Loading...
HarmonyOS වලින් බලගැන්වෙන ස්වයංක්‍රීයව ධාවනය වන මෝටර් රථ නිෂ්පාදනයට Huawei සූදානම් වේ

මීට පෙර වාර්තාවකින් අපි විසින් ඔබ වෙත ගෙන ආවේ Huawei සමාගම විසින් ඩොලර් 46,000ක වටිනාකමකින් යුතු නිෂ්පාදනයක් සිදුකිරීමට සූදානම් වන අතර එය බොහෝ දුරට මෝටර් රථයක් විය හැකි බවයි. එම වාර්තාව ඇත්ත කරමින් Huawei සමාගම විසින් 100%ක්ම  රියැදුරන් රහිතව ධාවනය කල හැකි මෝටර් රථයක් නිපදවීම පිලිබඳව හෙලි කර තිබෙනවා.

පසුගිය දිනක චීනයේ පැවැත්වූ 13 වෙනි "Automotive Blue Book" සංසදයේදී Huawei සමාගමේ Smart Car Solutions හි ප්‍රධානී Wang Jun මහතා විශේෂ දේශණයක් පවත්වමින් සඳහන් කර ඇත්තේ Huawei සමාගම මේ වන විට ස්වයංක්‍රීයව රිය පැදවීම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරමින් සිටින බවයි. එමෙන්ම 2025 වසර වන විට සැබැවින්ම රියදුරු රහිත මගී මෝටර් රථ නිර්මාණය ඔවුන්ගේ අරමුණ බවත් ඔහු සඳහන් කළා.

තවදුරටත් Wang මහතා ප්‍රකාශ කර සිටියේ නිෂ්පාදනය කිරීමට නියමිත මෙම මෝටර් රථයේ වර්තමාන තත්ත්වය තවමත් වෙනස් කර නොමැති බවත් එහි ඇතුළත් එතරම් ඉඩ ප්‍රමාණයක් නොමැති බවත්ය. ඒ අනූව මොවුන්ගේ පළමු ගැටලුව සහ ප්‍රමුඛතාව වන්නේ වෙනසක් සිදු කිරීම සමගින් මෝටර් රථයක් Smart Space එකක් ලෙස භාවිතා කරන්නේ කෙසේද යන්නයි.

Wang Jun නව මෝටර් රථ සැලැස්ම එළි දක්වමින්. Image: Huawei Central.

මෙයට අමතරව සැබෑම Smart මෝටර් රථයක් සෑදීමට සහ ස්වයංක්‍රීය ධාවන අත්දැකීමක් ලබාගැනීම සඳහා උපකාරී වන විවිධ Applications සමගින් මෝටර් රථය තුළ Smart අවකාශයක් තැනීම සමාගමෙහි අරමුණ බව Wang සඳහන් කර තිබේ.

මොහු තවදුරටත් අදහස් දක්වමින් ප්‍රකාෂ කර ඇත්තේ Smart මෝටර් රථ සඳහා Application Ecosystem එකක් නිර්මාණය කිරීම සහ Cockpit System එකෙහි නව අනුවාදයක් නිර්මාණය කිරීම ඉතා වැදගත් බවයි.

Harmony OS එක මත පදනම් වූ car information system එකක්. Image: Huawei Central

නිකුත් වන තොරතුරු අනූව Huawei Smart Car සහ Cockpit බලගැන්වෙනු ලබන්නේ HarmonyOS මගිනි. එමෙන්ම එය පාරිභෝගිකයින්ට නව ආකාරයේ අත්දැකීමක් ලබා ගැනීමට උපකාරී වනු ඇත. අනාගතයෙහි නිර්මාණය වන Smart Car Solutions සඳහා HarmonyOS යොදාගන්නා බව Wang මෙහිදී අවධාරණය කළේය.

ඒ අනූව Huawei සමාගම Smart Car ක්‍ෂේත්‍රය තුළ ශක්තිමත්ව සිටින බවත් බොහෝ මෝටර් රථ නිෂ්පාදකයින් හා එක්වෙමින් ඔවුන්ගේ Smart Car Solutions අලෙවි කරමින් සහයෝගීතාවක් ගොඩනගාගන්නා බව අපට තහවුරු කරගත හැකිය.

HUAWEI SERES SF5

Huawei SF5 මෝටර් රථය. Image: Huawei

Smart මෝටර් රථ ක්‍ෂේත්‍රයේ සාර්ථකත්වයක් අත්කර ගැනීම සනිටුහන් කරමින් Huawei SERES SF5 Smart මෝටර් රථය මේ වන විට ඇණවුම් 10,000 කට අධික ප්‍රමාණයක් ලබා ගෙන ඇති අතර එය විශාල පිම්මකි. එමෙන්ම එම ඇණවුම් 10,000 න් ඇණවුම් 6,500 පමණ බොහොම ඉක්මනින් ලබාදීමට කටයුතු සූදානම් කර ඇත.

එම මෝටර් රථය SERES ආයතනය සහ Huawei එක්ව නිර්මාණය කර ඇති අතර Huawei DriveONE, HiCar, Huawei Sound System, පාලන ක්‍රම ඇතුලු Huawei තාක්ෂණයන් රැසක් මෙහි ඇතුළත්ය.

තවද Huawei Smart Car තාක්‍ෂණයෙන් සාදන ලද මෝටර් රථ අලෙවිය ගැන දැනුවත් කිරීමට සහ සමාගමෙහි නිෂ්පාදනයන් තවදුරටත් පාරිභෝගික‍යින් අතරට ගෙන යෑමට ජුලි මස අවසානයේ චීනය වටා Huawei Experience Store 200 ක් විවෘත කිරීමට Huawei සමාගම සැලසුම් කර ඇත.

Source: Huawei Central