Loading...
අපිට වඩා අපි ගැන දන්න Google සහ අපිව නොදන්න DuckDuckGo

මුලින්ම කියන්න ඕන, මේ කතාව ලියන්න පටන්ගන්නවද, නැද්ද කියන තැන තමයි මුලින් මම හිටියෙ, මොකද Online Privacy ගැන කතා කරන්න උත්සාහ කරන හැම වෙලාවකම වගේ ගොඩක් අය කියන "අනේ අපිට හංගන්න මුකුත් නෑ", "ගන්නවා නම් ඔන්නොහේ ගත්තාවෙ", "උන් ඔය සර්විස් දෙන්නෙ නොමිලේ, ඉතින් ඒ නිසා උඹ උන්ට උඹේ ප්‍රයිවට් ඩේටා කලෙක්ට් කරන්න දෙන්න ඕන" වගේ ගොං ටෝක්ස් අහලා මට තිත්ත වුණ නිසා.

ඒත්, අපේ Website admin, අපේ leader, තිමිර සහෝදරයාගේ බලවත් ඉල්ලීම් එක්ක, මම නැවතත් අන්තර්ජාලයේ පෞද්ගලිකත්වය ගැන ලියන්න එකඟ වුණා. ඒ නිසා, මුලින්ම කියන්න ඕන අර උඩින් කිව්ව ජාතියෙ පොරවල් ටික දැන් මෙතනින් එහාට කියවන්නෙ නැතත් මට අවුලක් නෑ.

DuckDuckGo කියන වචනය ඇහුවමත් සමහර අය හිනා වෙන්න ගන්නවා. මට තියෙන පුදුමෙ, අපේ කට්ටියට ගූගල් කිව්වම හිනා නොයා DuckDuckGo කිව්වම හිනා යන්නෙ ඇයි කියලා. අපි එහෙනම් දැන් බලමු, කවුද කාටද ඇත්තටම හිනා වෙන්න ඕන කියලා.

DuckDuckGo කියන්නෙ Google වගේ Search Engine එකක්. Google වගේ කිව්වට ඒ වගේ නෑ, මොකද Google වගේ මේකෙන් ඔයාගෙ පෞද්ගලිකත්වය නැති කරන්නෙ නෑ. ඒකයි මේකෙ තියෙන විශේෂත්වය. ඒ වගේම අපි බලමු, Google වෙනුවට DuckDuckGo භාවිතයෙන් අපිට ලැබෙන්නෙ මොනවාද කියන එක.

මෑතකදී Google විසින් හඳුන්වා දුන්න Instant Answers එහෙමත් නැත්නම්, අපි අහන ප්‍රශ්ණයට කෙලින්ම පිළිතුර දෙන ක්‍රමය හොරකම් කළේ කාගෙන්ද දන්නවද? ඒක හොරකම් කළේ අපි මේ කතා කරන DuckDuckGo කියන Search Engine එකෙන්. ඒත් අන්තිමේදී Google සමාගමට තියෙන බලය උපයෝගී කරගෙන ඒ යෙදුම වඩා දියුණු කරගන්න එයාලා සමත් වුණා.

DuckDuckGo එකට බය උන Google

DuckDuckGo කියන්නෙ හැම අතින්ම වගේ Google එක්ක කරට කර සටන් කරන්න පුළුවන් ප්‍රභල සෙවුම් යන්ත්‍රයක්. අන්න ඒ නිසාම Google එකෙන් මේ DuckDuckGo කියන Search Engine එකට මිනිස්සු හුරු වීම නවත්තන්න, කරන්න පුළුවන් හැම සට කපට කමක්ම කරන්න ගත්තා. ඒවයින් කොටසක් මේ ලිපියේ අපි කතා කරමු.

හිතුමතේ search results වෙනස් කරන Google

Search Engine එකක් කියන්නෙ අන්තර්ජාලයේ තියෙන හැම දෙයක්ම ඔයාට හොයලා දෙන සේවාවක් කියලා දැනටමත් ඔයාලා දන්නවා. අපි අන්තර්ජාලය වෙත පිවිසිලා වැඩි හරියක් කරන්නෙ Search කරන එකනෙ. අන්න ඒ හේතුව නිසා මෙන්න මේ Search Engine එකකට ලොකු බලයක් තියෙනවා. මොකද, Search Engine එකකට පුළුවන් ඔයා දකින දේ වෙනස් කරන්න. ඔයාගෙ ආකල්ප, සිතුම් පැතුම් හෝ යම් කරුණක්, දෙයක් හෝ පුද්ගලයෙක් ගැන ඔයාගෙ හිතේ තියෙන ප්‍රතිරූපය පවා මේ Search Engine එකකට වෙනස් කරන්න පුළුවන්.

