Loading...
Facebook පරිශීලකයන් මිලියන 533කගේ පෞද්ගලික තොරතුරු රැසක් හැකර්වරයෙකු විසින් අන්තර්ජාලයට නිරාවරණය කරයි

පසුගිය දිනයේදී, එනම් අප්‍රේල් 3 වෙනිදා හැකර් කෙනෙකු විසින් Facebook සමාගමේ දත්ත ගබඩා වලට ඇතුළු වී පරිශීලකයන්ගේ පෞද්ගලික දත්ත අන්තර්ජාලය හරහා නොමිලේ බෙදා හැර ඇත. මේ ආකාරයට ඔහු විසින් අනවසරයෙන් ඇතුළු වී බෙදා හරින ලද දත්තයන්ගෙන් රටවල් 106ක Facebook වෙබ් අඩවියේ මිලියන 533කට අධික පරිශීලකයන්ගේ දත්ත ඇතුලත් වී ඇත.

ඉහත කී හැකර්වරයා විසින් මේ ආකාරයට ප්‍රසිද්ධ කරන ලද Facebook පරිශීලකයන්ගේ දත්ත භවිතා කරමින් විවිධ අපරාධකරුවන්ට ඔවුන් මෙන් පෙනී සිටීමේ හැකියාව හිමිවන අතර මේ දත්තයන් මේ ආකාරයට පලකිරීම පිළිබඳව මුලින්ම හෙලිකර ඇත්තේ සයිබර් අපරාධ බුද්ධි අංශයේ ප්‍රධානී Alon Gal විසිනි. ඔහු විසින් ප්‍රකාශ කර ඇත්තේ Facebook වැනි සමාගමක් මීටත් වඩා තම පරිශීලකයනෙගේ දත්තයන් සහ පෞද්ගලිකත්වය පිලිබඳව සැලකිලිමත් වීම සිදු කල යුතු බවයි.

මේ ආකාරයට ප්‍රසිද්ධියට පත් දත්තයන් අතර මෙහි බලපෑමට ලක්වූ Facebook පරිශීලකයන්ගේ දුරකතන අංකයන්, සම්පූර්ණ නම, උපන්දිනය, විද්‍යුත් තැපෑල් ලිපිනය, උපන් ස්ථානය, Facebook ID සහ අනෙකුත් ජීව දත්තයන් අඩංගු වී ඇත. මේ සතුව ඇමරිකා එක්සත් ජනපදයේ මිලියන 32ක පරිශීකයන්ගේ දත්තයන්ද, ඉන්දියාවේ මිලියන 6ක පරිශීලකයන්ගේ දත්තයන්ද, එක්සත් රාජධානියේ මිලියන 11ක පරිශීලකයන්ගේ දත්තයන්ද ඇතුලත් වී ඇත.

Facebook සමාගමට තම පරිශීලකයන්ගේ පෞද්ගලික දත්ත සම්බන්ධයෙන් ඇත්තේ අමිහිරි අත්දැකීමක් වන අතර, අවස්ථා කිහිපයකදීම ඔවුන් විසින් තම පරිශීලකයන්ගේ දත්තයන් අපහරණය කිරීම සිදු කර ඇත. ඒ පිළිබඳව අප විසින් Facebook විසින් පෞද්ගලික දත්ත අපහරණය කල ප්‍රධාන අවස්ථා නමින් ලිපියක්ද ඔබ වෙතට ගෙන ආවෙමු.

මේ වන විට මෙම දත්තයන් අදාල හැකර්වරයා විසින් forum එකකට මුදා හැර ඇති අතර ඒ සියළුම දත්තයන් හට ලොව ඕනෑම අයෙකුට මේ වන විට ප්‍රවිෂ්ඨ වීමේ හැකියාව ලැබී ඇත.

මේ පිලිබඳව Facebook සමාගමේ ප්‍රකාශකවරයෙකු විසින් සඳහන් කර ඇත්තේ 2019දී ඔවුන් විසින් Facebook වෙත කරන ලද update එකකදී මේ සඳහා වන අනාරක්ෂිත පිවිසුම නිර්මාණය වී ඇති බවයි.

Sources: Insider, DailyMail