Loading...
අඟහරු මතදී සොයා ගත් කඩා වැටුණු පෘථිවියේ පියාඹන පීරිසිය

අඟහරු මතට ගොඩබැසීම ඉතා අසීරු කාර්යයකි. අඟහරු මතට ගොඩබැසීමට යැවූ අභ්‍යවකාශ යානා අතරින් සැලකිය යුතු ප්‍රමාණයක් ආරක්ෂිතව ගොඩබැසීමට අසමත් වූ අතර ඒ කඩා වැටුණු යානා පසු කාලීනව අඟහරුගේ කක්ෂයේ පවතින ප්‍රභල කැමරාවක් අඩංගු Mars Reconnaissance Orbiter යානයෙන් සොයා ගැනීමට සමත් ව ඇත.

2003 දී අඟහරු බලා යැවූ අසාර්ථක වූ Beagle 2 යානය MRO යානයෙන් දුටු අයුරු

නමුත් අඟහරු මත වාර්තා පිට වාර්තා තබමින් පියාසර කරන නාසා ආයතනයේ Ingenuity හෙලිකොප්ටරය පසුගිය සතියේදී කඩා වැටුණු පීරිසියක් වැනි යානයක කොටසක් ඡායාරූපගත කිරීමට සමත්ව ඇත. කෙසේ නමුත් ඒ පැරණි යානයක් නොවේ. මේ දැක්වෙන්නේ මීට වසරකට පෙර Ingenuity හෙලිකොප්ටරය රැගත් Perseverance රෝවරය අඟහරු මතට ගොඩබැසීමට උපකාර කළ Mars 2020 අභ්‍යවකාශ යානයේ පසුපස ආවරණය (Backshell) සහ එයට සම්බන්ධ පැරෂුට් එකයි.

Mars 2020 යානයේ පසුපස ආවරණය සහ පැරෂුට් එක

අඟහරුගේ වායුගෝලය ඉතා තුනී නිසා පැරෂුට් එකකින් අභ්‍යවකාශ යානයක් සුමට ලෙස ගොඩබැසීමට තරම් වේගය අඩු කර දෙන්නේ නැත. ඒ නිසා Perseverance රෝවරය ගොඩබැසීමේ අවසන් මොහොතේදී පැරෂුට් එක සම්බන්ධ කර ඇති යානයේ පසුපස ආවරණයෙන් වෙන් වී රොකට් එන්ජින් සහිත ගොඩබැසීමේ අදියර (Decent Stage) යොදා ගනිමින් අඟහරු මතට සුමටව ගොඩබසින ලදී. පැරෂුට් එකට සම්බන්ධ පසුපස ආවරණය රෝවරය ගොඩබැස්ස ස්ථානයට මඳක් දුරින් අගහරු මතට කඩා වැටුණි. අඟහරුගේ වායුගෝලය තුළ පැරෂුට් මගින් ඒ තරම් වේගයක් අඩු කර දෙන්නේ නැති බව පසුපස ආවරණය කඩා වැටීමේදී සිදු වී ඇති හානිවලින් දැක ගත හැක.

Mars 2020 යානයේ පසුපස ආවරණය සහ පැරෂුට් එක

Perseverance රෝවරය මේ වන විට ජෙසරෝ ආවාටයේ වියළී ගිය ගංගා ඩෙල්ටාව බලා ගමන් කරමින් පවතී. සන්නිවේදනය පවත්වා ගත යුතු නිසා Ingenuity හෙලිකොප්ටරයත් රෝවරය පසුපසින් පැමිණේ. එහිදී රෝවරය ගමන් කළ මාර්ගයෙන් මඳක් දුරින් පසුපස ආවරණය සහ පැරෂුට් එක තිබුණි. විද්‍යාත්මක ඉලක්ක වෙත අවධානය යොමු කළ යුතු නිසා රෝවරය ඒ අසළට යැව්වේ නැත. නමුත් අඟහරුගේ සාම්පල් ගෙන එන මෙහෙයුමට සම්බන්ධ ඉන්ජිනේරුවන් විසින් ගොඩබැසීමෙන් පසු පැරෂුට් එකට සහ පසුපස ආවරණයට සිදු වූ දෙය පරීක්ෂා කිරීමට අවශ්‍ය බව පැවසූ නිසා Ingenuity හෙලිකොප්ටරය එයට ඉහළින් පියාසර කරවීමට තීරණය කරන ලදී.

