Loading...
අති විශාල වෙනස්කම් රාශියකින් යුතුව Tensor chip එකෙන් බල ගැන්වෙන Google Pixel 6 සහ 6 Pro දුරකතන Google සමාගම විසින් එලිදක්ව​යි

විශාල කතාබහකට පස්සේ සහ විශාල ලීක්ස් ගොඩකට පස්සේ ගූගල් සමාගම විසින් ඔවුන්ගේ නවතම ජංගම දුරකතන මාදිලිය වන Google Pixel 6 සහ Google Pixel 6 Pro ජංගම දුරකතන මාදිලි දෙක එලිදැක්වීමට කටයුතු කරා. මෙවර Google සමාගම විසින් සුපුරුදු Snapdragon chipset එක වෙනුවට ඔවුන් විසින්ම නිර්මාණය කරන ලද නවතම Google Tensor නම් වන chipset එක හරහා ඔවුන්ගේ මෙම Pixel 6 මාදිලියේ ජංගම දුරකතන බල ගැනිවීමට කටයුතු කර​ලා තියෙනවා.

මේ Google Tensor chipset එක, Camera sensors සහ Android 12 සංස්කරණයත් සමඟින් Google සමාගම නැවත පෙරලියක් ඇති කරන්නේ Google Pixel 2 මාදිලියේ ජංගම දුරකතන එලිදැක්වීමෙන් පසුව වීමත් විශේෂත්වයක්.

Google සමාගම මීට පෙර සඳහන් කල ආකාරයටම ඔවුන් මේ වසරේ සිට ඔවුන්ගේ XL මාදිලියේ ජංගම දුරකතන නිෂ්පාදනය නවත්වා ඇති අතර විශාල ජංගම දුරකතන සඳහා Pro යන නාමය භාවිතා කිරීම ආරම්භ කරනු ලැබුවා.

Pixel 6: අළුත්ම හැඩය

සාම්ප්‍රදායික පික්සල් ජංගම දුරකතන වල ඩිසයින් එකෙන් බැහැරව මෙවර ගූගල් සමාගම විසින් නවතම ආකරයේ ඩිසයින් එකක් මේ පික්සල් 6 මාදිලියේ ජංගම දුරකතන සඳහා ලබා දී තිබෙන අතර එ සඳහාම විශේෂීකරණය වූ වෘත්තීමය පුද්ගලයන් ඔවුන් බඳවාගෙන තිබෙනවා. මීට කාලයකට පෙර නිකුත්වූ නෙක්සස් 6P ජංගම දුරකතනයේ තිබූ කැමරාව මතක් කරමින් මෙවර පික්සල් 6 මාදිලියේ ජංගම දුරකතන සඳහාද ගූගල් සමාගම ඒ ආකාරයේ Camera bar එකක් අඩංගු කිරීමට කටයුතු කර තිබෙනවා.

ඉදිරිපසින් ගත්තහම Pixel 6 ජංගම දුරකතන සඳහා පැතලි තිරයක්ද, Pixel 6 Pro සඳහා curved තිරයක්ද භාවිතා කර තිබෙනවා. මෙවර ගූගල් සමාගම විසින් ජංගම දුරකතන දෙකේ බොඩි එකට එකිනෙකට වෙනස් ආකාරයේ නිමාවක් ලබා දී තිබෙන අතර Pixel 6 එක සඳහා මැට් ඇලුමිනියම් නිමාවක් ස​හ Pixel 6 Pro ජංගම දුරකතනයට පොලිශ් කරන ලද දිලිසෙන නිමාවකින් යුතු ෆ්‍රේම් එකක්ද ලබා දී තිබෙනවා.

Pixel 6: තිර​ය

Pixel 6 ජංගම දුරකතනය  90Hz adaptive refresh rate එකකින් යුතු අඟ​ල් 6.4ක FHD+ flat AMOLED තිරයකින් සමන්විත වන අතර, Pixel 6 Pro ජංගම දුරකතනය 120Hz adaptive refresh rate එකකින් යුතු අඟල් 6.7ක QHD+ curved AMOLED තිරයකින් සමන්විත වෙනවා.

