෙනවා.
මෙම නව AI මාදිලිය සාමාන්ය ප්රශ්නවලට පිළිතුරු ලබාදීමට පමණක් සීමා නොවන අතර, Software Development, Cybersecurity, Scientific Research, Finance සහ Legal වැනි ක්ෂේත්රවල සංකීර්ණ ගැටලු විසඳීම සඳහා විශේෂයෙන් නිර්මාණය කර තිබීම කැපී පෙනෙනවා.
Google සමාගම පෙන්වා දෙන ආකාරයට Gemini 4 Argon මාදිලියට සංකීර්ණ කාර්යයන් පියවර කිහිපයක් ඔස්සේ විශ්ලේෂණය කරමින් වඩාත් නිවැරදි විසඳුම් ලබාදීමට හැකියාව පවතිනවා. එමෙන්ම Finance, Coding සහ Legal වැනි වෘත්තීය ක්ෂේත්රවල AI මාදිලිවල ක්රියාකාරීත්වය මනින Vals Index හි ප්රථම ස්ථානය හිමිකර ගැනීමට ද මෙම මාදිලිය සමත්ව ඇති බව Google සමාගම සඳහන් කරනවා.
Software Development ක්ෂේත්රයට නව හැකියාවන්
Gemini 4 Argon හි ප්රධානතම විශේෂත්වයක් වන්නේ විශාල Software Projects සහ Codebases සමඟ කටයුතු කිරීමේ හැකියාවයි.
Google සමාගම සිය Chrome Browser හි පවතින මිලියන 40කට අධික Code Lines ඇතුළත් Chromium Codebase එකෙහි සංකීර්ණ කොටස් ප්රතිසංවිධානය කිරීම සඳහා මෙම AI මාදිලිය භාවිත කර තිබෙනවා. ඒ අනුව සාමාන්යයෙන් මාස ගණනාවක් ගතවන ඇතැම් Software Engineering කාර්යයන් සති කිහිපයක් තුළ නිම කිරීමට හැකිව තිබෙනවා.
එමෙන්ම Google Antigravity තුළ Gemini 4 Argon භාවිත කිරීමෙන් AI Agents මඟින් ඉදිරිපත් කරන Code Submissions ප්රමාණය 35%කට වඩා වැඩි වී ඇති අතර, Code Rollbacks ප්රමාණය තුනෙන් එකකට ආසන්න ප්රමාණයකින් අඩු වී තිබෙනවා.
Google හි Agent Development Kit හෙවත් ADK සඳහා සිදුකළ ප්රශස්තකරණයන් මඟින් Long Sessions සඳහා අවශ්ය In-memory Session Preparation කාලය 40%කින් අඩු කිරීමටත්, Cold Imports 21%කින් වේගවත් කිරීමටත් හැකිව තිබෙනවා.
විද්යාත්මක පර්යේෂණ සඳහාත් Gemini 4 Argon
Software Development ක්ෂේත්රයට අමතරව Quantum Computing, Nuclear Fusion, Molecular Research සහ Drug Discovery වැනි විද්යාත්මක ක්ෂේත්රවල පර්යේෂණ කටයුතු වේගවත් කිරීමට ද Gemini 4 Argon භාවිත කර තිබෙනවා.
විශේෂයෙන් Quantum Computing සඳහා අවශ්ය ඇතැම් Algorithms ප්රශස්තකරණය කිරීමේදී සැලකිය යුතු ප්රගතියක් ලබා ගැනීමට Google පර්යේෂකයන් සමත්ව තිබෙනවා.
තවද අණුවල ව්යුහයන් පුරෝකථනය කිරීම සඳහා භාවිත කරන xTB නම් Open-source Software Package එකෙහි Molecular Structure Prediction ක්රියාවලිය 2.3 ගුණයක් දක්වා වේගවත් කිරීමට ද මෙම මාදිලියේ සහාය ලැබී තිබෙනවා.
දුර්ලභ ජානමය රෝග පිළිබඳ පර්යේෂණවලදී ද සාමාන්ය Software මඟින් හඳුනා නොගත් ඇතැම් ජානමය වෙනස්කම් අනාවරණය කර ගැනීමට Gemini 4 Argon සමත්ව ඇති බව Google සමාගම පෙන්වා දෙනවා.
Cybersecurity සහ Robotics ක්ෂේත්රවල නව ප්රගතියක්
Gemini 4 Argon මඟින් Software Systems තුළ පවතින Security Vulnerabilities හඳුනාගැනීමට සහ ඒවාට විසඳුම් නිර්මාණය කිරීමට ද හැකියාව පවතිනවා.
