Loading...
ChatGPT වෙතින් තව දුරටත් වෛද්‍ය, නීතිමය සහ මූල්‍ය උපදෙස් ලබා ගැනීමට නොහැකිද ?

ලොව පුරා කෘත්‍රිම බුද්ධිය (AI) භාවිතා කරන්නන් අතර දැඩි උණුසුමක් ඇති කරමින්, ChatGPT මඟින් වෛද්‍ය, නීතිමය, සහ මූල්‍ය උපදෙස් ලබා දීම OpenAI විසින් නව නීතියක් යටතේ සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති බවට පළ වූ වාර්තා සම්බන්ධයෙන් OpenAI සමාගම විසින් ප්‍රතිචාර දක්වා තිබෙනවා. OpenAI හි නිල ප්‍රකාශකයින් අවධාරණය කර ඇත්තේ, මෙම ක්ෂේත්‍රවල උපදෙස් ලබා දීම සම්බන්ධයෙන් යම් තහනමක් පැවතියද, එය නව ප්‍රතිපත්තියක් නොවන බවයි.

මෙම ව්‍යාකූලත්වය ඇති වූයේ, සමාගමේ යාවත්කාලීන කරන ලද භාවිත ප්‍රතිපත්තියේ (Usage Policy) ඇතැම් කොටස් පරිශීලකයන් විසින් අර්ථ නිරූපණය කිරීම හේතුවෙනි. කෙසේ වෙතත්, OpenAI පවසන්නේ, ඔවුන් නිරතුරුවම ChatGPT හි ප්‍රතිචාර වඩාත් වගකීම් සහගත හා ආරක්ෂිත බවට පත් කරන බවයි. පහත දැක්වෙන්නේ Xහි පළවු එවැනි අර්ථ නිරූපණයකි.

මතභේදය ආරම්භ වූයේ, OpenAI විසින් තම භාවිත ප්‍රතිපත්තියේ "tailored advice that requires a license" ලබා දීම තහනම් කරන බවට වූ වගන්තියක් ඇතුළත් කර යාවත්කාලීන කිරීමත් සමඟය. මෙම යාවත්කාලීනය 2025 ඔක්තෝබර් 29 වන දින සිට ක්‍රියාත්මක වනවා.

පරිශීලකයින් වාර්තා කළේ, මීට පෙර ලබා දුන් ආකාරයට වෛද්‍ය රෝග ලක්ෂණ හෝ නීතිමය ආරවුල් පිළිබඳව ප්‍රශ්න ඇසූ විට, ChatGPT විසින් කෙලින්ම පිළිතුරු දීම ප්‍රතික්ෂේප කරමින්, "I can't provide medical or legal advice" යනුවෙන් දැඩි ප්‍රතිචාරයක් ලබා දීමට පටන් ගත් බවයි.

මෙම ප්‍රතිපත්ති වෙනසට ඇති ප්‍රධාන හේතු ලෙස ක්ෂේත්‍රයේ විශ්ලේෂකයෝ මුලින් පෙන්වා දුන්නේ, AI මඟින් ලබා දෙන සාවද්‍ය තොරතුරු මත පදනම්ව පරිශීලකයින් හානියට පත් වුවහොත් OpenAI සමාගමට එරෙහිව නඩු පැවරීමේ අවදානම අවම කර ගැනීම, EU AI Act වැනි ගෝලීය නීතිමය රාමු මඟින් ඉහළ අවදානම් සහිත ක්ෂේත්‍රවල AI භාවිතයට දැඩි සීමා පැනවීම සහ AI උපදෙස් මත සෞඛ්‍යයට හෝ මූල්‍යයට හානි වූ සිදුවීම් ගණනාවක් වාර්තා වීම ආදී කරුණූ නිසයි.

OpenAI හි නිල පැහැදිලි කිරීම: "මෙය නව තහනමක් නෙවෙයි"

මෙම සමාජ මාධ්‍ය රැල්ලට ප්‍රතිචාර දක්වමින්, OpenAI හි සෞඛ්‍ය AI අංශයේ ප්‍රධානී Karan Singhal මහතා ප්‍රධාන වශයෙන්ම සඳහන් කළේ, "අපගේ නියමයන්ට අලුතින් කිසිදු වෙනසක් වී නැත. Model හි හැසිරීම් රටාව නොවෙනස්ව පවතී." යනුවෙනි.

OpenAI සමාගමේ නිල ස්ථාවරය මෙසේ වනවා,

  • වෘත්තීය උපදෙස් වෙනුවට අධ්‍යාපනික මෙවලමක්: ChatGPT කිසිවිටෙකත් වෛද්‍යවරයෙකු, නීතිඥයෙකු හෝ මූල්‍ය උපදේශකයෙකු වෙනුවට ආදේශකයක් ලෙස සැලසුම් කර නොමැත. එය සැමවිටම "අධ්‍යාපනික මෙවලමක්" ලෙස සලකනු ලැබේ.
  • තොරතුරු සැපයීම අඛණ්ඩව සිදු කරයි: ChatGPT මඟින් නීතිමය හෝ වෛද්‍යමය සංකල්ප තේරුම් ගැනීමට, පොදු තොරතුරු සාරාංශ කිරීමට සහ විවිධ රෝග හෝ නීති ක්‍රමවේදවල පොදු යාන්ත්‍රණයන් පැහැදිලි කිරීමට දිගටම කටයුතු කරනු ඇත.
  • පුද්ගලීකරණය කළ උපදෙස් නොදීම: කෙසේ වෙතත්, පද්ධතියට පුද්ගලීකරණය කළ (Personalized) උපදෙස් ලබා දිය නොහැක. උදාහරණයක් ලෙස, එය කිසිවිටෙකත් "ඔබ ගත යුතු ඖෂධය කුමක්ද?" හෝ "ඔබ නඩුවකට යා යුත්තේ කෙසේද?" යනුවෙන් සෘජු උපදෙස් ලබා නොදෙනු ඇත.

OpenAI හි මෙම පැහැදිලි කිරීම අවධාරණය කරන්නේ, නවීන තාක්ෂණයේ ශීඝ්‍ර දියුණුව හමුවේ පවා, ජීවිතයට බලපාන තීරණ සඳහා මිනිස් විනිශ්චය, විශේෂඥ දැනුම සහ බලපත්‍රලාභී වෘත්තිකයන්ගේ මැදිහත්වීම කිසිවිටෙකත් ආදේශ කළ නොහැකි බවයි. ChatGPT හි සැබෑ කාර්යභාරය වන්නේ තොරතුරු සැපයීම මිස, උපදෙස් දීම නොවේ.

Source: openai.com www.theverge.com