ඒ අනුව හෙලිකොප්ටරය තම 26 වන පියාසැරිය ලෙසින් අප්‍රේල් 20 වනදා මීටර් 8 ක් ඉහළින් පැරෂුට් එක සම්බන්ධ පසුපස ආවරණය අසළින් පියාසර ක⁣රවන ලදී. මෙහිදී ලබාගත් ඡායාරූපවලින් යානය අඟහරුගේ වායුගෝලයට ඇතුළු වීමේදී ඇති වන අධික තාපයෙන් කෙතරම් හානි සිදුවී ඇත්දැයි නිගමනය කරන අතර පැරෂුට් එකේ කැඩුණු කේබල් තිබේදැයි සොයා බලනු ඇත. මෙම දත්ත සාම්පල් ගෙන එන යානයේ ගොඩබැසීමේ පද්ධතිය මනා ලෙස සැකසීමට උපකාර වනු ඇත.

Ingenuity හෙලිකොප්ටරය Perseverance ර‌ෝවරයෙන් මුදා හැරීම

Ingenuity හෙලිකොප්ටරය අඟහරුට යැව්වේ 5 වරක් පියාසර කරමින් අඟහරුගේ තුනී වායුගෝලය තුළ ⁣ගුවන් යානයක් යැවීමේ හැකියාව පරීක්ෂා කිරීමටයි. එම පියාසැරියන් 5 න් පසුව ⁣හෙලිකොප්ටරය ඉතා හොඳ තත්වයේ පැවති නිසා එය රෝවරය සමඟ ගමන් කරමින් රෝවරයේ ⁣විද්‍යාත්මක මෙහෙයුමට සහාය ලබා දේ. හෙලිකොප්ටරය ගුවනේ සිට ලබා දෙන ඡායාරූප රෝවරයේ ඉදිරි ගමන් මඟ සැලසුම් කිරීමට උපකාරි වේ. මේ වන විට පියාසැරියන් 27 ක් තුළ කිලෝමීටර් 7 කට ආසන්න දුරක් පැයකට ආසන්න ගුවන් කාලයක් තුළ අවසන් කළ Ingenuity හෙලිකොප්ටරයේ සැලකිය යුතු තාක්ෂණික දෝෂයක් ඇති වී නොමැත.

Ingenuity පියාසර කිරීම Perseverance ගේ ඇසින්

මේ අතර Perseverance රෝවරය අඟහරු මත ගමන් කිරීමේ වාර්තාවක් පිහිටුවා ඇත. ඒ කිලෝමීටර් 5 ක දුරක් දින 31 ක් තුළ අවසන් කරමිනි. ⁣මේ චාරිකාව අවසානයේ රෝවරය ජෙසරෝ ආවාටය තුළට අතීතයේ ජලය ගෙන ආ ගංගාවේ ඩෙල්ටාව වෙත පැමිණ ඇත. Perseverance රෝවරයේ පූර්වජයා වන Curiosity රෝවරය කිහිපවරක්ම එක් දිනක් තුළ මීටර් 100 පසුකරමින් ගමන් කළ නමුත් මීටර් 200 ක් ගමන් කිරීමට සමත් වුනේ නැත. මෙයට ප්‍රධාන හේතුවක් වූයේ Curiosity රෝවරය ගොඩබැස්ස ප්‍රදේශය ගල් සහිත ප්‍රදේශයක් වීමයි. තියුණු දාරයන් ඇති මේ ගල් නිසා Curiosity රෝවරයේ ඇලුමිනියම් රෝද කැපී, සිදුරු වී ඇත.

