Loading...
නවතම Wi-Fi තාක්ෂණය හරහා කිලෝමීටරයක ප්‍රදේශයක් ආවරණය කල හැකි බව සහතික ​වේ

Wi-Fi තාක්ෂණයේ මීළඟ පිම්ම ලෙස දැන් කිලෝමීටරයකට ආසන්න දුරකට පැතිරිය හැකි, එමෙන්ම සංසන්දනාත්මකව අඩු විදුලියක් පරිභෝජනය කරන නව Wi-Fi ප්‍රොටෝකොලයක් අනුමත වී තිබෙනවා.

Wi-Fi Alliance යනුවෙන් හැඳින්වෙන ලොව පුරා Wi-Fi භාවිත කරන උපාංග සඳහා වන ප්‍රමිති ආයතනය විසින් දැන් මෙම නවමු Wi-Fi ප්‍රමිතිය එදිනෙදා භාවිත වන උපාංග සඳහා යෙදෙවිමට අනුමැතිය දී තිබෙනවා. මෙම නව ප්‍රමිතිය නම් කොට ඇත්තේ Wi-Fi HaLow යන නමින්.

මොකටද තවත් Wi-Fi වර්ග?

මෙවැනි නව ප්‍රොටෝකොලයක් නිපදවීමේ මූලිකම හේතුව වී ඇත්තේ එන්න එන්නම භාවිතය ඉහළ යන IoT devices, එහෙමත් නැතිනම් ඉංග්‍රීසියෙන් සුහුරු උපාංග ලෙස හඳුන්වන, සෑමවිටම අන්තර්ජාලය සඳහා සම්බන්ධ වී තිබෙන Smart Devices (ස්මාර්ට් විදුලි පහන්, ආරක්ෂක උපාංග යනාදිය) ස්ථාවරව සම්බන්ධ කරගැනීම සඳහා සහය දැක්වීමක් වශයෙන්.

Wi-Fi HaLow ප්‍රොටෝකෝලය දැනට තිබෙන තාක්ෂණය මතම පදනම් වී නිපැදවූවක් බැවින් අපහසුවකින් තොරව දැනට භාවිතයේ තිබෙන උපාංග සමගින් වැඩ කිරීමට ඇති හැකියාව මෙහි තවත් වාසියක්.

Wi-Fi HaLow වැඩ කරන්නේ කොහොමද?

අප දැනට භාවිත කරන Wi-Fi ප්‍රමිති සහ නව HaLow හි වෙනස්කම්. Image: ElectronicDesign.com

Router Settings අතගා බලා ඇති අයෙක්නම් ඔබ එහි 2.4Ghz සහ 5Ghz යන සංඛ්‍යාත වර්ග දෙකක් දැක ඇති. 2.4 සංඛ්‍යාතය, 5 සමඟ සැසඳීමේදී වැඩි දුරක් විහිදෙන අතර, 5Ghz සංඛ්‍යාතය එයට වඩා කෙටි දුරක් තුළ එහෙත් වැඩි වේගයකින් දත්ත සම්ප්‍රේෂණය කරනවා.

නමුත් මෙම නව ප්‍රොටෝකෝලය භාවිත කරන්නේ 1Ghz ටත් වඩා අඩු සංඛ්‍යාතයක්, එනම් එයට දිගු දුරක් විහිදීමේ හැකියාව නිරායාසයෙන් ලැබී තිබෙනවා. Wi-Fi Alliance සඳහන් කරන ආකාරයට Wi-Fi HaLow access point එකකට 1km ඉක්මවූ අරයක් තුල 8000කට අධික උපාංග සංඛ්‍යාවක් ජාලගත කිරීමේ හැකියාව තිබෙනවා.

නමුත් මෙහි දිගු දුර විහිදීමේ හැකියාව නිසාම දත්ත සම්ප්‍රේෂණය කිරීමේ වේගය 2.4 සහ 5Ghz සංඛ්‍යාතයන වලට සාපේක්ෂව අඩු අගයක් ගනු ලබනවා.

එසේ වුවත් මෙය ඉලක්ක කර තිබෙන IoT Devices යනු සාමාන්‍ය PC, Smartphone වැනි අධික bandwidth එකක් අවශ්‍ය කරන උපාංග නොවෙයි. උදාහරණයක් ලෙස නිවාස වල IoT devices ලෙස භාවිතා වන Smart දොර අගුල්, විදුලි බුබුළු, CCTV camera ආදියට පවා වැය වන්නේ ඉතා කුඩා දත්ත ප්‍රමාණයක්. බොහෝ විට මේවාට අවශ්‍ය වන්නේ ON/OFF කිරීමේ සංඥාවක් පමණක් විය හැකියි.

මොනවද ප්‍රයෝජන?

දැනට තිබෙන Wi-Fi ප්‍රොටෝකෝල හා සැසඳීමේදී HaLow හි විශේෂත්වය වන්නේ විශාල බාධක ප්‍රමාණයක් හරහා යා හැකි වීමත්, දිගු ආවරණයත්, වැඩි බලයත් සහ වැඩි උපාංග ගණනක් සම්බන්ධ කිරීමේ හැකියාවත් යන කරුණුය. Image: ElectronicDesign.com

ඒවාට සමාන බොහෝ ස්මාර්ට් උපාංග දැන් විවිධ කර්මාන්ත, නගර වල මෙන්ම ගොවිබිම් වලද භාවිත කිරීමට පටන් ගෙන තිබෙනවා. Wi-Fi HaLow හි ඇති එකම ජාලයක් තුල දිගු දුරක් විහිදීමේ හැකියාවත්, ඒ අතරම විවිධ බාධක හරහා ගමන් කිරීමේ හැකියාවත් නිසා දැන් මෙම නව ප්‍රොටෝකෝලය මගින්, smart උපාංග ජනතාවගේ වැඩ පහසු කිරීම සඳහා වැඩි වැඩියෙන් භාවිත වීම ආරම්භ වනු ඇති.

Source: IndiaToday