Loading...
Googleහි සේවයට බඳවාගත් Magiskහි නිර්මාතෲ වෙත Google වෙතින් බලපෑම්, Magiskහි අවසානයද?

Android උපාංග Root කිරීම සඳහා භාවිතා වන ජනප්‍රිය Tool එකක් වන Magisk Tool එකෙහි නිර්මාතෘ වන John Wu විසින් Medium අඩවිය හරහා විශේෂ ප්‍රකාශයක් නිකුත් කර ඇත. එහි සඳහන් දෑ මෙලෙස සරලව හා සංශිප්තව ඔබ වෙත එන ඒම මෙම ලිපියේ අරමුණයි. Magisk කියන්නේ මොකක්ද කියල දැන ගන්න මේ ලිපිය කියවන්න.

John Wu නම් Magisk හි නිර්මාතෘවරයා Google සමාඟමේ සේවකයෙකු ලෙස බඳවා ගන්නා ලදි. එම ආරංචියත් සමඟ අන්තර්ජාලය පුරා පැතිරී ගිය විවිධ ප්‍රචාරයන්ට පිළිතුරු ලෙස ඉහත සඳහන් වූ ලිපිය John Wu විසින් සපයා ඇත. එහි අන්තර්ගතය මෙසේ සංශිප්ත කළ හැක.

Magisk ඇප් එක විවෘත කේතයක් සහිත ව්‍යාපෘතියකි. Google වැනි සමාඟමක සේවය කරනා සේවකයින්ට එවැනි පෞද්ගලික විවෘත කේත ව්‍යාපෘති පවත්වාගෙන යාම අපහසුය. එම කේත, සමාඟමේ ඉහළ නිළධාරීන් ගෙන් අනුමත කරගත යුතුය.

ඒ අනුව පහත ආකාරයේ වෙනස්කම් Magisk tool එක සඳහා සිදුකරීමට යෝජිත ය.

01. MagiskHide ඉවත් කිරීම

මෙම පහසුකම භාවිතා වූයේ Android උපාංගය rooted device එකක් බව අනෙක් ඇප් වලින් සැඟවීමටයි. උදාහරණයක් ලෙස, බැංකු කටයුතු ආදී සිදුකරන Apps සාමාන්‍යයෙන් Root කළ උපාංගයක ස්ථාපනය කිරීමට ඉඩ නොදේ. එලෙස ඉඩ නොදීමට හේතුව වන්නේ Root කළ දුරකථනයක එවැනි මූල්‍යමය ගණුදෙනු සිදු කිරීම අනාරක්ෂිත බවට පිළිගන්නා බැවිනි. නමුත් මෙම MagiskHide යෙදුම මඟින් උපාංගය Root කළ බව සඟවා බැංකු කටයුතු ආදිය සිදු කරන ඇප්ස් ස්ථාපනය කළ හැකි වේ.

මෙම සේවාව ඉදිරියේදී Magisk tool එකෙන් ඉවත් කිරීමට නියමිත ය. මෙම තීරණය Google හි ඉහළ නිළධාරීන්ගේ බලපෑම මත සිදු වූවක් බව පැහැදිලි වේ.

02. Magisk Module Repo එක ඉවත් කිරීම

Magisk Tool එකෙහි තිබූ අතිශයින්ම ආකර්ෂණීය යෙදුමක් වූයේ විවිධ කාර්යයන් සඳහා වූ මොඩියුල පද්ධතියයි. මෙම මොඩියුල වලින් විවිධ ආකාරයේ දෑ සිදු කළ හැක, උදාහරණයක් වශයෙන් Font Manager මොඩියුලය ස්ථාපනය කිරීම මඟින් ඔබට ඔබේ දුරකථනයේ Fonts ඔබට අවශ්‍ය පරිදි වෙනස් කිරීමට හැකියාව ලැබේ.

ඉදිරියේදී මෙම මොඩියුල සඳහා වූ Repository එක නවතා දැමීමට තීරණය වී ඇත. Magisk Tool එකෙහි සුවිශේෂ අංගයක් වූ මෙම යෙදුම ඉවත් කිරීමට තීරණය කිරීමද කණගාටුවට කරුණකි. නමුත් අවශ්‍ය මොඩියුල Manually ස්ථාපනය කිරීම සඳහා ඉඩ ලබා දෙන බවක් සඳහන් වේ. එවිට එම මොඩියුල තෙවන පාර්ශවීය අඩවියකින් බාගත කර, එය ස්ථාපනය කළ යුතු වේ. දැනට තිබෙන ක්‍රමවේදය හා සංසන්දනය කිරීමේදී මෙය අසීරු ය.

