Loading...
නවතම Pixel දුරකතනයන් ලෙසින් Pixel 7 සහ Pixel 7 Pro දුරකතනයන් එලි බ​සී

ලෝව පුරා පවතින දුරකථන සමාගම් අතර තාක්ෂණික දියුණුවත් සමග දැඩි තරඟකාරී වාතාවරණයක් නිර්මාණය කර ඇත්තේ තම පාරිභෝගිකයා වෙත අලුත් අත්දැකීමක් ලබාදිය හැකි දුරකථනයක් සැපයීම සඳහායි. මෙලෙස පවතින තරඟකාරී වෙළඳපොල තුළට පැමිණි තරගකාරී මාදිලියක් ලෙස Google Pixel මාදිලි පෙල හදුන්වා දෙන්න පුලුවන්.

පසුගිය වසරේ, එනම් 2021 වසරේ ඔක්තෝබර් මස නිකුත් කළ Google Pixel 6 සහ 6 Pro දුරකථන ජනප්‍රියත්වයට පත් වුයේ එහි පවතින විශේෂිත වූ, එයටම ආවේණික පෙනුම මෙන්ම එයට අන්තර්ගත කර තිබූ Features නිසාවෙනි.

එම මාදිලි පෙළ නිකුත් කර වසරක් සපිරීමට මත්තෙන් පසුගිය 6 වන දින Google සමාගම විසින් සිය Pixel මාදිලි පෙලෙහි ඊලඟ දැවැන්තයා වන Google Pixel 7 සහ 7 Pro දුරකථන දෙක වෙළෙඳපොළට නිකුත් කිරීම සිදු කරනු ලැබුවා.

Google Pixel 7 Pro සහ Google Pixel 7

Design සහ Display පිළිබඳව කෙටියෙන්.

මෙම නවතම මාදිලි පෙල සැලකීමේදී සිනිදු, කල්පවතින මෙන්ම නවීන නිමාවකින් යුතු වන අතර දුරකථන දෙකෙහිම පවතින්නේ ඇලුමිනියම් ආවරණයක් වන අතර එය 100%  ප්‍රතිචක්‍රීකරණයට ලක් කළ හැකි අමුද්‍රව්‍ය වලින් නිම කිර තිබිම විශේෂත්වයකි. ඉතා කුඩා ඉඩ පරාසයක වැඩි විශේෂාංග ප්‍රමාණයක් අන්තර්ගත කර ඇති අතරම පෙර පැවති Pixel 6 මාදිලි වලට වඩා වැඩිදියුණු බව සඳහන් කළ යුතුයි.

Pixel 7 දුරකථනයෙහි අඟල් 6.3 ක තිරයක් ද Pixel 7 Pro සඳහා අඟල් 6.7 ක තිරයක් ද අන්තර්ගත වන අතර Corning Gorilla Glass Victus ආරක්ෂාව සමග නිකුත් වේ. මෙහි පසුපස ආවරණය පිළිබඳව සැලකීමේ දී එහි පවතින Zirconia-Blasted Aluminum මගින් පරිශීලකයාගේ දෑත් සඳහා වඩාත් සුවපසු අත්දැකීමක් ලබාදෙනු ඇත. එලෙසම මෙම මාදිලි දෙක සඳහාම Snow, Obsidian සහ Lemongrass යන වර්ණ වලින් මිලදී ගැනීමට හැකිවන බව දක්වා තිබෙනවා.

Internal Features

මෙම දුරකථන දෙකෙහි Internal Features සැලකීමේදී වැදගත්ම කරුණ වන්නේ Google සමාගම විසින් මෙම දුරකථන දෙක සඳහාම Google Tensor G2 Processor සමග Android 13 ලබා දීමයි. මෙය පරිශීලකයාට ඉතාමත් නැවුම් අත්දැකීමක් වනු ඇති බවට බොහෝ විචාරකයන් අදහස් පල කරන අතර Android 13 පැවතීම හේතුවෙන් පරිශීලකයා වෙත වේගවත්, ආරක්ෂිත බවක් මෙන්ම තමාට රුචි පරිදි දුරකථනයේ නිර්මාණාත්මක වෙනස්කම් සිදුකිරීමට ඇති හැකියාව නිසා මෙම දුරකථනය භාවිතා කරනු ලබන්නා වෙත අනෙකුත් මාදිලි තුළින් ලබාගත නොහැකි වූ අත්දැකීම සමුදායක් ලබාගත හැකි වනවා.

