Loading...
AI සහායකයින් විසින් මිනිසුන්ව කුලියට ගන්නා 'RentAHuman.ai' සේවාව ඇරඹෙයි

ගල් යුගයේ ආයුධයේ සිට අද පවතින අතිසංකීර්ණ කෘත්‍රිම බුද්ධිය (Artificial Intelligence) දක්වා සෑම දෙයකම පාලකයා වූයේ මිනිසා වන අතර මේ සියලු තාක්ෂණයන් සහ මෙවලම් නිර්මාණය වූයේ මිනිසාගේ වැඩ කටයුතු පහසු කර ගැනීමට බව නොරහසක් නමුත් මේ වන විට වාර්තා වන සුවිශේෂීම පුවතක් නිසා මේ සියල්ල උඩුයටිකුරු වී තිබෙනවා. ඒ මිනිසුන් විසින් AI භාවිතා කරනවා වෙනුවට, AI සහායකයින් (AI Agents) විසින් සැබෑ ලෝකයේ වැඩ කටයුතු සඳහා මිනිසුන්ව කුලියට ගන්නා නවතම සේවාවක් වන RentAHuman.ai නිල වශයෙන් දියත් කිරිමත් සමඟයි.

ආර්ජන්ටිනාවේ වෙසෙන ප්‍රකට ක්‍රිප්ටෝ ඉංජිනේරුවෙකු වන ඇලෙක්සැන්ඩර් ලිටෙප්ලෝ (Alexander Liteplo) විසින් නිර්මාණය කරන ලද මෙම අපූරු වෙබ් අඩවිය දියත් කර ඉතා කෙටි කාලයක් ඇතුළත ලොව පුරා දැඩි අවධානයක් දිනා ගැනීමට සමත් වී තිබෙනවා.


මොකක්ද මේ RentAHuman.ai?

සරලවම කිවහොත් මෙය AI සහායකයින් සඳහා පවතින "මිනිස් ශ්‍රම වෙළඳපොළකි". වර්තමානය වන විට ChatGPT, Gemini හෝ Claude වැනි Generative AI පද්ධතිවලට ඊමේල් ලිවීමට, දත්ත විශ්ලේෂණය කිරීමට හෝ රූප නිර්මාණය කිරීමට ඇති හැකියාව අසීමිතය. නමුත් මේ සියල්ල සීමා වී ඇත්තේ ඩිජිටල් තිරය තුළට පමණි. AI එකකට කිසිසේත්ම කළ නොහැකි දෙයක් වනුයේ සැබෑ භෞතික ලෝකය තුළ ක්‍රියාත්මක වීමයි.

උදාහරණයක් ලෙස AI සහායකයෙකුට ඔබ වෙනුවෙන් රාත්‍රී ආහාරය කුමක්දැයි තීරණය කළ හැකි වුවත්, අසල ඇති සුපිරි වෙළඳසැලට ගොස් එම ආහාර ද්‍රව්‍ය රැගෙන ඒමට හෝ ඒවා පිසීමට එයට හැකියාවක් නැත. RentAHuman.ai මෙම හිඩැස පුරවන අතර එහිදී AI පද්ධතිය විසින් තමන්ට කළ නොහැකි භෞතික කාර්යයක් ඉටු කරවා ගැනීම සඳහා සුදුසු මිනිසෙකු මෙම වෙබ් අඩවිය හරහා සොයා ගනු ලබනවා.

AI එකක් මිනිසෙකුගෙන් අපේක්ෂා කරන වැඩ මොනවාද?

මෙම වේදිකාව තුළ ලියාපදිංචි වී සිටින පිරිසට AI සහායකයින්ගෙන් විවිධාකාරයේ වැඩ ඇණවුම් ලැබෙන බව නිර්මාණකරු පවසයි. දැනට වාර්තා වී ඇති පරිදි AI විසින් මිනිසුන් කුලියට ගනු ලබන ප්‍රධාන කාර්යයන් කිහිපයක් මෙලෙස වනවා,