Snapdragon වලට තිත තැබූ Tensor Chip

ගූගල් සමාගම තමන්ගේම චිප්සෙට් එකක් නිර්මාණය කිරීමේ ලා නිරත වූ​යේ මීට වසර කිහිපෙකට කලින් වුවත් ඒ පිළිබඳ​ව සමාජයේ කතා බහට ලක්වූයේ මෑතකදීය. එය සැබෑවක් කරමින් මෙවර ගූගල් සමාගම විසින් ඔවුන්ගේ ජංගම දුරකත​න ද්විත්වය සඳහා ඔවුන් විසින්ම ඩිසයින් කර නිර්මාණය කරන ලද ඔවුන්ගේ නවතම චිප්සෙට් එක වන Google Tensor නම් වන චිප්සෙට් එක භාවිතා කර ඇත. මේ පිළිබඳව Qualcomm සමාගම ඔවුන්ගේ විරෝධතාවය පල කර සිටියේ රතු කොඩි ඇතුලත් ටිව්ටර් පණිවිඩයකිනි.

මෙම නව Google Tensor chipset එක high-performance cores දෙකකින්ද (Cortex-X1 cores clocked at 2.8GHz), mid cores දෙකකින්ද (Cortex-A76 cores clocked at 2.25GHz), high-efficiency cores හතරකින්ද (Cortex-A55 cores clocked at 1.8GHz) සමන්විත වනවා. Google Tensor චිප්සෙට් එක Pixel 5 ජංග​ම දුරකතනය සඳහා යොදාග​ත් Snapdragon 765G චිප්සෙට් එකට වඩා 80%කින් වේගවත් බව ගූගල් සමාගම විසින් ප්‍රකාශ කර තිබෙනවා.

ගූගල් සමාගම විසින් Google Tensor චිප්සෙට් එක සඳහා Titan M2 නමින් වන security chip එක ඇතුලත් කර ඇති අතර ඒ හරහා මෙම ජංගම දුරකතන පරිශීලකයන්ගේ පෞද්ගලික දත්ත වලට ඉතාමත් හොඳ ආකාරයේ ආරක්ෂාවක් ලබා දීමට ගූගල් සමාගම කටයුතු කර ඇත. මෙම නවතම Titan M2 chip එකත් සමඟ මේ වන විට වෙලඳපලේ පවතින ජංගම දුරකතන වලින් hardware securiy layer එකක් හිමි ජංගම දුරකතන ලෙස Pixel 6 ජංගම දුරකතන පත්වන බව ගූගල් සමාගම විසින් ප්‍රකාශ කර සිටියා. අවසානයේදී ගූගල් සමාගම තම ජංගම දුරකතන වලට තිරය මත පිහිටා ඇති in-display fingerprint scanner එකක් ඇතුලත් කිරීමටද කටයුතු කර තිබෙනවා.

Pixel 6 ජංගම දුරකතනය 8GB RAM එකකින් සමන්විත වන අතර 128GB සහ 256GB storage එකකින් සමන්විත වනවා. Pixel 6 Pro ජංගම දුරකතනය 12GB RAM එකකින් සමන්විත වන අතර  128GB, 256GB සහ 512GB යන storage ප්‍රමාණයන්ගෙන් යුක්ත වන අතර 5G තාක්ෂණය මෙන්ම Wi-Fi 6E සහ Bluetooth 5.2 වලින්ද සමන්විත වනවා.