Cybersecurity සමාගමක් වන Wiz විසින් මෙම AI මාදිලිය භාවිත කරමින් රාජ්ය දත්ත පද්ධති සහ සෞඛ්ය සේවා පද්ධතිවල පැවති ආරක්ෂක දුර්වලතා හඳුනාගෙන ඒවා නිවැරදි කිරීමට කටයුතු කර තිබෙනවා.
මේ අතර Robotics ක්ෂේත්රයේදීත් Gemini 4 Argon සැලකිය යුතු දක්ෂතා පෙන්නුම් කර තිබෙනවා. ත්රිමාණ පරිසරයන් තුළ භෞතික හා අවකාශීය ගැටලු විසඳීමේ හැකියාව පරීක්ෂා කරන ERQA Benchmark එකෙහි 87%ක ලකුණු ප්රතිශතයක් ලබා ගැනීමට මෙම මාදිලිය සමත්ව තිබෙනවා.
Google සමාගම සිදුකළ අභ්යන්තර පරීක්ෂණයකදී මිනිසෙකු ක්රීඩාවක නිරත වන Video එකක් විශ්ලේෂණය කර එම ක්රියාකාරකම සඳහා අවශ්ය Simulation නිර්මාණය කිරීමට Gemini 4 Argon සමත්ව තිබෙනවා. පසුව එම දැනුම Apptronik Apollo Humanoid Robot එකක් වෙත යොදාගෙන සාර්ථක ප්රතිඵල ලබා ගැනීමටත් හැකිව තිබෙනවා.
මිල ගණන් සහ ලබාගත හැකි ආකාරය
Gemini 4 Argon මාදිලිය මේ වන විට ලොව පුරා Developers, Enterprises සහ සාමාන්ය පරිශීලකයන් සඳහා ලබාදීම ආරම්භ කර තිබෙනවා.
Developers හට Google AI Studio සහ Gemini API හරහා මෙම මාදිලිය භාවිත කළ හැකි අතර Google AI Ultra Subscribers හට Google Antigravity හරහා ද ප්රවේශ විය හැකියි.
Google AI Pro සහ Ultra Subscribers හට Gemini App සහ Google Search හි AI Mode ඔස්සේ Gemini 4 Argon භාවිත කිරීමේ අවස්ථාව හිමිවනවා.
Gemini API සඳහා හඳුන්වාදීමේ මිල ලෙස Input Tokens මිලියනයකට ඇමෙරිකානු ඩොලර් 2ක් සහ Output Tokens මිලියනයකට ඩොලර් 10ක් අය කෙරෙනවා.
කෙසේ වෙතත් මෙම හඳුන්වාදීමේ මිල 2026 නොවැම්බර් 30 වනදායින් අවසන් වන අතර ඉන් අනතුරුව Input Tokens මිලියනයකට ඩොලර් 4ක් සහ Output Tokens මිලියනයකට ඩොලර් 20ක් අය කිරීමට නියමිතයි.
එමෙන්ම API භාවිතයේදී Input සහ Output සඳහා ඒකාබද්ධව Tokens මිලියනයක සීමාවක් ලබාදීමට ද Google කටයුතු කර තිබෙනවා.
AI තාක්ෂණයේ මීළඟ පියවර
Gemini 4 Argon සමඟින් Google සමාගම උත්සාහ කරන්නේ AI තාක්ෂණය සාමාන්ය Chatbot එකක කාර්යභාරයෙන් ඔබ්බට ගෙන ගොස්, සංකීර්ණ Software Engineering කාර්යයන්, විද්යාත්මක පර්යේෂණ සහ වෘත්තීය කටයුතු ස්වයංක්රීයව ඉටු කළ හැකි මට්ටමකට දියුණු කිරීමටයි.
කෙසේ වෙතත් මෙවැනි ප්රබල AI මාදිලි හඳුන්වාදීමේදී ආරක්ෂාව සහ අනිසි භාවිතය වැළැක්වීම ද වැදගත් වන බැවින්, Prompt Injection Attacks සහ අනවසර AI Agent ක්රියාකාරකම් වැළැක්වීම සඳහා වැඩිදියුණු කළ ආරක්ෂක පද්ධති ඇතුළත් කර ඇති බව Google සමාගම සඳහන් කරනවා.
Gemini 4 Argon යනු Gemini 4 මාදිලි පෙළේ ආරම්භය පමණක් බවත්, ඉදිරියේදී මෙම මාදිලි පෙළට අයත් තවත් AI Models හඳුන්වාදීමට බලාපොරොත්තු වන බවත් Google සමාගම වැඩිදුරටත් ප්රකාශ කර තිබෙනවා.
Source: blog.google