Curiosity ගේ හිල් වුණු රෝද

නමුත් Perseverance මෙන්ම ගල් අඩු තැනිතලා බිමකට ගොඩබැස්ස Opportunity රෝවරය සූර්ය බලයෙන් ක්‍රියා කරමින් පවා එක් දිනක් තුළ මීටර් 228 ක් දක්වා ගමන් කිරීමට සමත් විය. න්‍යෂ්ටික බලයෙන් ක්‍රියා කරන Perseverance ගේ වාර්තාව ඇත්තේ දිනකට මීටර් 319.8 කි. Perseverance රෝවරයට මේ තරම් වේගයෙන් ගමන් කළ හැක්කේ එහි අන්තර්ගත වන නවීණ මෘදුකාංග නිසායි. AutoNav නම් මෙම මෘදුකාංගය වසර 20 කට වැඩි කාලයක් පුරා නාසා ආයතනයේ රෝවර්වල ස්වයංක්‍රීය ධාවනය සඳහා සංවර්ධනය කළ මෘදුකාංග මාලාවේ අළුත්ම සංස්කරණයයි.

කලින් රෝවර්වලට වඩා Perseverance රෝවරයේ මෘදුකාංගයට ඇති අළුත් හැකියාව වන්නේ ගමන් කරන අතරම ඉදිරිපස භූමිය අධ්‍යයනය කර ගමන් කිරීමට ආරක්ෂිතම මාර්ගය තෝරා ගැනීමට හැකි වීමයි (Thinking while Driving). කලින් රෝවර්වල එක ස්ථානයක නැවතී ගමන් මාර්ගය තෝරා ගෙන එම මාර්ගය අනුගමනය කරන ලදී. කලින් රෝවර්වල නොතිබුණු අංගයක් ලෙස Perseverance රෝවරයේ Image Processing සඳහාම වෙන් වූ FPGA (Field-Programmable Gate Array) එකක් ඇත. මේ නිසා ප්‍රධාන පරිගණකය Curiosity රෝවරයේ අඩංගු එකම වූවත් එයට සිදු කළ නොහැකි කාර්යයක් Perseverance රෝවරයට කිරීමට හැකි වී තිබේ.

කෙසේ නමුත් මේ කිසිම රෝවරයක් තමන්ට අවශ්‍ය ආකාරයට ස්වයංක්‍රීයව ගමන් කරන්නේ නැත. සෑම දිනකම මෙහෙයුම් පාලක මැදිරියෙන් ඊළඟ දිනයේ ගමන් කළ යුතු දිශාව සහ ඉලක්කයන් රෝවරයට පවසයි. MRO සහ Ingenuity ලබා දෙන ඡායාරූප පරීක්ෂා කර මඟ හැරිය යුතු අනාරක්ෂිත ස්ථාන රෝවරයට පවසන අතර පෘථිවියෙන් ලබා දුන් උපදෙස් අනුව තම මෘදුකාංගය මඟින් ගමන් කළ යුතු මාර්ගය තීරණය කරනු ලබයි.

ඩෙල්ටාව බලා...

ඉතින් මේ වන විට ඉලක්කයට ළඟා වී ඇති Perseverance රෝවරය ඉදිරි මාස කිහිපය තුළ එහි ඇති විද්‍යාත්මක උපකරණ මඟින් වියළී ගිය ඩෙල්ටාවේ පාෂාණ පරීක්ෂා කරනු ඇත. එමෙන්ම මෙම ප්‍රදේශයෙන් ලබා ගන්නා සාම්පල් රෝවරය තුළ ගබඩා කර ගනු ඇත. තවත් වසර කිහිපයකින් නාසා-ඊ⁣සා අඟහරු සාම්පල් ගෙන එන යානා යුගලය අඟහරු බලා පිටත් වනු ඇත.