උදාහරණයක් විදියට, අපි ගනිමු මේ වගේ උදාහරණයක්. ඔයා එක් දේශපාලන පක්ෂයකට ලැදි කෙනෙක්. නමුත් ඒ පක්ෂය ගැන ඔයා අන්තර්ජාලයේ සෙවුමක් කරන කොට ඔයාට හම්බෙන Search results වල බහුතරය ඒ පක්ෂයේ වැරදි, අක්‍රමිකතා, දූෂන වගේ දේවල් ගැන නම්, කාලයක් තිස්සේ ඒවා දැකීමෙන් ඔයාට ඒ අදාළ පක්ෂය එපා වෙන්න පුළුවන්.

නමුත්, ඔයාට එහෙම search results ලැබුණේ ඔයා සෙවුම කරන search engine එක විසින් මුලින්ම අදාළ පක්ෂයේ වැරදි ටික පමණක් පෙන්වීම නිසා නම්, එතනදි අවුලක් තියෙනවා. ඇත්තටම ඒ ඔයා සොයා බලපු පක්ෂයටත් වඩා ඒ පක්ෂයේ ප්‍රති විරුද්ධ පක්ෂයේ වැරදී වැඩී නම්, නමුත් search results වල පෙන්නන්නේ ඒ පක්ෂයේ හොඳ ටිකම නම්, එතන ඉතා විශාල අවුලක් තියෙනවා. මං හිතන්නෙ, දැන් ඔයාට අවබෝධයක් ඇති මේ search engine එකකට කරන්න පුළුවන් දේවල් ගැන.

නමුත්, කණගාටුවෙන් වුණත් කියන්න වෙනවා ඔයා නිතර දෙවේලෙ පාවිච්චි කරන මේ Google Search Engine එක ඔයාට පෙන්නන්නෙ මම අර කලින් කිව්වා වගේ අතර මැදින් වෙනස් කරපු search results තමයි.

විශේෂයෙන්ම "is google spying on me" (Google මං ගැන ඔත්තු බලනවද?) වගේ දෙයක් search කළොත් ඔයාට උඩින්ම එන්නෙ මෙන්න මේ වගේ ප්‍රතිඵලයක්.

මේකෙන් කියවෙන්නේ "හැම තැනම Google විසින් මිනිස්සු ගැන ඔත්තු බලනවා කියලා කතා වෙනවා තමයි, Google ඔයා ගැන ගොඩක් දේවල් දන්නවා, ඒත් ඔයාට පුළුවන් එහෙම දැනගන්න එක නවත්තන්න." වගේ සැනසිලි දායක ප්‍රකාශයක්. මෙන්න මේ වගේ, Google Search එකේ යම් සෙවුමක් දැම්මහම, එන පළමු ප්‍රතිඵලය බොහෝ විට Google සමාගමට අවශ්‍ය විදියට වෙනස් කරපු එකක්.

මට ඕන එක තමයි මං පෙන්නන්නේ

අනික් දේ තමයි, අපි ප්‍රශ්ණයක් විදියට අහලා search කරන සෑම දෙයකදී ම කෙලින්ම දෙන පිළිතුරක් විදියට මුලින්ම මොකක් හෝ Google සමාගම කැමති දෙයක් පිළිතුර විදියට පෙන්වන එක. මේකෙන් කරන්නේ, සාමාන්‍යයෙන් Search Engine එකකින් ලබා දෙන්න ඕන Search Results වෙනුවට, එයාලට ඕන මොකක් හරි උඩින්ම පෙන්නලා, සාමාන්‍ය Results ටික කවුරුත් ගිහින් බලන්නෙ නැති තරමට පිටුවේ පහළට තල්ලු කරන එක. මේකෙන් තේරෙන්නෙ එකම දෙයක් විතරයි, Google Search එකක්දි ඔයාට ලැබෙන්නේ ඇත්තටම Internet එකේ තියෙන ප්‍රතිඵල නෙවෙයි, Google ලගේ න්‍යායපත්‍රයකට අනුව වෙනස් කරපු රිසාල්ට් ටිකක්.