  • බඩු බාහිරාදිය බෙදා හැරීම - එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට පාර්සල් හෝ ලිපිගොනු රැගෙන යාම.
  • සිල්ලර බඩු මිලදී ගැනීම - AI එක විසින් ලබා දෙන ලැයිස්තුවකට අනුව වෙළඳසැලකින් බඩු මිලදී ගෙන නිවසට ගෙන ඒම.
  • සුරතල් සතුන් රැකබලා ගැනීම - නිවෙස් හිමියා බැහැරව සිටින විට AI සහායකයාගේ නියෝග මත නිවසට ගොස් බල්ලාට හෝ පූසාට ආහාර ලබා දීම.
  • මානුෂීය සබඳතා - මෙය ඉතා පුදුම සහගත කාර්යයක් වන අතර යම් පුද්ගලයෙකු තනිව සිටින විට ඔහු සමඟ කතාබස් කිරීමට හෝ ඔහුට සහනයක් වීමට පවා AI සහායකයින් විසින් මිනිසුන්ව කුලියට ගනු ලබනවා.
  • වෘත්තීය සහාය- ඇතැම් Startups සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන් (CEOs) පවා සිය කාර්යබහුලත්වය නිසා AI සහායකයා ලවා යම් යම් කාර්යයන් ඉටු කරවා ගැනීමට මිනිසුන් කුලියට ගන්නා බව වාර්තා වනවා.

මෙයින් මිනිසාට ලැබෙන වාසිය කුමක්ද?

මෙම සේවාව හුදෙක් තාක්ෂණික අත්හදා බැලීමක් පමණක් නොව එය මිනිසුන්ට අමතර ආදායමක් උපයා ගත හැකි නව මගක් වනවා. වාර්තාවලට අනුව AI සහායකයෙකු විසින් මිනිසෙකු කුලියට ගන්නා විට පැයකට ගෙවන මුදල ඩොලර් 50 සිට 69 දක්වා පමණ වනවා.

ඕනෑම පුද්ගලයෙකුට RentAHuman.ai වෙබ් අඩවියට පිවිස සිය නම, පදිංචි ස්ථානය, තමා දන්නා භාෂාවන් සහ තමාට කළ හැකි වැඩ පිළිබඳව විස්තර ඇතුළත් කර Profile එකක් සකස් කළ හැකි වනවා.

වාර්තා වන තොරතුරුවලට අනුව මෙම වෙබ් අඩවිය දියත් කර පැය 52ක් වැනි ඉතා කෙටි කාලයක් තුළ පුද්ගලයින් 28,000කට අධික පිරිසක් ලියාපදිංචි වී ඇති අතර, මේ වන විට එම සංඛ්‍යාව 100000 ඉක්මවා ඇත. එමෙන්ම දැනට AI සහායකයින් (AI Agents) 46 දෙනෙකු මෙම පද්ධතිය සමඟ සක්‍රීයව සම්බන්ධ වී මිනිසුන්ට වැඩ ලබා දීම ආරම්භ කර තිබෙනවා.


සමාගම මෙම සේවාව හඳුන්වන්නේ "The meatspace layer of AI" යන නමින් වන අතර තාක්ෂණික ලෝකයේ 'Meatspace' යනු පරිගණක තිරයෙන් පිටත පවතින සැබෑ භෞතික ලෝකය හඳුන්වන වචනයයි. මෙතෙක් කල් AI පද්ධති සිර වී සිටි ඩිජිටල් කූඩුවෙන් ඔවුන්ව නිදහස් කර සැබෑ ලෝකයේ කාර්යයන් පාලනය කිරීමට ඔවුන්ට බලය ලබා දීම මෙහිදී සිදු වනවා.

මෙය ඉතා ආකර්ශනීය මෙන්ම යම්තාක් දුරට භයානක සංකල්පයක් ලෙස ද ඇතැම් විචාරකයෝ දක්වනවා. ඒ අනාගතයේදී මිනිසුන් සම්පූර්ණයෙන්ම AI පද්ධතිවල නියෝග මත වැඩ කරන පිරිසක් බවට පත්වීමේ අවදානමක් පවතින බැවිනි. නමුත් නිර්මාණකරු පවසන්නේ මෙය මිනිසා සහ AI අතර පවතින සහයෝගීතාවය නව මානයකට ගෙන යාමක් මිස මිනිසා යටත් කර ගැනීමක් නොවන බවයි.

Source: rentahuman.ai www.gadgets360.com