Loading...
Huawei විසින් එලිදැක්වූ නවතම මෙහෙයුම් පද්ධතිය, HarmonyOS 2 පිලිබඳව ඔබ දැනගත යුතු දෑ

Harmony OS ලෙසින් හැඳින්වෙන මෙම නව මෙහෙයුම් පද්ධතිය මුලින්ම එළිදක්වන ලද්දේ 2019 වසරේ අගෝස්තු මාසයේ දී ය. එහි ප්‍රධාන සංස්කරණය Harmony OS 2.0 නමින් Huawei උපාංග වෙත ලැබෙමින් පවතී. එමෙන්ම මේ වන විට එම නව මෙහෙයුම් පද්ධතිය සමඟ එන උපාංග කීපයක් පිළිබඳව ද Huawei සමාගම විසින්  නිවේදනය කර ඇත.

Huawei වෙත Google සමාගමේ Apps භාවිතා කිරිම වළක්වමින් පනවන ලද සම්බාධක වලින් පසු Huawei සමාගම විසින් ආරම්භ කළ HMS හෙවත් Huawei Mobile Services ලෙස හැඳින්වෙන Google Play Services සඳහා වූ විකල්ප යෙදුම මෙම නව HarmonyOS මෙහෙයුම් පද්ධතියත් සමඟ සම්බන්ධ නමුත් HarmonyOS යනු ඔවුන්ගේ වෙනම ව්‍යාපෘතියකි.

එම HMS ලෙස හඳුන්වන ලද Huawei සමාගමේ Apps මඟින්, Google තහනමෙන් පසු ඔවුන්ගේ Huawei P40/ Mate 40 දුරකථන වල ක්‍රියාකාරිත්වය Google Apps නොමැතිව ඉටු කරගැනීමට පසුගිය කාලයේ උපකාර වන ලදි.

නව HarmonyOS නම් මෙම මෙහෙයුම් පද්ධතිය මුලින් හඳුන්වන ලද්දේ HongMeng යන කේත නාමයෙනි (Codename). විවිධ වර්ගයේ උපාංග වල මෙම මෙහෙයුම් පද්ධතිය යොදා ගැනීමට Huawei සමාගමේ බලාපොරොත්තු විය. මුලින්ම මෙම මෙහෙයුම් පද්ධතිය ඔවුන්ගේ IoT උපාංග (Internet of Things) වන Smart Displays, Smart Home Equipment (ගෘහාශ්‍රිත උපකාරණ) වල භාවිතා විය. අනතුරුව රූපවාහිනී සඳහා මෙම මෙහෙයුම් පද්ධතිය හඳුන්වා දෙන ලදි. දැන් ඔවුන්ගේ සූදානම මෙම මෙහෙයුම් පද්ධතිය ඔවුන්ගේ දුරකථන, ටැබ්ලට් උපාංග, සහ SmartWatch (ස්මාට් ඕරලෝසු) සඳහා හඳුන්වාදීමයි.

පසුගිය වසර කීපය තුළ Huawei සමාගම වෙත එල්ල වූ ඇමරිකානු විරෝධය සහ Android මෙහෙයුම් පද්ධතිය භාවිතය වළකාලීම පිණිස සිදු කරන ලද සියළු සම්බාධක හමුවේ මෙලෙස නොසැලී, නොවැටී සිටීමද එක්තරා ආකාරයේ පුදුමයකි.

HarmonyOS එළිදැක්වීම

HarmonyOS මෙහෙයුම් පද්ධතිය භාවිතා කිරීම සඳහා ඔබගෙන් කිසිදු මුදලක් අය නොවේ. ඔබට එය භාවිතා කිරීම සඳහා අවශ්‍ය වන්නේ එය ස්ථාපනය කළ Huawei උපාංගයක් මිළදී ගැනීමයි.

මේ වන විටත් HarmonyOS සහිත නව උපාංග චීනය තුළදී පමණක් මිලට ගැනීමට තිබේ. මේ වන විට Huawei සමාගම විසින් Huawei MatePad 2021 නමින් සහ Huawei Watch 3 නමින් ටැබ්ලට් උපාංගයක් සහ ස්මාට් ඔරලෝසුවක් එළිදක්වන බව නිවේදනය කර ඇතත්, දුරකථන පිළිබඳව තවමත් සඳහනක් නොමැත.

චීනයේ භාවිතා වන Huawei Mate 40 සහ Huawei P40 මාදිලියේ දුරකථන සඳහා මේ වන විට HarmonyOS සඳහා වන යාවත්කාලීන කිරීම් ලබාදීම අරඹා ඇති නමුත් අනෙකුත් රටවල් සඳහා තවමත් යාවත්කාලීන කිරීමක් සපයා නැත. ඉදිරියේදී එම යාවත්කාලීන කිරීම් ලොව අනෙක් රටවලටද ලබාදීමට නියමිත ය.