03. කිසිම ආකාරයේ Bypass කිරීමක් සිදු කළ නොහැක.

මීට පෙර Magisk යෙදුම භාවිතා කර SafetyNet පරීක්ෂාව Bypass කිරීමේ හැකියාව ලැබුණි. මෙම SafetyNet යනු උපාංග වල ආරක්ෂිත බව පරීක්ෂා කරන ක්‍රම වේදයකි. උපාංග Root කළ විට මෙම SafetyNet පරීක්ෂාව අසමත් වන අතර එවිට සමහර Apps ස්ථාපනය කිරීමට ඉඩ ලබා නොදේ. Magisk හරහා එම පරීක්ෂාව ව්‍යාජ ලෙස සමත් කරවිය හැකි අතර එවිට පෙරදී ඉඩ ලබා නොදුන් ඇප්ස් ස්ථාපනයට ඉඩ සලසාගත හැක.

04. Zygisk නම් නව යෙදුමක් හඳුන්වා දීම

මෙම ‍යෙදුම මඟින් Zygote සඳහා සහාය දැක්වීමට නියමිත බව සඳහන් වේ. Zygote යනු Apps වඩා කාර්යක්ෂමව Android මෙහෙයුම් පද්ධතිය මත ධාවනය කිරීමට භාවිතා වන ක්‍රමයකි.

ලොව පුරා Magisk යෙදුම භාවිතා කරන්නන් මෙම නිවේදනය ශෝකාන්තයක් ලෙස දක්වා ඇත. එයට හේතුව කුමක්ද යන්න ඉහත කළ පැහැදිලි කිරීම් නිසා ඔබටත් අවබෝධ විය යුතුය. ඉහත දැක්වූ ඉවත් කළ යෙදුම් නොමැතිව Magisk යනු පෙර තිබූ ආකාරයේ සාම්ප්‍රදායික Rooting Tool එකකි. එහි තිබූ සුවිශේෂී කරුණු සියල්ලම ඉහත දක්වා ඇති ලෙස ඉවත් කර ඇත. එසේ ඉවත් කිරීමට හේතුව Google හි ඉහළ නිළධාරීන්ගේ නියෝග බව පහසුවෙන් වටහාගත හැක.

Root කරන ලද Customized උපාංග භාවිතා කිරීම Google හි ලාභ උපයන ක්‍රමවේද සඳහා බලවත් ප්‍රතිරෝධයකි. එබැවින් John Wu වෙත මෙවැනි බලපෑමක් එල්ලවීම නියත කරුණක් ව පැවතුණි. John Wu විසින් Google ආයතනයේ සේවයට බැඳීමත් සමඟ බොහෝ දෙනා මෙවැනි තත්වයක් අනුමාන කර තිබුණි.

කෙසේ නමුත්, Magisk යනු FOSS ව්‍යාපෘතියකි. එනම් Magisk හි කේත සටහන විවෘත එකකි. එය කැමති කෙනෙක්ට ලබාගෙන වෙනස්කම් කළ හැක. දැන් ඇති එකම බලාපොරොත්තුව වන්නේ මෙම කේත සටහන ලබාගෙන යම් අයෙක් මෙම Magisk යෙදුම පැවති ආකාරයටම දියුණු කරමින් පවත්වා ගනීවි යන්නයි. එලෙස මෙම කේතය Develop කිරීම සඳහා යම් අයෙක් ඉදිරිපත් වනු ඇතැයි Customized උපාංග භාවිතා කරන මාද ඇතුළු සියළු දෙනා බලාපොරොත්තුවෙන් පසු වේ.

Android Modification සඳහා සෘජුව බලපාන මෙම වෙනස්කම ගැන ඔබේ මතය අපත් සමඟ සාකච්ඡා කිරීමට, ඔබගේ තාක්ෂණය හා සම්බන්ධ ගැටළු නිරාකරණය කරගැනීමට සහ බොහෝ දේ ඉගෙනීමට ඔබත් අදම අපේ Community එක හා එකතු වන්න. අදම ගිණුමක් විවෘත කරන්න.

Source: Miso Ivanisevic