Android දුරකථන පරිශීලකයන් ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන නවතම දුරකථන ඇමතුම් වංචා සහ පුද්ගල ස්වරූපයන් ව්‍යාජ ලෙස පෙනී සිටිමින් සිදුකරන වංචා ආදී මහා පරිමාණ ජාවාරම් මැඩපැවැත්වීම සඳහා Google සමාගම විසින් සුවිශේෂී ආරක්ෂණ පද්ධතියක් හඳුන්වා දී තිබෙනවා. "Fake Call Detection" නමින් හඳුන්වා දී ඇති මෙම නව විශේෂාංගය මඟින් AI සහ Deepfake තාක්‍ෂණය ඔස්සේ පුද්ගලයන්ගේ හඬ මෙන්ම අනන්‍යතාවය ව්‍යාජ ලෙස සකස් කර (AI voice cloning) සිදුකරන නවීනතම සයිබර් ප්‍රහාරවලින් පරිශීලකයන් ආරක්ෂා කිරීමට Google සමාගම කටයුතු කරමින් සිටිනවා.
මෑත කාලීනව ගෝලීය වශයෙන් සීඝ්‍රයෙන් වර්ධනය වන ප්‍රධානතම තර්ජනයක් වී ඇත්තේ තමන් හොඳින්ම හඳුනන මව, පියා, සැමිය/ බිරිද හෝ සමීපතම මිතුරෙකුගේ දුරකථන අංකය සහ නම ජංගම දුරකථන තිරය මත පෙන්වමින්, ඔවුන්ගේම හඬට සමාන හඬක් කෘත්‍රිමව නිර්මාණය කර මුදල් හෝ සංවේදී දත්ත ලබාගැනීමට උත්සාහ කිරීමයි. මෙම භයානක තත්ත්වයට ස්ථිර තාක්‍ෂණික විසඳුමක් ලබාදෙමින් Google සමාගම විසින් ක්ෂේත්‍රයේ ප්‍රථම වරට මෙම සේවාව Phone by Google App එක ඔස්සේ ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබෙනවා.
ව්‍යාජ ඇමතුම් හඳුනාගැනීමේ තාක්‍ෂණය ක්‍රියාත්මක වන ආකාරය
මෙම ආරක්ෂණ පද්ධතිය පරිශීලකයාට කිසිදු බාධාවකින් තොරව පසුබිමෙන් ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන අතර, එය සරලවම උපාංග දෙකක් අතර සිදුවන ඩිජිටල් අතට අතදීමක් බඳු ක්‍රියාවලිය.
ඔබගේ සම්බන්ධතා ලැයිස්තුවේ සිටින අයෙකු ඔබට ඇමතුමක් ලබාදෙන සෑම අවස්ථාවකදීම, ඇමතුම ලබාගන්නා පුද්ගලයා සහ ඇමතුම ලබාදෙන පුද්ගලයා යන දෙදෙනාම "Phone by Google" App එක භාවිත කරන්නේ නම්, ඇමතුම ලබාදෙන උපාංගය මඟින් අනෙක් උපාංගය වෙත ක්ෂණිකව රහසිගත තහවුරු කිරීමේ සංඥාවක් (Silent confirmation signal) නිකුත් කරනු ලැබේ. මෙමඟින් එම ඇමතුම සැබවින්ම අදාළ පුද්ගලයාගේ දුරකථනයෙන්ම පැමිණි එකක් බව තහවුරු කර ගනු ලබනවා.

යම් හෙයකින් සයිබර් අපරාධකරුවෙකු හෝ වංචාකරුවෙකු වෙනත් උපක්‍රමයක් භාවිත කරමින් (Spoofed call) ඔබගේ සමීපතමයෙකුගේ නමින් ව්‍යාජ ඇමතුමක් ලබාදුනහොත්, එම මූලික තහවුරු කිරීමේ ඩිජිටල් සංඥාව (Confirmation signal) අතුරුදහන් වන අතර එවිට ඔබගේ දුරකථන පද්ධතිය ක්ෂණිකව ක්‍රියාත්මක වී, ඇමතුම පැමිණි බව කියන සැබෑ පුද්ගලයාගේ උපාංගය වෙත පණිවිඩයක් යවා "ඔබ මේ මොහොතේ ඇමතුමක් ලබාගන්නවාද?" යන්න ද්විත්ව පරීක්ෂාවකට ලක් කරනවා. එහිදී සැබෑ උපාංගයෙන් "මා මේ මොහොතේ ඇමතුමක් ලබා නොදේ" යන ප්‍රතිචාරය ලැබුණු සැණින්, ඔබගේ දුරකථන තිරය මත විශේෂ අනතුරු ඇඟවීමේ නිවේදනයක් (Warning alert) දිස්වන අතර, එම ඇමතුම වහාම විසන්ධි කරන ලෙස පද්ධතිය ඔබට උපදෙස් දෙනු ලබනවා.
පූර්ණ රහස්‍යභාවය සහ තාක්‍ෂණික පදනම
මෙම සමස්ත ඩිජිටල් ක්‍රියාවලිය සඳහා Google සමාගම විසින් End-to-end encrypted තාක්‍ෂණයෙන් යුත් Rich Communication Services (RCS) යටිතල පහසුකම් භාවිත කරනු ලබන අතර මේ නිස පද්ධතිය හරහා හුවමාරු වන කිසිදු දත්තයක් බාහිර පාර්ශවයකට විවෘත නොවන අතර පරිශීලකයාගේ පූර්ණ පුද්ගලික රහස්‍යභාවය උපරිමයෙන් සුරැකෙනවා.
මෙම ආරක්ෂණ විශේෂාංගය කිසියම් සන්නාමයකට හෝ දුරකථන මාදිලියකට පමණක් සීමා කිරීමට Google සමාගම බලාපොරොත්තු නොවන අතර සයිබර් වංචාවලින් සමස්ත ලෝකවාසී ජනතාව ආරක්ෂා කිරීමේ අරමුණින්, RCS වැනි Open standard මත මෙය නිර්මාණය කර ඇති බැවින්, අනෙකුත් දුරකථන නිෂ්පාදන සමාගම්වලට සහ මෘදුකාංග සංවර්ධකයන්ටද මෙම තාක්‍ෂණය ඉදිරියේදී සිය පද්ධති සඳහා බද්ධ කරගැනීමේ අවස්ථාව පවතිනවා.
සේවාව ලබාගත හැකි උපාංග
Google සමාගම පවසන පරිදි මෙම "Fake Call Detection" විශේෂාංගය Android 12 හෝ ඊට ඉහළ සංස්කරණ ක්‍රියාත්මක වන ලොව පුරා පවතින සියලුම Android උපාංග සඳහා ඉදිරි මාස කිහිපය තුළදී අදියර වශයෙන් නිකුත් කිරීමට නියමිත වන අතර මෙහි මූලික අදියර Google Pixel දුරකථන මාදිලිවලින් ආරම්භ වනු ඇත.
ලොව පුරා බහුතරයක් Android උපාංග සඳහා දැනටමත් Default phone app එක ලෙස ක්‍රියා කරන්නේ "Phone by Google" app එක නිසා මෙය සියලු දෙනාට ඉදිරියෙදී භාවිත කිරිමට හැකි වනු ඇත.
Source: blog.google