ලොවම බලා සිටින කැමරා​ව

2018 වර්ෂයේ පික්සල් 3 ජංගම දුරකතනය එලිදැක්වූවාට පසුව ගූගල් සමාගම 2020 වර්ෂය වන තුරුම භාවිතා කලේ 12.2MP camera sensor එකක්. නමුත් ඔවුන් ඒ වර්ෂ කිහිපයේදීම මෘදුකාංග භාවීතා කරමින් ඉතාමත් හොඳ තත්වයේ ඡායාරූප ලබා ගැනීමේ හැකියාව ලබා දුන්නා. මෙවර පික්සල් 6 ජංගම දුරකතන සමඟින් විශාල කැමරා සෙන්සර් භාවිතා කිරීමට ගූගල් සමාගම විසින් කටයුතු කර තිබෙනවා.

Pixel 6/6 Pro පසුපස කැමරා​වේ specifications

Pixel 6 ජංගම දුරකතනය සතුව 50MP f/1.85 Samsung GN1 sensor එකක් පවතින අතර ඒ හරහා Pixel 5 ජංගම දුරකතනයට වඩා 150%කින් වැඩි පුර ආලෝකය ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. මෙම සෙන්සර් එක ජංගම දුරකතනයේ ප්‍රධාන කැමරාව වන අතර 12MP f/2.2 Sony IMX386 wide-angle lens එකකින් මෙම ජංගම දුරකතනයේ ultra wide cameraව සමන්විත වෙනවා. මේ දෙකට අමතරව 48MP f/3.5 Sony IMX586 telephoto lens එකක් සමන්විත වන අතර එය 4x optical zoom පහසුකමින් යුතු වන අතර 20x Super Res digital zoom එකකින්ද යුක්ත වනවා.

Super Res Digital Zoom එක දැක්වෙන ආකාරය

සෙල්ෆි කැමරාව සඳහා මෙගා පික්සල් 8ක කැමරාවක් Pixel 6 සඳහා ලබා දී ඇති අතර Pixel 6 Pro සඳහා අංශක 94ක දර්ශයනක් ඇති 11.1 f/2.2 MP sensor එකක් ඇතුලත් කර තිබෙනවා.

Pixel 6 සහ Pixel 6 Pro දුරකතනයේ පසුපස කැමරාව හරහා 60fps වලින් යුතු 4K වීඩියෝ පටිගත කිරීමේ හැකියාව ඇති අතර Pixel 6 Pro දුරකතනයේ ඉදිරිපස කැමරාව හරhaa 30fps 4K වීඩියෝ පටිගත කිරීමේ හැකියාවෙන් යුක්ත වනවා. නමුත් Pixel 6 ජංගම දුරකතනයේ ඉදිරිපස කැමරාව ඔස්සේ 30fps වලින් යුතු 1080p වීඩියෝ දර්ශන පමණයි අපිට පටිගත කරගැනීමට අවස්ථාව සැලසෙන්නේ.

මේ නවතම සෙන්සර්ස් හරහා ගූගල් සමාගම මෙවර අතිවිශාල පහසුකම් රාශියක් Pixel 6 කැමරාව හරහා ලබා දී තිබෙනවා. Face Unblure, Magic Eraser, Motion mode සහ තවත් වැඩි දියුණු කරන ලද Night Sight සහ Portrait mode එම පහසුකම් වනවා.

Face Unblur පහසුකම හරහා blur වුනු ඡායාරූප වල මුහුණ සංස්කරනය කර තියුණු ඡායාරූපයක් ප්‍රතිදාන වශයෙන් ලබා දීමේ පහසුකම හිමිවනවා.

Face Unblur පහසුකම ක්‍රියාත්මක වන ආකාර​ය
Face Unblur පහසුකම භාවිතා කිරීමට පෙර ඡායාරූපයක් සහ එය භාවිතා කිරීමෙන් පසුව සංස්කරණයක් කරන ලද ඡායාරූපය​ක්

Magic Eraser පහසුකම හරහා අප විසින් ලබා ගන්නා ඡායාරූප වල පසුබිමේ ඇති අනවශ්‍ය objects ඉවත් කිරීමේ හැකියාව ලබා දී තිබෙනවා.

