Loading...
IP Address සහ IP Address වල Classes ගැන දැන ගනිමු

IP ලිපිනයක් එහෙමත් නැතිනම් Internet Protocol ලිපිනයක් යනු පරිගණක ජාලයක භාවිතා කරන විවිධ උපාංග (printers, laptops, routers, switches etc...) එකින් එක හදුනාගැනීම සදහා යොදන සංඛ්‍යාත්මක ලේබලයක් ලෙස හැදින්වීමට හැක.

දැනට IP ලිපින වර්ග දෙකක් භාවිතා වන අතර ඒවා නම්,

  1. IPv4
  2. IPv6

ඉහත වර්ග දෙක අතරින් දැනට වැඩි වශයෙන් භාවිතා වන්නේ 4වන සංස්කරණය වන IPv4 සංස්කරණයයි. කොහොම නමුත් මේ වන විට 6වන සංස්කරණය වන IPv6 සංස්කරණය ලොවපුරා ඇති පරිගණක ජාල සදහා යොදාගනිමින් පවතිනව.

බිටු 32කින් සමන්විත IPv4 සංස්කරණයට අයත් IP ලිපින තිත් දශක අංකනයෙන් ලියනු ලබනවා (dot-decimal notation). මෙම බිටු 32 අෂ්ටක (octet) ලෙස හැදින්වෙන බිට් 8 කොටස් හතරකට බෙදා දක්වනවා.

සෑම IP ලිපිනයකම ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් තිබෙනවා. ඒවා නම්,

  1. Network ID එක සහිත කොටස (Network Address Portion).
  2. Host ID එක සහිත කොටස (Host Address Portion).

Network ලිපිනය සහිත කොටසින් අදාල පරිගණක ජාලය හදුනාගනු ලබන අතර Host ලිපිනය සහිත කොටසින් අදාල පරිගණක ජාලයේ තිබෙන printers, laptops, routers, switches etc... වැනි endpoints හදුනාගනු ලබනවා.

IP Address Structure

Network ID සහ Host ID තේරුම් ගනිමු.

A කියන පාර දෙපැත්තේ 1,2,3,4,5,6,7,8,9,10 ලෙස ලිපින සහිත ගෙවල් 10ක් තිබෙනවා යැයි සිතන්න. මේ ගෙවල් 10යටම යන පාර එක වුනත් එක එක නිවෙස් වලට තිබෙන ලිපිනයන් එකින් එකට වෙනස්. 8 කියන ලිපිනය සහිත නිවසට ලියුමක් ලබා දීමට අවශ්‍ය නම් A කියන පාරේ ගොස් 8 කියන නිවසට ලියුම භාර දිය යුතු වෙනවා. පරිගණක ජාලයක වුනත් සිදුවන්නේ මේ සංසිද්දියමයි. පරිගණක ජාලයක Network ID එක උදාහරණයේ තිබෙන A කියන පාරට සමාන වෙනවා. ඒ වගේම Host ID එක උදාහරණයේ තිබෙන 1,2,3,4,5,6,7,8,9 හෝ 10 කියන නිවාස 10යේ ලිපින වලට සමාන වෙනවා.

යම්කිසි පරිගණක ජාලයක IP ලිපිනයේ Network ID එක නොවෙනස්වන අතර Host ID එක සැමවිටම වෙනස්වේ.

Host vs Network Address analogy

මෙසේ අප භාවිතා කරන IP ලිපින සියල්ලම අන්තර්ජාතික සම්මතයකට අනුව classes 5කට බෙදා වෙනකර තිබෙනවා. මෙය Address Classes/Classful Networks ලෙස හදුන්වන අතර 1993 වර්ෂයේ CIDR එහෙමත් නැතිනම් Classless Inter-Domain Routing සංකල්පය හදුන්වා දීමට පෙර 1981 සිට භාවිතා කොට තිබෙන්නේ මෙම Address Classes/Classful Networks සංකල්පයයි.

මෙසේ IP ලිපින බෙදා දක්වා ඇති classes 5 වන්නේ,

  1. Class A
  2. Class B
  3. Class C
  4. Class D
  5. Class E

Class A, Class B සහ Class C යන classes තුන පොදු ඒක විකාශ (unicast) ලිපින සදහා වන අතර Class D යොදා ගැනෙන්නේ බහුවිකාශ (multicast) ලිපින සදහාය. අවසාන class එක වන Class E අනාගතයේ භාවිතය සදහා හෝ පර්යේෂණාත්මක අරමුණු සදහා යොදා ගැනීමට වෙන් කර ඇත.

මෙම IP ලිපින classes වලට වෙන් කරන්නේ Internet Assigned Numbers Authority (IANA) නැමති ආයතනය විසින්ය.

Class A වලට අදාල IP ලිපින

මෙම IP ලිපින වල පළමු අෂ්ටකයේ පළමු බිටුව සැම විටම 0ට සකසා ඇත.