Huawei P50, Mate 50 ආදී දුරකථන මාදිලි ද ඇතුළත්ව, ඉදිරියේදී නිකුත් වන සියළුම Huawei උපාංග වල මෙම නව මෙහෙයුම් පද්ධතිය ඇතුළත් වනු ඇතැයි අනුමාන කෙරේ. එමෙන්ම මේ වන විට Android මෙහෙයුම් පද්ධතිය සහිතව භාවිතා වන Huawei උපාංග වලටද නව HarmonyOS මෙහෙයුම් පද්ධතිය ලබාදෙනු ඇත.

HarmonyOS හි ක්‍රියාකාරිත්වය

Huawei සමාගම පවසන ආකාරයට, ඔවුන්ගේ නව මෙහෙයුම් පද්ධතිය Android මෙහෙයුම් පද්ධතියට වඩා කාර්යක්ෂම වන අතර IoT උපාංග සමඟ කාර්යක්ෂම ලෙස ක්‍රියා කිරීමට එසේ නිපදවා ඇතැයි ඔවුන් වැඩිදුරටත් පවසා සිටී. ඔවුන් පවසන පරිදි Android මෙහෙයුම් පද්ධතියේ විධාන පේලි 100ක් යොදාගෙන සිදු කරන ක්‍රියාවක් HarmonyOS හි එක් පේළියකින් සිදු කළ හැකි ය.

එය හැරුණුකොට, Huawei උපාංග සියල්ලම එකම මෙහෙයුම් පද්ධතියකින් බලගැන්වෙන විට ඒවා අතර හොඳ සබඳතාවක් පවත්වාගත හැකිය. එය single kernel across devices approach ලෙස හඳුවනු ලබයි. එනම් එකිනෙක සම්බන්ධ වන උපාංග වල ධාවනය වන්නේ සමාන කර්නලයක් වන විට ඒවා අතර ඉතා ශක්තිමත් සහ ස්ථාවර සම්බන්ධයක් ගොඩනඟා ගැනීමයි. එමෙන්ම එම ප්‍රතිපත්තිය හේතුවෙන් Apps නිපවදන්නන් හට පහසුවෙන් ඔවුන්ගේ ඕනෑම උපාංගයක ධාවනය වන ලෙස Apps නිපදවිය හැකිවේ. උදාහරණයක් ලෙස, දුරකථන සඳහා නිපදවන App එකක් ඉතා කුඩා වෙනස්කම් කීපයක් සිදු කර Smartwatch සඳහාද භාවිතා කළ හැකි වේ.

මෙවැනි ආකාරයේ තාක්ෂණයක් Windows Phone සඳහාද භාවිතා වුවත් එය සාර්ථක නොවුණි. නමුත් ඔවුන් සිදු නොකළ ආකාරයේ විශේෂත්වයක් HarmonyOS තුළ ඇත. එය නම්, HarmonyOS හි Android Apps ද ඉන්ස්ටෝල් කළ හැකි වීමයි.

ඒ හැරුණු කොට, HarmonyOS වල හැඩ රුව EMUI 12 හි ස්වරූපයම ගන්නා අතර, Service Widgets ආදී නව යෙදුම් ද එකතු කර ඇත. ඒවා මඟින් උපාංගය Customize කිරීම (තමන්ගේ පෞද්ගලික කැමැත්ත අනුව දුරකථනයේ පෙනුම සකසා ගැනීම) සඳහා පහසුකම් සපයා ඇත.

HarmonyOS මෙහෙයුම් පද්ධතිය මුලින් හඳුන්වා දෙන ලද්දේ TV සඳහා ය. HarmonyOS සහිත TV එකක් වෙත ඔබ දුරකථනයෙන් ලබා ගන්නා වීඩියෝ ඇමතුමක් හුවමාරු කළ හැකි වූ අතර ඔබ ඇමතුම ලබා ගනිමින් ඔබේ නිවස තුළ කාමරයෙන් කාමරය කරා ගමන් කරන විට අදාළ කාමරයේ ඇති ස්පීකර් වෙතට ස්වයංක්‍රීයව ඇමතුම හුවමාරු වෙමින් ශබ්දය ඔබ පසුපස පැමිණෙන ලෙස ක්‍රියාත්මක වීමට හැකියාව තිබුණි.

HarmonyOS 2.0 හි ඇති නව Control Panel හි මෙම පහසුකම සපයා ඇති අතර, ඔබට අවශ්‍ය උපාංගයක් වෙතට ඔබට අවශ්‍ය දේ පෙන්වීමට හෝ ඇසීමට සැලැස්විය හැකි ය. උදාහරණයක් ලෙස ඔබ දුරකථනයෙන් නරඹන යමක් TV එකෙහි පෙන්වීමට අවශ්‍ය නම් ඔබ සිදු කළ යුත්තේ අයිකන් එකක් Drag and Drop කිරීම පමණි.

