Loading...
ඔබගේ Email දත්ත Track කරන Invisible Images පිළිබඳව ඔබ දැනුවත් වී සිටියාද? මේ ඒ ගැ​න

ඩිජිටල් යුගයකට එකතු වන පාඨක ඔබ සියල්ලන්ම මේ ඩිජිටල් යුගයේ ඇති වැදගත්කම පිළිබඳව මනා අවබෝධයක් ලබාගෙන ඇති බවට සහතිකයි. නමුත් මෙම ඩිජිටල් යුගය අප සියල්ලන් සඳහාම එක සේ වාසිදායක නොවීමටද ඉඩකඩ තිබෙනවා. මන්දයත් ඇතැම් අවස්ථාවන්වලදී විවිධාකාරයේ වූ අනිසි අතපෙවීම් මෙම ඩිජිටල් අවකාශය තුළ අත්දැකීමට සිදුවනු ඇත. ඇතැම් අය පවසන ආකාරයට මෙයින් සඳහටම වෙන් වී සිටීමට හෝ එම ක්‍රියාවන් සියල්ලම නැවැත්වීම භෞතික ලෝකය තුළ සිදුකළ නොහැකි ක්‍රියාවලියකි. නමුත් අපට එයින් වැළකිය හැකි වනවා.

වර්තමානය තුළ ලොව ඇති වටිනාම දේ කුමක්ද යන පැනය ඔබගෙන් ඇසුවහොත් එය ඇතැම් විට භෞතිකව පෙනෙන්නට තිබෙන දෙයක් ලෙස බොහෝ දෙනෙකුට මතකයට නැගෙයි. නමුත් තාක්ෂණය සමග නිතරම සම්බන්ධ වී පවතින අයවලුන් එය හදුන්වන්නේ "දත්ත" නැතහොත් "Data" ලෙසයි.

මෙම යුගය වන විට තාක්ෂණයේ දියුණුවත් සමග පවතින කෘතිම බුද්ධිය සහ ඇල්ගොරිතම් ආශ්‍රිත ක්‍රියාකාරකම් තුළ දී මෙම දත්ත ලබාගැනීම් සිදුකිරීම මහත් සේ ජනප්‍රියතාවයට පත්ව තිබුණි. එලෙස දත්ත ලබාගැනීමේදී පරිශීලකයන්ගේ දත්ත පරිශීලකයන් නොදැනුවත්ව භාවිතා කිරීම පිළිබඳව විශාල මතභේදාත්මක තත්ත්වයක් පසුගිය කාලයේ උද්ගතව පැවති අතර මෙම ලිපිය තුළින් ද ඔබ වෙත ගෙන එනු ලබන්නේ ඒ හා සම්බන්ධ ඔබට වැදගත් විය හැකි කරුණු කිහිපයක් සම්බන්ධවය.

Source - www.laptopmag.com

ඔබ මේ වන විටත් E-mail ලිපිනයක් භාවිතා කරන අයෙකු වන්නේ නම් ඔබට ඇතැම් අවස්ථාවන් වලදී විවිධ ආකාරයේ E-mail පණිවුඩ ලැබෙනවා විය හැක. ඒ අතර ඔබ වැඩිදුර අවදානය යොමු නොකරන පණිවුඩ පිළිබඳව සැලකිලිමත් වුවහොත් එයින් සාපේක්ෂ ප්‍රමාණයක පණිවුඩ ලැබෙන්නේ යම්කිසි Website එකකින් හෝ වෙනත් ප්‍රචාරණ කටයුත්තක් සඳහා ඉලක්ක කරගත් පණිවුඩ වේ. බොහෝ විට අප විසින් මෙම පණිවුඩ කියවීමෙන් වැළකී සිටීමට හෝ එය උනන්දුවකින් තොරව කියවීමට පෙළඹී සිටී.

"නමුත් තාක්ෂණික දියුණුවත් සමගම මෙලෙස ප්‍රචාරණයක් සිදුකරන සමාගම් හෝ ආයතන මගින් එවනු ලබන පණිවුඩ හරහා ඔබව නිරීක්ෂණය කිරීමට හැකියාවක් ඇති බව ඔබ දැන සිටියා ද?"

