ඔබ මේ වන විටත් හොදින්ම දන්නවා Starlink අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා නිල වශයෙන් ලබා දීමට SpaceX සමාගම සහ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව කටයුතු කරමින් සිටින බව. ඒ අනුව මෙම මස මුලදී මේ සඳහා අවශ්‍ය අනුමැතීන් සියල්ලම මෙන්ම ලැබී තිබෙන බව වාර්තා වු අතර රජය විසින් මෙහි මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට අවශ්‍ය “Dashboard Data” ලැබෙන තුරු සිටින බවයි.
මේ පිළිබඳව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් බන්දුල හේරත් මහතා සඳහන් කර සිටියේ එම “Dashboard Data” ලබා ගැනීමේ මුලික කටයුතු සියල්ල මේ වන විට අවසන් බවත්, එළඹෙන සතියේ සිට තෝරාගත් පාරිභෝගිකයින් පිරිසක් සඳහා එම සේවාව භාවිත කිරීමට හැකි වන බවයි.
මේ වන විට Starlink Satellite Internet Service එක ලබා දීමට අවශය උපාංග කට්ටල 112ක් ශ්‍රී ලංකාව වෙත ඔවුන් රැගෙන විත් පවතින අතර ඉන් උපාංග කට්ටල 12ක් ශ්‍රී ලංකාවේ පළමු Starlink පාරිභෝගිකයින් 12 දෙනා සඳහා මේ වන විටත් බෙදා හැරීම මේ සතිය අවසන් වන විට සම්පුර්ණ කරන බවත් ඊළග සතියේ සිට සතියක කාලයක පරික්ෂණ සේවා ලබා දීමත් එම පාරිභෝගිකයින් සමඟ සිදු කරන බවත් එම මහතා වැඩි දුරටත් සඳහන් කර සිටිනවා.

එම පරික්ෂණ සේවා ලබා දීම පිළිබදව Starlink ආයතනය, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සහ ආරක්ෂක අමාත්‍යංශය විසින් අධික්ෂණය කරනු ලබන අතර ඉන් පසුව, එනම් මීළග මාසයේ මුල සිට Starlink සේවාව නිල වශයෙන් මහජනයා වෙත ලබා දීම සිදු වනු ඇතැයි බලාපොරොත්තු වන්න පුලුවන්.