Loading...
User data අවභාවිතාව නිසා Google වලටත් වැඩ වැරදුන තැන්

Google ගැන නොදන්නා කෙනෙක් නැත. බොහෝ දෙනා අන්තර්ජාලය යැයි කියන්නේද Google සෙවුම් යන්ත්‍රයට ය. නමුත් Google යනු අහිංසක සමාගමක් නොවේ. ඔවුන්ගේ ජනප්‍රියත්වයට හේතු වූයේද ඔවුන්ගේ රහසින් ගෙනගිය වැඩපිළිවෙල් ය. ඉන් බොහෝ කරුණු ලොවට වසන් කර ගැනීමට Google ආයතනය දක්ෂ විය.

නමුත් ඔවුන්ගේ සමහර වංචනික සහ සදාචාර විරෝධී ක්‍රියා එළි වී ඔවුන්ව නීතිය ඉදිරියට පැමිණවීමට යුරෝපා සංවිධානය කීප විටක්ම සමත් විය. එම අවස්ථා ගැන බොහෝ දෙනා නොදන්නවා විය හැක. ඒ මොනවාද යන්නත්, එම දඩ මුදල් ගෙවීමය සිදුවූයේ කුමන හේතුවක් නිසාදැයි යන්නත් සොයා බැලීම අපගේ අරමුණයි.

2017 ජුනි 27 - $2.7 Billion

යුරෝපා සංවිධානය විසින් 2017 ජුනි 27 වන දින එතුවක් කාලයට ඒකාධිකාරයකට එරෙහිව ගසන ලද විශාලම දඩ මුදල Google වෙත ගසන ලදි. ඒ, ඇමරිකානු ඩොලර් බිලියන 2.7 කි

මේ දඩයට හේතු වූයේ Google සෙවුම් යන්ත්‍රය (Search Engine) විසින්, අන්තර්ජාලය හරහා කෙරෙන වෙළෙඳාම් වලදී යුරෝපා නීති උල්ලංඝණය වන සේ ක්‍රියාත්මක වීමයි. මෙම නඩුවේ පරීක්ෂණ අවුරුදු හතක් පුරාවට පැවතිනි

මෙම නඩුවට මුල් වූ මූලික හේතුව සරලව දැක්වුවහොත්, Google සෙවුම හරහා යම් අයෙක් Google සෙවුමක් සිදු කරන විට, ඊට අදාළ ප්‍රතිඵල නොපෙන්වා Google ආයතනය විසින්ම පවත්වාගෙන යන, ඔවුන් යටතේ ඇති සේවාවන් මුලින්ම සහ කැපීපෙනෙනා ලෙස පෙන්වා අදාළ පරිශීලකයා නොමඟ යැවීමයි. කෙටියෙන්ම, එයින් පෙනීයන්නේ Google Search වෙත පරිශීලකයාගේ පූර්ණ විශ්වාසය තැබිය නොහැකි බවයි

තවත් සරල කළහොත්, Google සෙවුමකදී ඔබට දැකගැනීමට ලැබෙන්නේ නියම results නොවේ. Google සමාගම විසින් ඔවුන්ගේ වාසියට, තමන්ගේ මඩිය තර කරගැනීමේ මූලික අභිලාෂය සහිතව වෙනස් කළ results ය

ඒ කෙසේ වෙතත්, අදාළ දඩ මුදල නියම වූ දිනයට පෙර කාර්තුවේ පමණක්, Google සමාගම විසින් ඇමරිකානු ඩොලර් බිලියන 24.75 ක පමණ වූ අදායමක් ලබාගෙන සිටි අතර ඉන් ඇමරිකානු ඩොලර් බිලියන 21.4ක්ම වෙළඳ දැන්වීම් වලින් උපයාගත් ඒවාය.

2018 ජූලි 18  -  $5 Billion

මේ වතාවේදී Google වෙත යුරෝපා සංගමයෙන් ඩොලර් බිලියන 5ක දැවැන්ත දඩ මුදලක් ගෙවීමට නියම කරන ලදි. යුරෝපා සංගමය විසින් චෝදනා කරන ලද්දේ, Google සමාගම යටතේ ඇති Android ජංගම දුරකථන මෙහෙයුම් පද්ධතිය හරහා ප්‍රධාන වශයෙන් තුන් ආකාරයකට ඔවුන් Android වෙළඳපල අවභාවිතා කර ඇති බවයි.

Google සමාගම ඔවුන්ගේ Search Engine එක සහ Chrome බ්‍රවුසරය ආදී Apps ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය වෙත එක්කාසු කර ඒ සමඟම එවීම.

ඔබ මෙම කාරණාව අත්විඳ ඇතුවාට සැකයක් නැත. ඔබ විසින් නව Android දුරකථනයක් මිළ දී ගන්නා සෑම විටම, එහි Google සමාගම විසින් සපයන Apps රාශියක් ඇතුළත් කර ඇති බව දැක ගත හැක. එයින් සිදු කරන්නේ ඒ අදාළ දුරකථනය මිළ දී ගන්නා පරිශීලකයා Google සමාගමේ සේවාවන් වලටම සිර කොට ඔවුන්ගේ ඒකාධිකාරය තුළම තබා ගැනීමට තැත් කිරීමයි. අදටත්, බොහෝ දෙනා තමාගේ ජංගම දුරකථනයේ Google Chrome භාවිතා කරන්නේ එය අදාළ දුරකථනය සමඟම පැමිණි Browser එක නිසා ය.