එය නිවැරදියි. ඔබව නිරීක්ෂණය කිරීමට ඔවුනට හැකියාව පවතී. ඒ සඳහා යොදාගන්නා එක් ක්‍රමෝපායක් වන්නේ Invisible Images නොහොත් Tracking Pixels වේ. ඒ මගින් එම ආයතනවලට ඔබ ඔවුන්ගේ පණිවුඩ සමග ක්‍රියාකාරී වන්නේ කෙසේද යන්න පිළිබඳව නිරීක්ෂණය කිරීමට හැකියාව පවතී. එමගින් ඔවුන්ගේ ඉදිරි අලෙවිකරණ කටයුතු සාර්ථක කර ගැනීමටත් ඔබගේ අනෙකුත් ක්‍රියාකාරකම් පිළිබඳව නිරීක්ෂණය කිරීමටත් හැකියාව පවතී.

Tracking Pixels යනු මොනවා ද?

Source: blog.orchid.com

Tracking Pixels යනු ඉතා කුඩා ප්‍රමාණයේ images වන අතර එය පියවි ඇසින් නිරීක්ෂණය කිරීමට තරමක් අපහසු වේ. මන්දයත් මෙම images හි ප්‍රමාණය සැලකීමේදී එය Pixel 1 x 1 (පික්සල් 1 x 1) ප්‍රමාණයේ වේ. මෙම images පරිශීලකයන් වෙත ලැබෙන්නේ E-mail පණිවුඩයේ body එක තුළ වන අතර එය එහි පවතින අන්තර්ගතයන් සමග වෙන්කර හඳුනාගැනීමට ඇති අවස්ථාව අවමය.

එම නිසා මේ සඳහා Invisible Images යන නාමයද භාවිතා කරයි. මෙම Tracking Pixels කුඩා වීම පමණක් නොව ඒවා E-mail body හි පසුබිමේ පවතින පැහැය සමග සමාන වීම ද මෙය වෙන්කර හඳුනාගැනීමට තරමක් අපහසු කරවයි. එමෙන්ම මෙම images පවතිනේ GIF හෝ PNG ආකාරයෙන් වීම මෙය හඳුනාගැනීමට තවත් අපහසු කරවීමට හේතුවන කරුණකි.

Tracking Pixels ක්‍රියාත්මක වන්නේ කෙසේ ද?

තාක්ෂණික උපකරණ හා අන්තර්ජාලය සමග ගනුදෙණු කරනු ලබන බොහෝ දෙනාගේ අදහස වන්නේ ඔවුන්ව කිසිඳු අයෙකු විසින් නිරීක්ෂණය කිරීමක් සිදුනොකරන බවයි. නමුත් එය වැරදිය. පාඨක ඔබ සඳහාම අප විසින් මීට පෙර මේ හ සම්බන්ධ ලිපි පෙළක් ගෙන ආවෙමු. එම ලිපි පහත සඳහන් වේ. ඒවා කියවීමෙන් ඔබට මේ හා සම්බන්ධව මනා අවබෝධයක් ලබාගත හැක.

ඔබව තෙවන පාර්ශවයක් විසින් නිරීක්ෂණය කරන්නේද? ඒ පිළිබඳ දැන ගන්​න පහත ලිපි කියවන්න.

  1. WhatsApp හි Data වෙනත් පාර්ශවයන් වෙත ලැබීම පිළිබඳව.
  2. තෙවන පාර්ශවීය apps ඔබට බලපෑමක් ඇතිකරන ආකාරය.
  3. Virus හා Ransomware වලින් ආරක්ෂා වන්නේ කෙසේද?
Source: www.nordvpn.com

අපගේ මාතෘකාව පිළිබඳව සලකන විට ඔබහට ලැබෙන මෙවැනි ආකාරයේ Tracking Pixels අන්තර්ගත වන පණිවුඩයක් විවෘත කිරීමෙන් පසුව එහි පවතින මෙම කුඩා Invisible Images ඔබගේ browser හෝ app එක තුළ load සිදුවේ. එවිට මෙම images මගින් sever එක තුළ එය ස්ථානගත වීම සිදුකරන අතර එමගින් අදාළ පණිවුඩය ලබාදුන් පාර්ශවයන් හට ඔබගේ තොරතුරු ලබාගැනීමේ හැකියාව පවතී.

එහිදී ඔබගේ දත්ත අතර ඔබගේ location පිළිබඳව තොරතුරු, ඔබ කොපමණ වාර ගණනාවක් මෙම පණිවුඩය නිරීක්ෂණය කළේද සහ ඔබ කුමන ආකාරයේ උපාංගයක් මෙම පණිවුඩ කියවීම සඳහා භාවිතා කරන්නේ ද යන කරුණු මෙහිදී එම පාර්ශවයන් විසින් අධ්‍යයනය කරනු ලබයි.

