Loading...
Starlink සමඟින් තරඟයට පැමිණීම​ට සූදානම් වෙමින් Jeff Bezos රොකට් වෙළඳපලේ ලොකුම "deal" එක දම​යි

චන්ද්‍රිකා මඟින් අන්තර්ජාල සේවා සැපයීම අළුත් අදහසක් නොවේ. නමුත් පහළ පෘථිවි කක්ෂයේ ඇති චන්ද්‍රිකා දහස් ගණනක් මඟින් මුළු ලෝකයටම අන්තර්ජාල සේවා සැපයීමට වෙළඳපළක් නිර්මාණය වූයේ මෑත කාලයේයි. පෞද්ගලික සමාගම් කිහිපයක්ම මෙම වෙළදපළ සඳහා තරඟ කළ අතර ගෝලීය මට්ටමේ චන්ද්‍රිකා අන්තර්ජාල සේවාවක් ලබා දීම සඳහා සැලකිය යුතු චන්ද්‍රිකා ප්‍රමාණයක් දියත් කිරීම අනිවාර්ය වේ.

මුළින්ම චන්ද්‍රිකා දියත් කිරීම ආරම්භ කළේ SpaceX සමාගම සහ OneWeb සමාගමයි. SpaceX සමාගම තමන්ගේ Falcon 9 රොකට් මඟින් තමන්ගේ Starlink චන්ද්‍රිකා දියත් කිරීම ආරම්භ කළ අතර OneWeb සමාගම රුසියාවේ Soyuz රොකට්වලින් තමන්ගේ OneWeb චන්ද්‍රිකා දියත් කිරීම සිදු කරන ලදී. ලෝකයේ තවත් දැවැන්ත සමාගමක් චන්ද්‍රිකා අන්තර්ජාල සේවයට එක් වීමට අදහස් කළ නමුත් ඔවුන්ට විවිධාකාර හේතු නිසා වසර කිහිපයක් ප්‍රමාද වීමට සිදු විය.

ලෝකයේ දෙවැනියට ධනවත්ම පුද්ගලයා වන Jeff Bezos ගේ Amazon සමාගම විසින් දියත් කිරීම⁣ට නියමිත Kuiper අන්තර්ජාල සේවා සපයන චන්ද්‍රිකා ජාලය මේ වන විට දියත් කිරීමට සූදානම් වෙමින් පවතියි. නමුත් Bezos ගේ Blue Origin සමාගමේ New Glenn රොකට්ටුවේ සංවර්ධන කටයුතු තවමත් අවසන් නැත. ඒ නිසා මුල් Kuiper දියත් කිරීම් සඳහා ඔවුන්ට වෙනත් රොකට් යොදා ගැනීමට සිදු වේ. තමන්ගේ ප්‍රධාන තරඟකරුවා වන SpaceX සමාගමේ රොකට් යොදා ගැනීම සාමාන්‍ය ව්‍යාපාර ලෝකයේ සිදු වන දෙයක් නොවේ. ඒ නිසා ඔවුන්ගේ අවධානය යොමු වූයේ ඇමරිකාවේ United Launch Alliance සමාගම සහ යුරෝපයේ Arianespace සමාගම වෙතටයි.

පසුගිය වසරේදී Amazon සමාගම Atlas V රොකට් 9 ක් මිලදී ගත් අතර ඒ සමඟින් ULA සමාගමේ Atlas V නිෂ්පාදනය අවසන් කිරීමට තීරණය කරන ලදී. ඒ ඔවුන්ගේ අළුත්ම Vulcan රොකට්ටුවට වෙළඳපළ සකස් කිරීමටයි. මේ වන විට Amazon සමාගමෙන් ULA සමාගමේ Vulcan රොකට් දියත් කිරීම් 38 කුත් මිලදී ගෙන ඇත. ඊට අමතරව Arianespace සමාගමේ Ariane 6 රොකට් දියත් කිරීම් 18 ක් මිලදී ගත් අතර Blue Origin සමාගමේ New Glenn රොකට් දියත් කිරීම් 12 ක් මිලදී ගෙන ඇත.

ඊට අමතරව තවත් New Glenn රොකට් 15 ක් මිලදී ගැනීමටත් ඔවුන් බලාපොරොතත්තු වේ. ඒ අනුව Amazon සමාගම මුළින් කොන්ත්‍රාත්තුව ලබා දුන් Atlas V රොකට් 9 හැරුණු කොට තවත් රොකට් දියත් කිරීම් 83 ක් සඳහා කොන්ත්‍රාත්තු ලබා දී ඇත. මෙය වාණිජ දියත් වෙළඳපළේ මේ වනතුරු ප්‍රදානය කර ඇති ඉහළම වටිනාකමකින් යුක්ත කොන්ත්‍රාත්තු එකතුව වේ.

