Loading...
Google ඔබව track කිරීම නවත්වයි?

Google සහ පෞද්ගලිකත්වය කියන්නේ කිරි හොදියි, බෝල්ට් ඇණයි වගේ දෙකක් කියල ඔබ දන්නවානේ. ඔබ අන්තර්ජාලයේ කරන සැම සෙවුමක්ම Google සටහන් කරගෙන ඔබ ගැන හොඳ චිත්‍රයක් දැන් ඔවුන් හදාගෙනයි ඉන්නේ.

ඒ, ඔවුන්ගේ ප්‍රධානම ආදායම් මාර්ගය වන වෙළඳ දැන්වීම් පෙන්වන ආකාරය ඔබට වඩාත් සමීප හා අදාළ කිරීමටයි.

Google සමාගමේ සම්පුර්ණ ආදායමෙන් 80% කටත් වඩා ලැබෙන්නේ Ads පෙන්වීමෙන්. Source: AlphaStreet

අපේ රටවල බොහෝ සෙයින් නැති වුනත් බටහිර ජාතීන් ඔවුන්ගේ පෞද්ගලිකත්වය ගැන හොඳින් උනන්දු වනවා. ඒ නිසාම Google ගේ මේ ප්‍රතිපත්තීන් නිසා ඔවුන්ට විශාල නඩු ප්‍රමාණයක් වැටී තිබෙනවා මෙන්ම ඔවුන් වැරදිකරුවන් බවටත් ඒවායින් ඔප්පු වී තිබෙනවා. පහතින් දැක්වෙන්නේ එම අවස්ථා පිළිබඳ අප විසින් ඔබට ගෙන ආ වාර්තාවන් කිහිපයකි.

  1. User data අවභාවිතාව නිසා Google වලටත් වැඩ වැරදුන තැන්
  2. Google සමාගමට බෙල්ජියමින් යුරෝ ලක්ෂ 6ක දඩ මුදලක් නියම වෙයි

මේ කොහොම වුනත් සාමාන්‍ය ජනතාව Google අත අරින්න සුදානමකුත් නෑ. මොකද තවමත් ලොව අංක 1 වෙබ් බ්‍රව්සරය හා Search engine එක Google. ඔවුන්ගේ ප්‍රතිවාදීන් සියල්ල එකතු වුනත් Google පරද්දන්න හැකියාවක් නෑ.

Google Chrome හි market share එක 63.59% ක් වන අතර දෙවෙනි තැන ඇත්තේ 19.14%ක් අගයක් තිබෙන Safari බ්‍රව්සරයයි. Source: StatCounter

කොහොම වුණත් දිගින් දිගටම එල්ලවන චෝදනාවන් නිසා දැන් Google ඔබව තනියෙන් track කිරීම නවතන්නට යන බවක් පෙනෙන්නට තියෙනවා. ඒ වෙනුවට දැන් ඔබට සමාන සෙවුම් කරන users ලා කණ්ඩායම් කර ඒ සියල්ලට ගැලපෙන ලෙස ads පෙන්වීමටයි ඔවුන් ලෑස්ති වෙන්නේ.

Google FLoC

මේ අලුත් තාක්ෂණය ඔවුන් හඳුන්වන්නේ FLoC (Federated Learning of Cohorts) ලෙසින්. Third party cookies මගින් ඔබ ඉන්න website එකට බාහිර පාර්ශවයකින් ඔබේ යම් ක්‍රියාවක් (උදාහරණයක් විදිහට Web site එකක තිබෙන like button එකක් click කරන විට එය store කරන cookie එකක් පසුව Facebook මගින් access කරන්න පුළුවන්.) track කරනවා වෙනුවට දැන් FLoC විසින්ම Chrome browser එක මගින් ඔබේ වෙබ් ගමන් මග track කර ඔබේ interests හඳුනා ගන්නවා.

ඊට පසු ඔබට සමාන search pattern ඇති තවත් users ලා සමඟ ඔබව කාණ්ඩ කර (එය Cohort එකක් ලෙස ඔවුන් හඳුන්වනවා) එම කණ්ඩායමට විශේෂ වූ අංකයක් (Cohort ID) ලබා දෙනවා.

දැන් ඔබ website එකකට යන විට ඔබව තනි ඒකකයක් නොවී ඒ Cohort ID එකෙනුයි ඔබව අඳුන ගන්නේ. එවිට API එකක් හරහා ඔබට ads පෙන්වන්නේ ඒ Cohort ID එකට අදාලවයි. මේ සඳහා machine learning යොදා ගන්නා බවත් ඔවුන් සඳහන් කරනවා.

Google සඳහන් කරන විදිහට මෙහි ලොකුම වාසිය තමයි මේ සියලු tracking සහ analysis සිදු වෙන්නේ local විදිහට වීම. එනම් ඔබ යන යන website එකට අයිති server වල ඔබේ දත්ත රඳවාගන්නේ නෑ.

එතකොට ඔබ ගැන විස්තර සියල්ල ඔබේ device එකේ පමණක් රැඳෙමින්, Cohort ID එක පමණක් ඒ ඒ website වලට යැවීම සිදු කරනවා.

මෙය දැන් තිබෙන personalized ක්‍රමයට 95%ක් ම සමාන ප්‍රතිඵල පෙන්වන බව Google ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේ හෝ මෙය Google මුහුණ දී තිබෙන privacy ප්‍රශ්නය මග හැර ඒත් පෙර ආදායම එලෙසම තියාගන්න ගත් හොඳ උපක්‍රමයක් ලෙස හඳුන්වන්න පුළුවන්.

එතකොට ඔක්කොම හරිද?

මේ ක්‍රමයේ ප්‍රශ්න නැතුවාම නොවෙයි. හැම website එකක්ම Google ad tracking භාවිතා කරන්නේ නෑ. ඒත් මේ තියරියට අනුව ඔබේ වෙබ් බ්‍රව්සරයට ඔබේ සියලු ක්‍රියාකාරකම් track කරන්න අවස්ථාව දැන් හිමි වෙනවා. ඒ කියන්නේ Google ad sense භාවිතා නොකරන websites වලදීත් දැන් Google ඔබව track කරනවා.

ඒ වගේම ලොව ජනප්‍රියතම වෙබ් බ්‍රව්සරයට මෙවැනි tracking system එකක් එකතු කිරීමෙන් අනෙක් ad සේවා වලට විශාල පසුබෑමකටත් ලක් වෙන්න සිදු වෙයි. එවිට Google ලොව ප්‍රමුඛතම third party ad සපයන්නා වීමේ විශාල ඉඩක් තිබෙනවා.

අනෙක් අතට මෙය Chrome බ්‍රව්සරයට එකතු කර ඇති අංගයක් නිසා, ads පෙන්වීමට අවශ්‍ය websites විසින්, chrome නොවන බ්‍රව්සර් වලට සහය නොදැක්වීමේ තීරණයක් ගැනීමේ හැකියාවකුත් නැතුවාම නොවෙයි.

කෙසේ නමුත් මෙම තාක්ෂණය තවමත් අත්හදා බැලීමේ අවදියෙයි තිබෙන්නේ. ඒ වගේම මේ පිළිබඳ නීති සකස් කරන්නන් වගේම Google හි තරඟකරුවෝත් හොඳ අවධානයෙන් සිටින බවක් දක්නට ලැබෙනවා. මොකද මේ මාතෘකාව සම්බන්ධයෙන් මෙතෙක් කල් Google ගේ කල්ක්‍රියාව හොඳ එකක් නොවන නිසා.

Source: TechAltar