Loading...
Snapdragon 8 Elite Gen 6 සමඟින් ඩොලර් 300කින් පමණ Smartphone මිළ ඉහළ යා හැකි බවට වාර්තා වේ

ලොව පුරා Smartphone ක්ෂේත්‍රයේ දැවැන්ත පෙරළියක් සිදු කිරීමට සූදානම් වන Qualcomm සමාගමේ මීළඟ ප්‍රමුඛතම ප්‍රොසෙසරය වන Snapdragon 8 Elite Gen 6 පිළිබඳව ඉතා වැදගත් තොරතුරු රැසක් මේ වන විට නිකුත් වී තිබෙනවා. නවතම වාර්තා පෙන්වා දෙන්නේ මෙම නව Chipset එකෙහි මිල පෙර මාදිලිවලට වඩා සැලකිය යුතු මට්ටමකින් ඉහළ යනු ඇති බවයි. මෙය ඉදිරි වසරේ වෙළඳපොළට පැමිණීමට නියමිත Samsung, Xiaomi සහ OnePlus වැනි ප්‍රධාන පෙළේ Flagship Smartphone මිල කෙරෙහි සෘජු බලපෑමක් එල්ල කරනු ඇතැයි බලපොරොත්තු වෙන්න පුලුවන්.

Qualcomm සමාගම සිය "Elite" සන්නාමය යටතේ හඳුන්වා දෙන මෙම දෙවන පරම්පරාවේ ප්‍රොසෙසරය, තාක්ෂණික අතින් පෙර නොවූ විරූ දියුණුවක් අත්පත් කර ගැනීමට සූදානම් වන බව පෙනෙන්නට තිබෙනවා. කෙසේ වෙතත්, මෙම තාක්ෂණික දියුණුව සමඟ එන අධික පිරිවැය පාරිභෝගිකයාට දරාගත හැකි මට්ටමක පවතිනු ඇත්ද යන්න පිළිබඳව ගැටලුවක් මතු වනවා.


මිල ඉහළ යාමේ සැබෑ හේතුව:

Snapdragon 8 Elite Gen 6 හි මිල මෙලෙස ඉහළ යාමට බලපාන ප්‍රධානතම සාධකය වන්නේ එය නිෂ්පාදනය කිරීම සඳහා භාවිතා කරනු ලබන අතිනවීන තාක්ෂණයයි. ලොව ප්‍රමුඛතම චිප් නිෂ්පාදකයා වන TSMC (Taiwan Semiconductor Manufacturing Company) සමාගමේ නවතම 2nm (nanometer) නිෂ්පාදන ක්‍රියාවලිය (Node) මෙම Chipset එක සඳහා භාවිතා කිරීමට Qualcomm තීරණය කර තිබෙනවා.

වාර්තා වන තොරතුරු අනුව, එක් Snapdragon 8 Elite Gen 6 චිප්සෙට් එකක මිල ඩොලර් 200 සිට 240 දක්වා (ශ්‍රී ලංකා රුපියල් 60,000 - 72,000 පමණ) අගයක් ගනු ඇතැයි අපේක්ෂා කළ හැකි අතර පසුගිය වසරේ නුකුත් වූ Snapdragon 8 Gen 3 සහ Snapdragon 8 Elite (Gen 5) මාදිලිවලට වඩා සැලකිය යුතු ඉහළ යාමක් ලෙස දක්වන්න පුලුවන්.

Flagship ස්මාර්ට්ෆෝන් මිල කෙරෙහි වන බලපෑම,

සාමාන්‍යයෙන් ඉහළ පෙළේ Smartphone එකක නිෂ්පාදන වියදමෙන් (Bill of Materials - BoM) සැලකිය යුතු ප්‍රතිශතයක් වැය වන්නේ එහි ප්‍රොසෙසරය (Processor) සහ තිරය (Display) සඳහා වන අතර ප්‍රොසෙසරයේ මිල මෙලෙස ඩොලර් 40-50 කින් පමණ ඉහළ යන විට, එය සමස්ත දුරකථනයේ අවසන් විකුණුම් මිල කෙරෙහි දැඩිව බලපානු ලබනවා.

ප්‍රොසෙසරයේ මිල වැඩිවීමට අමතරව, ඒ සමඟ භාවිතා කළ යුතු නවීන RAM සහ Storage පද්ධතිවල පිරිවැය ද සැලකිල්ලට ගත් විට, මීළඟ වසරේ නිකුත් වන Galaxy S26 වැනි දුරකථනවල මිල වර්තමාන මිලට වඩා ඩොලර් 100 (රු. 30,000-40,000 පමණ) කින් පමණ ඉහළ යාමේ අවදානමක් පවතිනවා.


මිල ඉහළ වුවද, Snapdragon 8 Elite Gen 6 හරහා පරිශීලකයින්ට ලැබෙන තාක්ෂණික වාසි සුළුපටු නොවන අතර 2nm තාක්ෂණය වෙත මාරු වීම නිසා දුරකථනයේ ක්‍රියාකාරීත්වයෙහි නව පිම්මක් බලාපොරොත්තු විය හැකි වනවා.

  • බලශක්ති කාර්යක්ෂමතාව: ට්‍රාන්සිස්ටර අතර පරතරය තවදුරටත් අඩු වීම නිසා, ප්‍රොසෙසරය ක්‍රියාත්මක වීමට වැය වන විදුලි බලය සැලකිය යුතු ලෙස අඩු වේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස ස්මාර්ට්ෆෝන්වල බැටරි ආයුකාලය පෙරට වඩා 15% සිට 20% දක්වා ප්‍රමාණයකින් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරන්න පුලුවන්.
  • අධි-වේගී සැකසුම් හැකියාව: CPU සහ GPU ක්‍රියාකාරීත්වය තවත් වේගවත් වන බැවින්, ඉතා සංකීර්ණ වීඩියෝ සංස්කරණ කටයුතු සහ ඉහළ මට්ටමේ Gaming (Triple-A games) අත්දැකීම් කිසිදු බාධාවකින් තොරව ලබා ගත හැකි වනු ඇත.
  • On-device AI සහ Agentic AI: මෙවර Chipset එක තුළම ක්‍රියාත්මක වන AI ඒකකය (NPU) වඩාත් බලගතු කර ඇති අතර පරිශීලකයාගේ අභිප්‍රාය හඳුනාගෙන ස්වයංක්‍රීයව ක්‍රියා කළ හැකි 'Agentic AI' සහායකයින් සඳහා මෙය කදිම අඩිතාලමක් වනු ඇත. එමෙන්ම ඔබගේ දත්ත දුරකථනය තුළම සැකසෙන බැවින් ආරක්ෂාව සහ රහස්‍යභාවය ද ඉහළ යනු ඇත.

Snapdragon 8 Elite Gen 6 යනු නිසැකවම Smartphone ඉතිහාසයේ හැරවුම් ලක්ෂයක් වනු ඇත. 2nm තාක්ෂණයේ ආගමනයත් සමඟ අපගේ ස්මාර්ට්ෆෝන් තවදුරටත් පරිගණකයකටත් වඩා බලවත් වනු ඇත. නමුත් මෙම දියුණුව සමඟ එන "මිල ඉහළ යාම" සාමාන්‍ය පාරිභෝගිකයාට කෙතරම් දුරට බලපානු ඇත්ද යන්න තවමත් ප්‍රශ්නාර්ථයක් ලෙස දක්වන්න පුලුවන්.

Source: www.androidauthority.com