ඒ සමඟම, Task Center නමින් තවත් නව යෙදුමක් හඳුන්වාදී ඇති අතර මෙම යෙදුම හරහා විවිධ උපාංග වෙත Apps share කර භාවිතා කළ හැකිය. මෙහි වාසිය වන්නේ අදාළ ඇප් එක, එක් උපාංගයක පමණක් ස්ථාපනය කිරීම ප්‍රමාණවත් වීමයි. උදාහරණයක් ලෙස, ඔබ දුරකථනයේ ක්‍රීඩා කරන Game එකක්, ඔබේ HarmonyOS සහිත Tab එකේද ක්‍රීඩා කළ හැකි අතර, Tab එක සඳහා අලුතින් අදාළ Game එක install කළ යුතු නැත.

HarmonyOS මෙහෙයුම් පද්ධතිය ඔරලෝසු, ස්පීකර්ස්, මෝටර් රථ පද්ධති ආදිය සඳහාද හඳුන්වාදීමට නියමිත අතර වැදගත්ම කරුණ වන්නේ මෙම මෙහෙයුම් පද්ධතිය විවෘත කේත නොහොත් Open Source ආකාරයේ මෙහෙයුම් පද්ධතියක් වීමයි. මෙම හේතුව නිසා ලොව පුරා සිටින ඕනෑම මෘදුකාංග නිර්මාණ ශිල්පියෙකුට HarmonyOS හි වැඩි දියුණු කිරීම් සිදු කළ හැකි වේ.

මෙම මෙහෙයුම් පද්ධතිය Open Source ආකාරයේ මෙහෙයුම් පද්ධතියක් වීම හේතුවෙන් මෙම මෙහෙයුම් පද්ධතිය අවශ්‍ය ඕනෑම උපාංග නිපදවන සමාගමකට නොමිලේ ලබාගෙන ඔවුන්ගේ උපාංග වලටද ස්ථාපනය කළ හැකි ය. උදාහරණයක් ලෙස Samsung සමාගමට වුවත් අවශ්‍ය නම් HarmonyOS භාවිතා වන දුරකථන නිපදවිය හැක.

එමෙන්ම Huawei සමාගම පවසන ආකාරයට, HarmonyOS හි වේගවත් බව වැඩිදියුණු කර ඇති අතර එමෙන්ම බැටරි බලය ද ඉතිරි කරයි. නමුත් තවමත් මේවා පරීක්ෂා කර බැලීමට සෙසු ලෝකයාට අවස්ථාව හිමිව නැත.

ප්‍රසිද්ධ තාක්ෂණික උපදේශණ සේවා සපයන ආයතනයක් වන CSS Insight හි ප්‍රධාන විශ්ලේෂක වන Ben Wood විසින් HarmonyOS පිළිබඳව, TechRadar අඩවිය වෙත අදහස් දක්වා ඇත්තේ මෙසේ ය

"Huawei සමාගමේ නිවේදන වලින් පේනී යන්නෙ ඔවුන්ට අවශ්‍ය ඔවුන්ගේ දුරකථන වලට තිබෙන මහජන විශ්වාසය, ඔවුන්ගේ අනික් නිෂ්පාදන වලට ලබා ගන්නයි. එවිට ඔවුන් මේ වන විට මුහුණ පා සිටින 5G chips ලබා ගැනීමේ අවහිරතා වලට විසඳුම් ලැබෙනවා. මොකද, Tablets, Smart Speakers, Headphones, Smartwatch ආදී සිරුරේ පළඳින උපකරණ, TV වගේ අනික් උපාංග වල 5G Chips භාවිතා වෙන්නෙ නැහැ. ඒවායේ භාවිතා වෙන්නේ WiFi වගේ තාක්ෂණයන් විතරයි.

HarmonyOS මඟින් සැපයීමට බලාපොරොත්තු වෙන්නෙ ඔවුන්ගේ විවිධ උපාංග අතර හොඳ සම්බන්ධයක් පවත්වාගැනීම. මේ දේ Apple වලත් තිබෙනවා. Apple වලත් සිදු වෙන්නෙ එක මෘදුකාංග ප්ලැට්ෆෝම් එකක් මත ක්‍රියාත්මක වෙන විවිධ උපාංග හඳුන්වාදීමයි. එවිට එම Ecosystem එක තුළ ක්‍රියාත්මක වන උපාංග මිළදීගන්න පාරිභෝගිකයන් යොමු වෙනවා."


ඇමරිකාවෙන් ඇතිවූ සම්බාධක පීඩනය හේතුවෙන් බිහි වීමට නියමිත නව Huawei Ecosystem එක කෙසේ වීවිද? Apple තරමටම මහජනයා අතරට යාමට ඔවුන් හට හැකි වේවිද? අප බලා සිටිමු!

Source: techradar.com