එම නිසා Class A වලට අදාල IP ලිපින වල පළමු අෂ්ටකය 0 සිට 127 දක්වා පරාසයක පවතී.

නමුත් 127 ආරම්භවන ලිපින loopback ලිපිනය සදහා වෙන් කර ඇති නිසාත් 0 ආරම්භ වන ලිපින default network එක සදහා වෙන් කර ඇති නිසාත් එම අගයන් වලින් ආරම්භ වන ලිපින සාමාන්‍ය භාවිතයේදී යොදා ගැනීමට හැකියාවක් නැහැ. උදාහරණයක් විදිහට ඔබට පරිගණකයක static IP ලිපිනයක් ලෙස 127.0.0.1 ලෙස IP ලිපිනයක් වින්‍යාසගත කළ නොහැක. ඒ වගේම 0.1.1.1 වැනි IP ලිපිනයක් පරිගණකයක static IP ලිපිනයක් ලෙස වින්‍යාසගත කළ නොහැක.

මෙම හේතුව නිසා Class A වලට අදාල IP ලිපින පරාසය 1 සිට 126 දක්වා පරාසයක පවතී.

Class A වලට අදාල IP ලිපින වල පළමු බිටු 8 එහෙමත් නැතිනම් පළමු අෂ්ටකය මගින් Network ID එකද අවසාන බිටු 24 මඟින් Host ID එකද දක්වයි.

Class A Structure

Class B වලට අදාල IP ලිපින

මෙම IP ලිපින වල පළමු අෂ්ටකයේ පළමු සහ දෙවන බිටු දෙක සැම විටම 1 සහ 0 ලෙස සකසා ඇත.

එම නිසා Class B වලට අදාල IP ලිපින වල පළමු අෂ්ටකය 128 සිට 191 දක්වා පරාසයක පවතී.

Class B වලට අදාල IP ලිපින වල පළමු බිටු 16 එහෙමත් නැතිනම් පළමු අෂ්ටක දෙක මගින් Network ID එකද අවසාන බිටු 16 මඟින් Host ID එකද දක්වයි.

Class B Structure

Class C වලට අදාල IP ලිපින

මෙම IP ලිපින වල පළමු අෂ්ටකයේ පළමු බිටු තුන සැම විටම 110 ලෙස සකසා ඇත.

එම නිසා Class C වලට අදාල IP ලිපින වල පළමු අෂ්ටකය 192 සිට 223 දක්වා පරාසයක පවතී.

Class C වලට අදාල IP ලිපින වල පළමු බිටු 24 එහෙමත් නැතිනම් පළමු අෂ්ටක තුන මගින් Network ID එකද අවසාන බිටු 8 මඟින් Host ID එකද දක්වයි.

Class C Structure

Class D වලට අදාල IP ලිපින

මෙම IP ලිපින වල පළමු අෂ්ටකයේ පළමු බිටු හතර සැම විටම 1110 ලෙස සකසා ඇත.

එම නිසා Class D වලට අදාල IP ලිපින වල පළමු අෂ්ටකය 224 සිට 239 දක්වා පරාසයක පවතී.

මෙම IP ලිපින බහුවිකාශ (multicast) ලිපින වන අතර  බහුවිකාශනයේදී Hosts කිහිපයකට එක වර දත්ත සම්ප්‍රේෂණය කරයි. එම නිසා මෙම ලිපින වල Host ID එක උපුටා ගැනීමට අවශ්‍ය නොවේ.

Class E වලට අදාල IP ලිපින

මෙම IP ලිපින පර්යේෂණාත්මක අරමුණු සඳහා වෙන් කර ඇත. මෙම IP ලිපින වල පළමු අෂ්ටකයේ පළමු බිටු හතර සැම විටම 1111 ලෙස සකසා ඇත.

එම නිසා Class E වලට අදාල IP ලිපින වල පළමු අෂ්ටකය 240 සිට 254 දක්වා පරාසයක පවතී.

සාරාංශයක් ලෙස

In Summary

පුද්ගලික IP ලිපින වලට අදාල Classes

RFC1918ට අනුව පුද්ගලික IP ලිපින යනු non-routable IP ලිපින වේ. මේවා අන්තර්ජාල සේවාව සපයන්නන් විසින් block කරන අතර එම නිසා එම ලිපින අන්තර්ජාලය හරහා දත්ත හුවමාරුව සදහා භාවිතා කර නොහැක.

192.168.1.3 වැනි IP ලිපිනක් යොදාගනිමින් androidwedakarayo.com වැනි වෙබ් ලිපිනයකට පිවිසිමට අවශ්‍යනම් පුද්ගලික IP ලිපිනය (192.168.1.3) NAT කිරිමට එහෙමත් නැතිනම් ජාල ලිපින පරිවර්තනයක් සිදු කිරිමට වෙනවා.

IANA විසින් පහත සදහන් IP අවකාශයන් තුන පුද්ගලික IP ලිපින සඳහා වෙන් කර ඇත.

Private IP Address Classes