Magic Eraser හරහා පසුබිමේ ඇති අනවශ්‍ය දෑ ඉවත් කල හැකි ආකාරය.

Motion mode එක හරහා ගමන් කරමින් තිබෙන හෝ සෙලවෙමින් ඇති වස්තූන් වල පැහැදිලි ඡායාරූප ලබා ගැනීමේ හැකියාව පවතිනවා. මෙහි ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් පවතිනවා. ඒ දෙක Action Pan සහ Long Exposure ලෙසින් හැදින්වෙනවා.

Action Pan එක හරහා චලනය වෙමින් පවතින වස්තුවක පැහැදිලි ඡායාරූපයක් ලබා දෙන අතර ඒ සඳහා එක වර ඡායා රූප කිහිපයක්ම රැගෙන අදාලා ඡායාරූපය සංස්කරණය කර පසුබිමට බොඳ වූ පසුබිමක් ලබා දීම සිදු කරනු ලබනවා.

Action Pan හරහා චලනය වන වස්තුව හදුනා ගන්නා ආකාරය

Long Exposure mode එක හරහා සිදු වන්නේ අප කවුරුත්ම හොදින් දන්නා පසුබිමෙන් යම් වස්තුවක් වේගයෙන් චලනය වන ආකාරයට ගෙන දැක්වීමයි. නමිත් මෙහිදී ගූගල් සමාගම එයට විශේෂත්වයක් එකතු කර ඇත්තේ එසේ වේගයෙන් චලනය වස්තුව long exposure ආකාරයට පෙන්වමින් යම් කිසි වස්තුවක් හෝ පුද්ගලයෙකු static එසේත් නොමැති නම් ස්ථීර ආකාරයට පෙනී සිටින ආකරයට දැක්වීමෙනි.

Long Exposure ආකාරයට Pixel 6 ජංගම දුරකතනයෙන් ලබා ගත් ඡායාරූපයක්.

මෙම පහසුකම් වලට අමතරව නවතම ජංගම දුරකතනයන් දෙකම පෙර නිකුත් වූ පික්සල් 5 ජංගම දුරකතනයේ Night Sight එකට වඩා 150%කින් ආලෝකය ලබාගෙන ඉතාමත් හොඳ රාත්‍රීකාලයේ ඡායාරූප ලබා දෙනු ලබනවා.

මීට අමතරව ගූගල් සමාගම වෘත්තීමය ශිල්පීන් රාශියක් සමඟින් එක්වී ඔවුන්ගේ කැමරාවේ portrait mode එක වැඩිදියුණු කර ඇති අතර විශාල ප්‍රමානයක skin tones ලබා දෙමින් Pixel 6 ජංගම දුරකතන හරහා ලබා ගන්නා ඡායාරූප වල tone එක optimize කිරීමේ පහසුකම ලබා දී තිබෙනවා.

Real Tone පහසුකම භාවිතා කරමින් ඡායාරූප වල වර්ණයන් සකසාගත හැකි ආකාරය දැක්වෙන අයුරු

Material You සමඟින් එන Android 12

මීට පෙර දිනයකදී ගූගල් සමාගම විසින් AOSP සඳහා වන Android 12 සංස්කරණය නිකුත් කල අතර මේ වන විට අනෙකුත් පික්සල් දුරකතන සඳහා Android 12 සංස්කරණයක් නිකුත් කරමින් පවතිනවා.

නව Android 12 සංස්කරණට සිදු කරන ලද වෙනස්කම් ඇතුලත්ව Material You පාදක කරගත් wallpaper system eka,  privacy dash board එක සහ indicators, යලි සකස්කරන ලද Quick settings සහ notifications panel එක ඇතුලුව තවත් විශාල පහසුකම් රාශියක් මෙවර හිමිවී තිබෙනවා.