Privacy settings, ආ ඒක මේ තිබ්බා අර අතන

Google විසින් අපි අර කලින් කිව්ව විදියේ රිසාල්ට් එකක් පෙන්නුවත්, ඇත්තටම ඔය කියන විදියට ඒක කන්ට්‍රෝල් කරන්න, Privacy Settings තියෙන්නෙ කොහෙද කියලා වත් අපේ ගොඩක් අන්තර්ජාලය පාවිච්චි කරන අය දන්නෙ නෑ. ඒ වගේම, මේ වගේ පොස්ට් එකක් වත් කියවන්නෙ අන්තර්ජාලයේ සැරිසරන කීයෙන් කී දෙනාද? මේ කිසිවක් නොදැන ගොඩක් මිනිස්සු ඔහේ හරක් වගේ අන්තර්ජාලයේ සැරිසරනවා. ඒ වගේම ඔය privacy Settings ටික කොහොමත් යමක් කමක් දන්න කෙනෙක්ට වත් පේන තැනක නෙවෙයි හංගලා තියෙන්නෙ. පහුගිය කාලෙ ගෙව්ව බිලියන ගණන් දඩ මුදල් වලට පස්සෙ නම් යන්තම් ටිකක් හරි Privacy Settings පේන්න හදලා තියෙනවා, ඕකෙන් අපි Settings හැදුවත් අපිව රවට්ටලා අපේ ඩේටා ටික එකතු කරගන්න කපටි ක්‍රම එයාලා ඕන තරම් දන්නවා.

ඔයාල යන එන තැන් අපි බලාගෙන ඉන්නේ

ඒ වගේම Google කම්පනි එකෙන් අපි ඉන්න තැන් යන එන තැන් ගැන වාර්තා තියා ගන්නවා, ඒ වගේම අපේ ඊමේල් ටික කියවනවා, අපි ඉන්ටනෙට් එකේ හොයපු දේවල් ගැනත් වාර්තාවක් තියාගන්නවා, අපි අන්තර්ජාලය හරහා මිළදී ගන්න දේවල් ගැනත් වාර්තා තියාගන්නවා. ඉතින් හිතලා බලන්න, එයාලා මොනවද අපි ගැන නොදන්නෙ?

DuckDuckGo පරද්දන්න Googleගේ සටකපට කම්

Google කියන්නෙ හොඳින් හෝ නරකින් තමන්ගෙ නම ව්‍යාප්ත කරගන්න උත්සාහ දරපු සමාගමක් කියලා මම මීට කලින් ලියපු ලිපි කියපු ඔයාලා දන්නවා ඇති, බිලියන ගාණක දඩ කනකන්ම, Google සමාගම විසින් නිපදවන Chrome Browser එකේ Default search engine එක විදියට DuckDuckGo search engine එක තෝරාගන්න ඉඩ දුන්නෙ නෑ. ලෝකෙම හූරන් කාලා ට්‍රිලියන ගණන් හොයන Google සමාගම DuckDuckGo එකට මෙච්චර බය වුණේ ඇයි කියලා දැන් තේරෙනවා නේද?

ඇත්තටම ඊටත් වඩා කැත වැඩ Google සමාගම විසින් කරලා තියෙනවා. මුලින්ම Google කට්ටිය කරපු දෙයක් තමයි duck.com කියන ඩොමේන් එක සල්ලි වලට ගත්ත එක. ඊට පස්සෙ එයාලා කළේ duck.com කියන අඩවියට යන අයව google.com එකට හරවලා යවපු එක. (redirect) කැත වැඩ ඉවරයක් නෑ, Google එකේ DuckDuckGo කියලා සර්ච් කරලා google search results වලින් DuckDuckGo අඩවියට යන්න උත්සාහ කරපු හැමෝටම Google එකෙන් පහත ආකාරයේ කැත පේජ් එකක් පෙන්නලා බය කළා.

