Loading...
WhatsApp beta වෙත වර්ණ මාරු කිරීමේ විශේෂාංගය​ක්

අපි වැඩියෙන්ම භාවිතා කරන instant messaging app එක විදිහට WhatsApp හදුන්වන්න පුළුවන්. Telegram වලට සාපේක්ෂව WhatsApp කියන්නේ සරල සහ භාවිතාවට පහසු app එකක් විදිහට පරිශීලකයන් හදුන්වනවා. කාලයක් පුරාවට WhatsApp සඳහා නව විශේෂාංග සහ පහසුකම් ලබාදී​ම සිදු කෙරුනේ ඉතාමත් සෙමින් සහ පරිශීලකයන්ට දැනෙන ආකාරයේ විශාල වෙනස්කම් නොලැබුනේම නැති තරම්.

නමුත් මෑත කාලයේදී Meta සමාගම තුල සිදු කෙරුණු වෙනස්කම් සමඟින් WhatsApp සඳහා විශාල වෙනස්කම් රැසක් සිදු කරමින් නව විශේෂාංග සහ පහසුකම් රැසක් හදුන්වාදීමට Meta සමාගම කටයුතු කරනු ලැබුවා. මේ අතුරින් බොහොමයක් Telegram සතුව පවතින විශේෂාංග සහ පහසුකම් රැසක් වනවා. කාලයක් පුරාවට කිසිම තරඟකරුවෙකු නොමැතිව හිතුවක්කාරව වැජඹුණු WhatsApp වෙත තරඟකරුවෙකුගේ අවදානම බෙහෙවින් දැනෙන්නට ගත්තේ Telegramහි ඇති වූ සීග්‍ර වර්ධනයත් සහ වේගවත් නව පහසුකම් රැසක් හදුන්වාදීමත් සමඟයි.​‍

නවතම WhatsApp beta සංස්කරණයත් සමඟින් WhatsApp වෙත chat theme පහසුකම එලිදක්වා තිබෙනවා බවට WABetaInfo වෙබ් අඩවිය වාර්තා කරනවා. මේ වන විටත් WhatsApp Beta for iOS සඳහා මේ පහසුමක හදුන්වාදී තිබෙනවා. මේ හරහා WhatsAppහි chat bubble සහ wallpaper වල වර්ණයන් customize කිරීමේ හැකියාව පරිශීලකයන්ට හිමිවනු ඇත. නමුත් මෙය කොළ, සුදු, නිල්, රෝස සහ දම් ලෙසින් වර්ණයන් පහකට පමණක් සීමා වනවා.

මීට අමතරව WhatsAppහි accent color එක වෙනස් කල හැකි පහසුකමක් පිළිබඳවද වාර්තා වන අතර ඒ හරහා in-app button වල වර්ණය වෙනස් කිරීමේ හැකියාවද හිමිවනවා. මෙය තවමත් Android WhatsApp beta පරිශීලකයන් වෙත නිකුත් කර නැති අතර තවමත් සංවර්ධක අවධියේ පවතින මේ පහසුකම සියළුම පරිශීලකයන් වෙත නිකුත් කරන දිනයක් පිලිබඳව තවම සඳහනක් නැහැ.

Source: wabetainfo.com