මීට පෙර කිහිප වතාවකදීම අප විසින් ඔබ වෙත WhatsApp යෙදුම වෙත ලබා දෙන නව විශේෂාංග පිලිබඳව තොරතුරු රැගෙන ආ අතර, පෙර වාර්තාවකින් අප විසින් ඔබ වෙත වාර්තා කරනු ලැබුවේ WhatsApp beta සංස්කරණය භාවිතා කරන පරිශීලකයන් වෙත Meta සමාගම විසින් WhatsApp යෙදුම හරහා යවනු ලැබූ පණිවුඩයක් සංස්කරණය (edit) කිරීමේ පහසුකම ලබා දුන් බවයි.

WhatsApp සඳහා මෙම පහසුකම එකතු කිරීමට පෙර කිසිම අවස්ථාවකදී යැවූ පණිවුඩයක වැරැද්දක් නිවැරදි කිරීම සඳහා සංස්කරණය කිරීමේ පහසුකම නොතිබූ අතර, කල හැකිව තිබූ එකම දේ වූයේ එම පණිවුඩය මුලුමනින්ම මකා දමා නිවැරදි පණිවුඩය නැවත යොමු කිරීම පමණි.
මෙම අපහසුතාවයට තිත තබමින් Meta සමාගම විසින් මේ වන විට සියළුම WhatsApp පරිශීලකයන් වෙත පණිවුඩ සංස්කරණය කිරීමේ විශේෂාංගය ලබා දීමට කටයුතු කර තිබෙනවා. මේ සඳහා පණිවුඩයක් යවා විනාඩි 15ක කාලය තුලදී අදාල පණිවුඩය සංස්කරණය කිරීම සිදු කල යුතු වන අතර ඉන්පසුව එම පණිවුඩය සංස්කරණය කිරීමේ හැකියාව පණිවුඩය යැවූ කෙනාට අහිමි වී යනවා.
යැවූ පණිවුඩයක් සංස්කරණය කිරීමට නම්, ඒ මත long-press කර ඒ හරහා පැමිණෙන මෙනුවෙන් Edit යන්න තෝරා ගැනීම හරහා පණිවුඩය සංස්කරණය කිරීම සිදු කල හැකි වනවා. පණිවුඩයක සංස්කරණය කිරීමෙන් පසුව, එය සංස්කරණය කරන ලද්දක් බවට දක්වමින් පණිවුඩයට යටින් Edited නමින් කුඩාවට දැක්වෙන අතර ඒ හරහා අනෙකුත් පරිශීලකයන්ට එම පණිවුඩය සංස්කරණය කරන ලද්දක් බව දන්වා සිටිනු ලබනවා.
මේ වන විට ලොව පුරා සිටින WhatsApp පරිශීලකයන්ට මෙම පහසුකම ලබා දීමට Meta සමාගම කටයුතු කර ඇති අතර, එය ක්‍රමක්‍රමයෙන් පරිශීලකයන් වෙත මෙම සති දෙක අතරතුරදී සියළුම පරිශීලකයන් වෙත මෙය ලැබෙනු ඇතැයි ඊයේ දිනයේදී (22 මැයි 2023) Meta සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටිනවා.
Sources: blog.whatsapp.com www.cnet.com www.socialmediatoday.com