Google Tensor G2 Processor මගින් මෙම Pixel මාදිලියේ දුරකථන දෙක සඳහා ඉහළ ගුණාත්මක බවක් මෙන්ම යාවත්කාලීන වූ පහසුකම් රාශියක් සලසයි. ඒ අතරින් පෙර පැවති Pixel මාදිලි වලට සාපේක්ෂව අඩු ශක්ති පරිභෝජනයක් මගින් වැඩි කාලයක් බැටරි ආයුකාලයක් පවත්වා ගැනීම, දුරකථනය තුළ පවතින දත්ත සඳහා වැඩි ආරක්ෂාවක් ලබාදීම, Machine Learning තාක්ෂණය යොදා සකස් කර ඇති බැවින් Live Translate පහසුකම යනාදී නව පහසුකම් රැසක් ලබා දී තිබෙනවා.

Pixel කැමරාව

පසුගිය වසර තුළ වැඩි කතාබහකට ලක් වූ Google Pixel 6 සහ 6 Pro දුරකථන වල විශේෂිත වූ කැමරාව මෙම මාදිලිය වන විට වඩාත් වැඩුදියුණු වී ඉතාමත් හොඳ, නිර්මාණාත්මක මට්ටමේ ඡායාරූප ලබාගැනීම සඳහා සකස් කර තිබෙනවා.

Google Pixel 7 දුරකථනය සඳහා Dual Lens Camera setup එකක් අඩංගු වන අතර Primary කැමරාව ලෙස 50MP සහ 12MP Ultra Wide පහසුකම ලබා දී ඇත. ඉදිරිපස කැමරාව සඳහා 10.8MP කැමරාවක් අන්තර්ගත වන අතර මෙහි ඉදිරිපස සහ පසුපස කැමරා දෙකෙන්ම 60fps දක්වා 4K මට්ටමෙන් Video ලබාගත හැකි වනවා.

Google Pixel 7 Pro දුරකථනය සඳහා පසුපස කැමරා ලෙස Pixel 7 හි අන්තර්ගත Primary සහ Ultra wide කැමරා මෙන්ම 48MP වලින් යුත් Telephoto කැමරාවක් ලබා දී තිබෙනවා. මෙම කැමරා Setup එක මගින් 5X Optical Zoom පහසුකම ඡායාරූපකරණයේදී ලබාගත හැකියි. 7 Pro හි ඉදිරිපස කැමරාව පිළිබඳව සලකා බලන විට ඒ සඳහා Pixel 7 හි අන්තර්ගත වූ කැමරා පහසුකම් ඇතුලත් වේ.

මෙම මාදිලි සමග Google විසින් ලබාදී ඇති Super Res Zoom හරහා Pixel 7 මගින් 8X සහ Pixel 7 Pro මගින් 30X දක්වා වඩාත් තියුණු, ගුණාතමක ඡායාරූප ලබාගැනීමට හැකියාව ලැබෙනු ඇත. 7 Pro සඳහා ලබා දී ඇති Macro Focus lens මගින් මල් පෙති, පිහාටු වැනි ඉතාමත් කුඩා ද්‍රව්‍යවල Detailed Photos Capture කරගැනීමට අවස්ථාව හිමිවේ. එමෙන්ම මෙම දුරකථන දෙක සඳහාම ලබා දී ඇති Google ඡායාරූප විශේෂාංගයක් වන Photo Unblur මගින් පැහැදිලිභාවයෙන් අඩු ඡායාරූප වල වැඩිදියුණු කිරීම් සිදු කිරීමට පවා අවස්ථාව ලබා දී ඇත.

මෙලෙස ඉතාමත් හොඳ විශේෂාංග වැඩි ප්‍රමාණයක් ලබා දෙන Google Pixel 7 සහ 7 Pro මාදිලි මෙම මස 13 වන දින සිට වෙළඳපොල වෙත නිකුත් කරන බවට නිවේදනය කර තිබෙන අතර මේ දුරකථනවල ආසන්නතම මිල ගණන් ලෙස Pixel 7 ඩොලර් 599 ($ 599) සහ Pixel 7 Pro ඩොලර් 899 ($ 899) ක් ලෙස දක්වන්න පුලුවන්. කෙසේ වෙතත් මෙම Pixel මාදිලි පෙළ මේ වෙන විට පවතින දුරකථන වෙළඳපොල තුල වඩාත් තරඟකාරී මාදිලියක් වන බැවින් එමගින් පරිශීලකයා වෙත ඉතාමත් ඉහළ ගුණාත්මකභාවයකින් යුතු සේවාවක් සපයනු ඇති බවටත් අප හට අනුමාන කළ හැකියි.

Sources: Google TehcRadar