Loading...
Tracking නැති Ads නැති, Google එකට ගේමට එන අළුත්ම search engine එක, Neeva

තාක්ෂණයේ දියුණුවත් සමග විටින් විට අප වෙත සමීප වන නව තාක්ෂණික මෙවලම් ප්‍රමාණය දිනෙන් දිනම වැඩි වෙමින් පවතී. එලෙස අප වෙත පැමිණෙන නවතම මෘදුකාංග අතරට Search Engine ද ඇතුළත් වීම ඉතාම සුලභ දසුනකි. මේ වන විට පරිශීලකයන් හට භාවිතා කළ හැකි Search Engine විශාල ප්‍රමාණයක් පවතින නමුත් යම් යම් කාල තුළදී විවිධ අදහස් කරලියට පැමිණෙන්නේ Search Engine තුළ පරිශීලකයාගේ දත්ත වලට ඇති ආරක්ෂාව අවම වීම, තෙවන පාර්ශවයන් (Third Parties) සඳහා දත්ත මුදා හැරීම සහ Tracking වැනි පෞද්ගලිකත්වයට හානි වන අන්දමේ ක්‍රියාවලි හේතුවෙනි.

නමුත් පරිශීලකයන්ගේ අවශ්‍යතාවලට වඩාත් ගැලපෙන පරිදි මෑතකදී නිකුත් කළ Search Engine එකක් වන්නේ Neeva වේ. මෙමගින් කිසිඳු ආකාරයක පරිශීලකයාගේ දත්ත මුදා හැරීමක් හෝ අනවසර භාවිතයක් සිදු නොකරන බවත් පරිශීලකයාගේ පෞද්ගලිකත්වය 100% ආරක්ෂා කරන Search Engine එකක් වන බවත් දන්වා සිටී.

මූලික හැඳින්වීමක් ලෙස සඳහන් කිරීමේදී Search Engine එකක් යනු මෘදුකාංගමය වැඩසටහනක් වන අතර එය අන්තර්ජාලය තුළින් භාවිතා කරන පුද්ගලයා ට අවශ්‍ය තොරතුරු ඔහු විසින් ඇතුළත් කරනු ලබන Keywords යොදාගෙන ලබාදීමයි.

මෙලෙස පරිශීලකයා විසින් ලබාදෙන Keywords භාවිතා කර අන්තර්ජාලයේ පවතින දහස් සංඛ්‍යාවකින් යුත් වෙබ් අඩවි තුළින් අවශ්‍ය තොරතුරු ඉතාමත් වේගවත්ව සහ නිරවද්‍යව ලබාදීම සිදු කිරීම Search Engine එකක් මගින් සිදුවන ප්‍රධානතම කාර්යය වේ. අප හට මෙවැනි Search Engine විශාල ප්‍රමාණයක් එදිනෙදා හමුවන අතර ඒ අතරින් Google, Yahoo, Bing, Ask වැනි යෙදවුම් වඩාත් ජනප්‍රිය ඒවා වේ.

සැලකිලිමත් විය යුතු කරුණ නම් Chrome, Microsoft Edge, Brave යනු Search Engine නොවේ. ඒවා Web Browsers ලෙස හදුන්වයි. මෙම Web Browser භාවිතා කර අපහට Search Engine විශාල ප්‍රමාණයක් භාවිතා කළ හැකිය.

Neeva, Search Engine එක පසුගිය 2021 වසරේදී නිකුත් කරනු ලැබූවේ එහි නිර්මාතෘ Sridhar Ramaswamy විසින් වේ. ඔහු Google සමාගමේ ප්‍රචාරණ සම්බන්ධව සේවය කළ අයෙකු වීම විශේෂත්වයකි. එලෙස 2021 වසරේ නිකුත් කිරීම තුළින් 600,000 කට අධික පරිශීලකයින් ප්‍රමාණයක් ඇමෙරිකාව තුළ භාවිතා කළ අතර ඒ අතරින් Neeva සඳහා ඉතාමත් ගුණාත්මක ප්‍රතිචාර ලැබුණු බව සඳහන් වේ.

මෙම යෙදවුම කැලිෆෝනියාව පාදක කරගනිමින් පවතින ආයතනයක් තුළින් නිකුත් කිරීම 2021 ජුනි මස සිදුකළ අතර විශාල පරිශීලකයන් ප්‍රමාණයක් අතර ජනප්‍රිය වීම හේතුවෙන් එය යුරෝපය තුළද දියත් කිරීම සඳහා කටයුතු කෙරුණි.

Neeva Search Engine එක 100% නොමිලේ භාවිතා කළ හැකි අතර Basic Membership එක යටතේ එහි ඇති සියලුම Features භාවිතා කළ හැකි අතර පරිශීලකයා හට Gmail හෝ Dropbox භාවිතා කර පෞද්ගලික ගිණුමක් පවා නිර්මාණය කර ගත හැකි වේ. Premium Membership එක යටතේ පරිශීලකයින් සඳහා මාසිකව යම් මුදලක් ගෙවීමට සිදුවන අතර ඒ සඳහා අමතර Features කිහිපයක් ලබා දීම සිදුකරයි. මෙම Premium Membership දැනට වලංගු වන්නේ ඇමෙරිකාව කේන්ද්‍ර කරගත් පරිශීලකයින් හට පමණි.

Neeva විසින් Google, Office 365, Dropbox, Slack, Github, Confluence, Jira, Box, Notion සහ Figma යන මාධ්‍යන් සඳහා ද සහාය දැක්වීම සිදුකරයි.

Neeva තම පරිශීලකයින් වෙත වඩාත්ම සමීප වීමට හේතුව ලෙස දැකිය හැක්කේ එමගින් වෙනත් Search Engine වල දී අත්දැකීමට සිදුවන Ads භාවිතා වීම නොමැතිකමයි. මෙම Ad-Free පහසුකම මෙහි ජනප්‍රියතාවයට මහඟු පිටුවහලකි. පරිශීලකයන් විසින් ලබාදෙන Keywords වලට අදාළ නිවැරදි තොරතුරු ඉක්මණින් හා නිරවද්‍යව ලබාදීම ද මෙහි ඇති ප්‍රධාන පහසුකමකි.

මෙලෙස පරිශීලකයන් සතුව ඇති දත්ත පිළිබඳව වැඩි සැලකීමක් දක්වන Neeva යෙදවුම මගින් පරිශීලක දත්ත ගබඩා කර ගැනීම සිදුකරන්නේ දින 90 ක පමණ කාලයක් බව එම සමාගම වැඩි දුරටත් සඳහන් කර ඇත. එලෙස සඳහන් කරනු ලබන රෙගුලාසි පිළිබඳව දැනුවත් වීම සඳහා Neeva හි Privacy Policy වෙත පිවිසීමෙන් අවබෝධ කරගත හැක.

එසේම Neeva සඳහා  iOS සහ Android Mobile Application එකක් සහ Chrome Browser Extension එකක්ද ලබා ගැනීමට හැකියාව පවතී.

මෙසේ අනෙකුත් Search Engine වලට සාපේක්ෂව මෙම යෙදවුම මගින් ලබාදෙන Features සහ අනෙකුත් Privacy ඇතුළත් ක්‍රියාවලීන් පිළිබඳව සැලකීමේදී මෙම යෙදවුම ඉදිරියේදී අනෙකුත් Search Engine සඳහා ඉතාමත් තරඟකාරී බවක් ඇති කරන බව නිගමනය කළ හැක.

Sources: neeva.com eandt.theiet.org