Loading...
මිලියනයකට අධික Facebook ගිණුම් ව​ල logins අනාරක්ෂිත මට්ටමේ පවතින බවට Meta සමාගම දැනුම් දෙයි

Facebook යනු ලොකු කුඩා සෑම දෙනාම වර්තමානය වන විට භාවිතා කරන සමාජ මාධ්‍ය මෙවලමකි. මීට වසර කිහිපයකට පෙර මෙන් නොව වත්මන වන විට Facebook හරහා සාමාන්‍ය එදිනෙදා කටයුතු වලින් ඔබ්බට ගොස් ව්‍යාපාරික කටයුතු දක්වා බොහෝමයක් ක්‍රියාවලීන් වලට භාවිතා කරයි. මීට මෙලස භාවිතා කරන අපගේ තොරතුරු තෙවන පාර්ශවයන් හට ලැබීම වැළැක්වීම උදෙසා Facebook හි මව් සමාගම වන Meta සමාගම පෙර සිටම කටයුතු සිදුකරමින් පවතී.

කෙසේ වෙතත් පසුගිය 7 වන දින Meta සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ Android සහ Apple iOS යෙදවුම් හරහා භාගත කරගන්නා apps මගින් මිලියනයකට අධික Facebook පරිශීලකයන්ගේ Usernames සහ Passwords තෙවන පාර්ශවයන් අතට පත්වීමේ අවදානමක් පවතින බවයි.

Meta සමාගමෙහි ප්‍රකාශක Gabby Curtis විසින් බ්ලොග් සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ Android සහ Apple iOS හි 400කට අධික apps ප්‍රමාණයක් Facebook පරිශීලකයන්ගේ පිවිසුම් තොරතුරු සොරකම් කිරීම සඳහා නිර්මාණය කළ ඒවා බවයි. මෙය Meta හි පර්‍යේෂකයන් පිරිසක් විසින් තහවුරු කරන ලද තොරතුරක් බවත් ඔහු වැඩිදුරටත් පවසයි. මෙම හේතුව නිසා පරිශීලකයන් මිලියනයක ගේ පමණ දත්ත තෙවන පාර්ශවයන් විසින් ලබා ගැනීමේ අවධානමක් නිර්මාණය වී ඇත.

සමාගම සඳහන් කරනු ලබන ආකාරයට මෙම යෙදුම් බොහෝමයක් පවතින්නේ Mobile Games, Health Trackers, Editing Apps යනාදී වශයෙන් බවයි. මෙම යෙදුම් තුළට ඇතුල් වීම සඳහා තම Facebook ගිණුම් තෝරා ගැනීම මෙන්ම වෙනත් ප්‍රතිලාභ ලබා ගැනීමට Facebook ගිණුම සම්බන්ධ කිරීම වැනි ක්‍රියාවලීන් ඔස්සේ මෙවැනි තෙවන පාර්ශවීය පුද්ගලයන් හට මෙම තොරතුරු සම්ප්‍රේශණය වී ඇත.

මෙලෙස හඳුනාගත් යෙදුම් 400ක පමණ ප්‍රමාණයෙන් 45 ක් App Store හි පවතින යෙදුම් බවත් ඒවා වහාම ඉවත් කිරීමට කටයුතු කරන බවත් Apple සමාගම පවසා ඇත. එමෙන්ම ඉතිරි යෙදුම් ද සියල්ල ඉවත් කිරීමට තීරණය කර ඇති බව Google සමාගම සඳහන් කරයි.

Meta සමාගම විසින් වසර ගණනාවක් මුළුල්ලේ මෙලෙස තම පරිශීලකයන් ගේ ගිණුම් තොරතුරු වල ආරක්ෂාව සැලසීම සඳහා වැඩකටයුතු සිදුකරමින් පවතී. එලෙසම මෙවැනි ක්‍රියාවලි වළක්වා ගැනීම සඳහා Facebook පරිශීලකයන් වන ඔබගේත් වගකීම නිසි ලෙස ඉටු කිරීමෙන් තෙවන පාර්ශවයන් සඳහා තම පෞද්ගලික තොරතුරු හුවමාරු වීම වළක්වාගත හැකිය.

Sources: The Washington Post Engadget