එමෙන්ම සිදුකළ අධ්‍යනයන් මගින් සනාථ වන්නේ අවශ්‍ය වන්නේ නම් මෙම පාර්ශවයන් හට ඔබගේ browser එක තුළ පවතින cookies වෙතට email trackers පවා අන්තර්ගත කළ හැකිබවයි. මෙමගින් ඔබගේ location පිළිබඳව තොරතුරු මෙන්ම ඇතැම් විට ඔබගේ වෙනත් පෞද්ගලික තොරතුරු පවා ලබා ගැනීමට එම පාර්ශවයන් හට අවස්ථාව පවතී. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු ලබාගැනීම සඳහා මේ හා සම්බන්ධව පළ කර ඇති පර්යේෂණ වාර්තා මෙම සබැඳිය ඔස්සේ නිරීක්ෂණය කළ හැක.

Tracking Pixels මගින් ඔබව නිරීක්ෂණය කරන බව හඳුනාගන්නේ කෙසේ ද? සහ එයින් ආරක්ෂා වීම.

අප විසින් බහුලවම භාවිතා කරන්නා වූ Email සේවාවන් තුළ මේ සඳහා සෘජු පිළියමක් නොමැති වුවත් මෙයින් සිදුවන හානිය අවම කිරීම සඳහා අප හට Third Party යෙදවුම් භාවිතා කිරීමට සිදුවේ. Gmail සඳහා Google Chrome සහ Firefox හි ඇති extension එකක් වන Ugly Email භාවිතා කළ හැක. එමගින් ඔබගේ Gmail වෙත පැමිණෙන Tracking Pixels අවහිර කිරීම සිදුකරන අතර එමගින් ඔබගේ තොරතුරු වෙනත් පාර්ශවයන් නිරීක්ෂණය කිරීම වළකයි.

Ugly Email මගින් Tracking Pixels හඳුනාගන්නා ආකාරය. (chrome.google.com)

එමෙන්ම ඔබ භාවිතා කරන්නේ Yahoo හෝ Outlook නම් Trocker extension එක භාවිතා කිරීම මගින් මෙම Tracking Pixels වලින් සිදුවන බලපෑම අවම කරගත හැක.

Trocker මගින් Tracking email හඳුනාගන්නා ආකාරය. (chrome.google.com)

මෙම Tracking Pixels වලින් ආරක්ෂා වීම සඳහා අප හට ස්ථිරවම විසඳුමක් නොමැති වුවත් පහත සඳහන් පියවරයන් අනුගමනය කිරීම තුළින් එයින් සිදුවන බලපෑම අවම කරගත හැකිවේ.

Email පණිවුඩ සමග තිබෙන images auto load වීම නැවැත්වීම.

මෙහිදී අප වෙත පැමිණෙන email තුළ පවතින images ස්වයංක්‍රීයව load වීම ක්‍රියාවිරහිත කිරීම මගින් මෙම Tracking Pixels හි ප්‍රවේශය අවම කිරීමට සමත් වේ. යම් විශ්වාසදායක පණිවුඩවල අන්තර්ගතයන් පමණක් නිරීක්ෂණය කිරීමට කටයුතු කරන්නේ නම් මෙයින් සිදුවන බලපෑම අවම කරගත හැකිවේ.

  • එහි දී පහත පියවර අනුගමනය කිරීම තුළින් ඔබ Gmail භාවිතා කරන්නෙක් නම් images auto load වීම වළක්වා ගත හැකිවේ.

 Settings > Images > Ask Before Displaying External Images

  • ඔබ Outlook භාවිතා කරන්නේ නම්,

Options > Block External Images හෝ Options > Trust Center > Automatic Download

ඉහත සඳහන් ක්‍රියාමාර්ග සිදුකිරීම මගින් ඔබට ඔබගේ පෞද්ගලික දත්ත වෙනත් පාර්ශවයන් වෙත පත්වීම වළක්වා ගැනීමට ක්‍රියාකළ හැක.

මෙවැනිම වැදගත් තාක්ෂණික පුවත් පිළිබඳව දැනුවත් වීම සඳහා Android වැඩකාරයෝ සමග ඉදිරියටත් සම්බන්ධ වී සිටින්න.