ගූගල් සමාගම විසින් පික්සල් 6 මාදිලියේ ජංගම දුරකතන සඳහා වසර තුනක් දක්වා Android සංස්කරණයන්ගේ යාවත්කාලීන කිරීම් සහ වසර 5ක් දක්වා වන security updates ලබා දීම් සිදු කරන බවට ප්‍රකාශ කර තිබෙනවා. Pixel 6 මාදිලියේ ජංගම දුරකතනයන් බල ගැන්වෙන්නේ Android 12 වන බැවින් ඔබට Android 15 දක්වා යාවත්කාලීන කිරීම ලැබෙන අතර එයින් පසුවත් අතිරේක වසර දෙකක් දක්වා security updates ලැබෙනු ඇත.

බැටරිය සහ charging speed එ​ක

Pixel 6 ජංගම දුරකතනය 4,600mAh ධාරිතාවය ඇති බැටරියකින් යුක්ත වන අතර Pixel 6 Pro දුරකතනය 5,000 mAh ධාරිතාවයකුන් යුතු බැටරියකින් සමන්විත වනවා. මෙම ජංගම දුරකතන දෙකම 30W wired fast charging වලට සහ 23W wireless charging සඳහා සහය දක්වනවා. ගූගල් සමාගමද ඇපල් සමාගම අනුගමනය කරමින් දුරකතනය සමඟින් චාර්ජර් එකක් ලබා දීමෙන් වැලකී සීටීම පිළිබඳව මෙහිදී විශේෂයෙන් සඳහන් කල යුතුයි.

මේ සමඟම ගූගල් සමාගම විසින් ඔවුන්ගේ දෙවන පරම්පරාවේ Pixel Stand එක හදුන්වා දීම සිදු කරනු ලැබුවා. මීට පෙර නිකුත් කරල Pixel Stand එක මෙන් නොව, මෙවර එලිදැක්වූ Pixel Stand එක සතුව active cooling fan එකක් ඇතුලත් වෙනවා. එය ඔබට අවශ්‍ය ආකාරයට වේගය පාලනය කර ගැනීමේ හැකියාවද පවතිනවා. මෙම නවතම Pixel Stand එක භාවිතා කරගනිමින් අපට Pixel 6 සහ 6 Pro දුරකතන 23W අගයකින්ද, Pixel Buds 3W අගයකින්ද ආරෝපණය කරගත හැකි වනවා.

Pixel 6 සහ 6 Proහි මිල ගණ​න්

Pixel 6 දුරකතනයේ base model එකේ මිල $599ක් වන අතර අනෙකුත් වෙනස්කම් වලට අනුව ඇති Pixel 6 ජංගම දුරකතන වල පහතාකාරයට වෙනස් වනු ඇත.

  • Google Pixel 6 (128GB) – $599
  • Google Pixel 6 (256GB) – $699

Pixel 6 Pro දුරකතනයේ base model එකේ මිල $899ක් වන අතර අනෙකුත් වෙනස්කම් වලට අනුව ඇති Pixel 6 Pro ජංගම දුරකතන වල පහතාකාරයට වෙනස් වනු ඇත.

  • Google Pixel 6 Pro (128GB) – $899
  • Google Pixel 6 Pro (256GB) – $999
  • Google Pixel 6 Pro (512GB) – $1,099

මේ වන විට ඔබට Pixel 6 සහ 6 Pro ජංගම දුරකතන pre-order කල හැකි අතර, ඔක්තෝම්බර් 28න් පසු​ව  මිලදී ගැනීමේ හැකියාව පවතිනවා. Second-gen Pixel Stand එක ඔබට වෙනම $79කට මිලදී ගැනීමේ හැකියාව පවතිනවා.

පහතින් දැක්වෙන්නේ අපි මේ වෙන තුරු කතා කල දෑ වලින් ප්‍රධානම කරුණු එකට එකතු කරමින් නිර්මාණය කරන ලද රූපයකි.

ඉහ​ත දක්වා ඇති සියළුම ඡායාරූප Google සමාගමේ Pixel Fall වෙබ් පිටුවෙන් ලබා ගත් ඡායාරූප වේ.