පහළින් චුට්ටියට DuckDuckGo එකට යන links පෙන්නුවා. ඕකට කේස් එක ඇදුණම ඒක කළේ අහවල් එකටයි කියලා Rob Shilkin කියන Google එකේ ප්‍රධාන නිළධාරියෙක් Tweet එකක් දැම්ම එක. ඒ Tweet එකට ප්‍රසිද්ධියේම DuckDuckGo නිපදවපු Gabriel Weinberg රිප්ලයි කරලා ඉල්ලීමක් කළා duck.com ඩොමේන් එක අපිට විකුණන්න කියලා.

අන්තිමේදි කොහොමින් කොහොම හරි Google පිරිවරට සිදු වුණා duck.com ඩොමේන් එක Gabriel Weinberg ටම ලබාදෙන්න. මෙතන මම දකින විදියට Rob Shilkin ට වුණේ ගලේ පහැරූ පූසෙක්ට වුණා වගේ වැඩක්.

ඒ වගේම, Google විසින් පවත්වාගෙන යන විදියේ shadow profile එකක් (ඔයාට හොරෙන් එකතු කරගත්ත ඔයාගෙ විස්තර අඩංගු, ඔයාටත් කවදාවත් බලන්න බැරි, හොර ප්‍රොෆයිල් එකක්.) DuckDuckGo විසින් ඔයා ගැන පවත්වාගෙන යන්නේ නෑ. ඒ හේතුව නිසා Google එකේ වගේ ඕනවටත් වඩා Personalize කරපු, වෙනස් කරපු අමුතු තාලේ Search results ඔයාට DuckDuckGo එකෙන් පෙන්වන්නේ නෑ. DuckDuckGo එකෙන් ඔයාට පෙන්වන්නේ සාමාන්‍ය Search Engine එකකින් අන්තර්ජාලය පුරා හොයලා බලලා ඔයාට results පෙන්වන පිළිවෙලට වැඩ කිරීම පමණයි.

අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ, Google එක්ක තරඟ කිරීමේ හැකියාවක් DuckDuckGo එකට නෑ කියලා, මොකද ලෝකයේ IT දැණුම තියෙන, යමක් තේරුම්ගන්න පුළුවන්, ඔබ වැනි පිරිස ඉතා සීමිත වීමත්, දැනටමත් සෑම අස්සක් මුල්ලක් නෑර විසිරිලා පැතිරිලා ඉන්න Google සමාගම විසින් ඔවුන්ගේ ඒකාධිකාරය ඇතුළේ බිලියන ගාණක් වෙන ඔවුන්ගේ users ලා හිර කරගෙන සිටීමත් නිසා. ඇත්තටම, DuckDuckGo එකට එහම Google එක්ක තරඟ කිරීමේ අවශ්‍යතාවයකුත් නෑ. DuckDuckGo විසින් කරන්නෙ, Google ඇතුළු ප්‍රධාන පෙලේ පෞද්ගලික දත්ත මංකොල්ල කන Search engine අතර, එහෙම නොකරන වඩා හොඳ තෝරාගැනීමක් වශයෙන් පවතින එක විතරයි.

මේ කරුණු තේරුම් ගත්ත සීමිත පිරිස, DuckDuckGo භාවිතා කරයි, ඉදිරියටත් එහෙම වේවි. මෙතන කාරණාව තමයි, DuckDuckGo වලට යන්නෙ IT ක්ෂේත්‍රයේ යමක් දන්න පිරිස වීම. ඒ නිසාම, DuckDuckGo විසින් Google විසින් ලබා නොදෙන ගොඩක් පහසුකම් සපයලා තියෙනවා. තමන්ට ඕන විදියට Search Engine එක වෙනස් කරගැනීම, විවිධ Themes වගේ දේවල් ඉන් ප්‍රමුඛයි.

මම මෙතනදි ඉල්ලීම් කරන්නෙ නැහැ. මොකද DuckDuckGo වලට ඔයා මාරු වුණා කියලා මට ලැබෙන කිසිවක් නැති නිසා, මම කියන්නේ, සොයා බලන්න, දැණුවත් වෙන්න, නිවැරැදි දේ ඔබම කරන්න කියන දේ විතරයි. එහෙනම්, ගිහින් එන්නම්. ඔබට ජය!

DuckDuckGo — Privacy, simplified.
The Internet privacy company that empowers you to seamlessly take control of your personal information online, without any tradeoffs.

Visit DuckDuckGo!