මෙම කොන්ත්‍රාත්තුවල වටිනාකම කිසිම සමාගමකින් හෙළි කර නැත. නමුත් Vulcan රොකට්ටුවක සාමාන්‍ය මිල ඩොලර් මිලියන 112 ක් වන අතර Ariane 6 රොකට්ටුවක මිල ඩොලර් මිලියන 77 ක් වේ. New Glenn රොකට්ටුවේ විකිණුම් මිල තවමත් ප්‍රසිද්ධ කර නැති නමුත් ක්⁣ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ ඇස්තමේන්තුව වන්නේ ඩොලර් මිලියන 68 ක් යන්නයි. ඒ අනුව මෙම සම්පූර්ණ Kuiper දියත් කිරීම් වියදම් ඇස්තමේන්තුව ඩොලර් බිලියන 9 කට ආසන්න වේ.

ඇමරිකාවේ සන්නි⁣වේදන කටයුතු සම්බන්ධයෙන් පාලන කටයුතු කරන Federal Communications Commission (FCC) මඟින් 2020 ජූලි 30 වනදා Kuiper චන්ද්‍රිකා ජාලයට අවසර ලබා දෙන ලදී. ඒ අනුව ඔවුන් චන්ද්‍රිකා 3,236 ක් මුහුදු මට්ටමේ සිට කිලෝමීටර් 590, 610 හා 630 ක් ඉහළින් කක්ෂගත කිරීමට සැලසුම් කරයි. මෙම චන්ද්‍රිකාවල කක්ෂීය ආනතිය 42° ක් දක්වා වේ. එනම් මේ Kuiper චන්ද්‍රිකා ජාලයෙන් ආවරණය කරන්නේ ලෝකයේ උතුරු අක්ෂාංශ 42 හා දකුණු අක්ෂාංශ 42 අතර ප්‍රදේශය පමණයි.

Kuiper චන්ද්‍රිකා ජාලයේ ඇති ප්‍රධාන වෙනස්කමක් වන්නේ එමඟින් ඍජුවම User Terminal වලට අන්තර්ජාල සේවා ලබා දීමට අමතරව දුරස්ථ ප්‍රදේශවල ඇති දුරකථන කුළුණුවලටත් සේවා ලබා දීමයි. එමඟින් ඒ අවට සිටින පුද්ගලයින්ට 4G සහ 5G තාක්ෂණය මඟින් අන්තර්ජාල සේවා පහසුවෙන් ලබා ගත හැක. මෙය User Terminal එකක් භාවිතා කරනවාට වඩා පහසු කාර්යයකි (User Terminal යනු අන්තර්ජාල සේවා සපයන චන්ද්‍රිකා සමඟ සම්බන්ධ වීමට අවශ්‍ය වන ඇන්ටනාව සම්බන්ධ කළ උපකරණයයි).

Kuiper චන්ද්‍රිකා දියත් කිරීමට තවත් කල් ගත වනු ඇත. මේ වන විට Starlink චන්ද්‍රිකා 2,333 ක් දියත් කර ඇති අතර රටවල් 29 කට අන්තර්ජාල සේවා ලබා දීම ආරම්භ කර ඇත. OneWeb සමාගම චන්ද්‍රිකා 428 ක් දියත් කිරීමට සමත් වූ අතර රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීම නිසා රුසියාවට පැනවූ ආර්ථික සම්බාධක හමුවේ OneWeb චන්ද්‍රිකා දියත් කිරීම් නවත්වා ඇත. ඒ නිසා OneWeb සමාගම තමන්ගේ තරඟකරුවෙක් වන SpaceX සමාගමේ Falcon 9 රොකට් යොදා ගැනීමට තීරණය කර ඇත.

අනාගතයේදී චන්ද්‍රිකා හරහා අන්තර්ජාල සේවා ලබා දීම ඉතා තරගකාරී වෙළදපළක් වීමට නියමිත අතර සේවා සම්පාදකයින් කිහිපදෙනෙක්ම සිටින නිසා අඩු මිලට ගුණාත්මක සේවාවක් ලබා ගැනීමට හැකි වේ යැයි බලාපොරොත්තු විය හැක.