ජංගම දුරකථන නිෂ්පාදකයන් විසින්  Google ඒකාධිකාරයට හසු නොවන ආකාරයට වෙනස් කරන ලද Android මෙහෙයුම් පද්ධති ඔවුන්ගේ දුරකථන වලට ඇතුළත් කිරීම අවහිර කිරීම.

යම් ජංගම උපාංග නිශ්පාදකයෙක් හට Open Source කේතයක් වන Android ජංගම දුරකථන මෙහෙයුම් පද්ධතිය ලබාගෙන එයින් Google සමාගමේ පරිශීලකයාගේ ඔත්තු බලන Apps ඉවත් කර, වඩා හොඳ, පරිශීලකයාගේ පෞද්ගලිකත්වයට හානි නොවන අයුරින් ක්‍රියාත්මක වන Apps ස්ථාපනය කර, එය වෙළඳපල වෙත නිකුත් කිරීමට හැකි නම්, එය වඩා හොඳ සහ විශ්වසනීය උපාංගයක් වනු ඇත.

Google සමාගම විසින් ඔවුන්ගේ සෙවුම් යන්ත්‍රය උපාංග වලට ඇතුළත් කරන සේ ඉල්ලා මහා පරිමාණ උපාංග නිෂ්පාදකයන්ට සහ ජංගම දුරකථන ජාල ක්‍රියාකරුවන් හට මුදල් ගෙවීම.

යුරෝපා සංවිධානය විසින් සිදු කළ පරීක්ෂණ වලට අනුව, Google සමාගම විසින් මහා පරිමාණ උපාංග නිෂ්පාදකයන්ට සහ ජංගම දුරකථන ජාල ක්‍රියාකරුවන් හට ඔවුන්ගේ Search Engine එක ඇතුළත් කර, එය පරිහරණය කිරීමට පරිශීලකයා පෙළඹවීම සඳහා කප්පම් ගෙවා ඇත.

2019 මාර්තු 20 - $1.5 Billion

මෙය Google වෙත එල්ල වූ දඩ මුදල් වල මෑත කාලීනම සිදුවීමයි. එහිදී Google ආයතනයට ගෙවීමට සිදුවූ දඩ මුදල වන්නේ ඇමරිකානු ඩොලර් බිලියන 1.5කි.

මෙම දඩයට හේතුව වූ සිදුවීම 2006 දක්වා අතීතයේ ඇරඹි එකකි. ඒ වන විට Google සමාගම විසින් ඔවුන්ගේ AdSense යෙදුම පාරිභෝගිකයන් හට ඉදිරිපත් කර තිබුණි. මෙමඟින් අන්තර්ජාලය හරහා වෙළඳාම් කරන අඩවි, පුවත් අඩවි ආදී විවිධ වෙබ් අඩවි වලට Google සෙවුම් කවුළුවක් (Google search box) යෙදීමට ඉඩ ලබා දී තිබුණි.

එම වෙබ් අඩවියට පිවිසෙන අයෙක් ඉහත කී කවුළුවෙන් සෙවුමක් දැමූ විට එම පරිශීලකයන් හට Google සමාගම විසින් වෙළඳ දැන්වීම් ප්‍රදර්ශණය කළ අතර ඉන් ලැබෙන ලාභය අදාළ වෙබ් අඩවියේ හිමිකාරීත්වය සහ Google ආයතනය විසින් බෙදාගන්නා ලදි.

‌‌නමුත්, අදාළ නඩුවට හේතු කාරණාව වූයේ එය නොවේ. Google සමාගම විසින් ඔවුන්ගෙන් Google Search සෙවුම් කවුළු ස්ථාපනය කරගත් පාරිභෝගිකයන් සමඟ, නොමනා ගිවිසුම් වලට එළඹීමයි. ඒවා නම්, ඔවුන්ගේ දැන්වීම් සේවා ලබාගත් පසු Google සමඟ තරඟයට සිටි අන් සමාගම් සමඟ සබඳතා නොපැවැත්වීම, Google Search Box පමණක් ස්ථාපනය කිරීම සහ අන් සමාගම් වල ඒවා ස්ථාපන කිරීමෙන් වැළැක්වීම ආදිය යි.

Google සෙවුම් යන්ත්‍රය ප්‍රසිද්ධ කර ගැනීම සඳහා ඔවුන් ගත් මෙම ක්‍රියාමාර්ග නිසා කෙසේ හෝ (හොඳින් හෝ නරකින්) ඔවුන් ඔවුන්ගේ Google Search යෙදුම ජනප්‍රිය කරවා Search Engine අතර ප්‍රමුඛයා බවට පත් වීය. ඉන් පසුව ඉහත කී ගිවිසුම්, කොන්දේසි ඔවුන්ගේ ආයතනයෙන් හකුළා ගන්නා ලදි. නමුත් පෙර කළ පාපකර්මයන්ගෙන් ගැලවීමට නොහැකි වූ Google සමාගමට, පසු කලෙක දී යෝධ දඩ මුදල් ගෙවීමට සිදුවිය. එය අපි කර්මය ලෙසින් හඳුන්වමු.

අවසන් වශයෙන්, බුද්ධිමත් පාඨකයින් වන ඔබ, ඔබම සොයා බලා වටහාගෙන, Google නපුර ගැන අවබෝධ කරගෙන, Google සේවාවන්ගෙන් හැකි පමණ වැළකෙන තැනට පත් වේ යැයි අපි බලාපොරොත්තු වෙමු.

තවත් ලිපියකින් මුණගැසෙමු, ඔබට ජය!