Loading...
නත්තල් තරුව හෙවත් සෙනසුරුගේ සහ බ්‍රහස්පතිගේ මහා හමුවීමේ සම්පූර්ණ කතාව
මෙම ලිපිය කොළඹ නාලන්දා විද්‍යාලීය තාරකා විද්‍යා සංගමයේ සාමාජික එශාන් ගෝනදූව සොයුරා විසින් ලියැවුණකි.

ජීවිතේ ඔබට වැඩි පුරම දේවල් මඟහැරුණ වසර කුමක්ද කියලා ඔබෙන් ඇසුවොත් අවිවාදයෙන්ම ඔබගේ පිළිතුර 2020. නමුත් තාරකා විද්‍යාව ගැන සුළුයම් හෝ ඇල්මක් දක්වන සියලුම දෙනාට දෙසැම්බර් අහස ලස්සන බලාපොරොත්තුවක් ලබා දීලා තියෙනවා. වසර සිය ගණනකට පසුව නත්තල් තරුව 2020 දෙසැම්බර් අහසේ දිස් වෙනවා.

මොකද්ද මේ නත්තල් තරුව. තරුවක් කියලා කටවහරට කිව්වට ඇත්තටම මේ තරුවක් නෙමේ. ග්‍රහලෝක සං‍යෝජනයක් (conjunction). මාස ගණනක් තිස්සේ ටිකෙන් ටික ආසන්නයට පැමිණි සෞරග්‍රහ මණ්ඩලයේ වායුමය යෝධයන් දෙපළ, බ්‍රහස්පති සහ සෙනසුරු අද දවසේ එනම් 2020.12.21 දා 0.1° ක් තරම් ආසන්නයෙන් දිස්වෙනවා. 2020 වසරේ වැදගත්ම ග්‍රහවස්තු සුසං‍යෝජනය වන මෙය ලෝකය පුරා සියළුම දෙනාට දැක බලාගන්න පුළුවන්. අද රාත්‍රී අහසේ මේ දුර්ලභ සංසිද්ධිය නැරඹීමට පෙර ඔබ සියළුම දෙනා අනිවාර්‍යෙන් මේ ලිපිය කියවිය යුතු වනවා.

ඇත්තටම බ්‍රහස්පති සහ සෙනසුරු එකිනෙකට ළං වෙනවාද?

නැහැ. Conjunction එකක් කියලා කියන්නෙ ඇත්තටම ග්‍රහලෝක දෙකක් භෞතිකව එකිනෙකට ආසන්න වීමක් නොවේ. පෘථිවියේ සිට නරඹන්නෙකුගෙ දෘෂ්‍ය පථයේ එක් සෘජු රේඛාවක තවත් ග්‍රහලෝක දෙකක් හෝ කිහිපයක් පිහිටීම conjunction එකක් ලෙස හඳුන්වනවා.

සැබැවින්ම මේ දවසෙ බ්‍රහස්පති ග්‍රහයාට පෘථිවියේ සිට ඇති දුරට සාපේක්ශව දෙගුණයක දුරින් සෙනසුරු පිහිටලා තියෙන්නෙ. පිහිටීම ගැන කතා කරද්දි, 2020 සිසිර සූර්‍ය නිවෘතිය (Winter solstice - උතුරු අර්ධගෝලයේ රටවල් සඳහා කෙටිම දිවා ආලෝකය සහිත දිනය) සිදුවන්නට නියමිතව තියෙන්නෙත් මේ දෙසැම්බර් 21 දාම තමයි.

කෙසේ වෙතත් පෘථිවියේ සිට නරඹන්නෙකුගෙ දෘෂ්ටි රේඛාවේ බ්‍රහස්පති සහ සෙනසුරු මුළුමුනින්ම පාහේ එක කෙළින් පිහිටීම නිසා මේ ග්‍රහලෝක දෙක එකිනෙකට ළං වෙනවා වගේ දිස්වීම තමයි අද දවසේ ඇත්තටම සිදුවෙන්නෙ. මේ සමඟ ඇති රූප සටහන් මඟින් මේ කරුණ තව දුරටත් ඔබට පැහැදිලි වෙයි. සෑම වසර 20 කටම වරක් මේ වගේ බ්‍රහස්පති සහ සෙනසුරු conjunction එකක් සිද්ධ වෙනවා. මේ සංසිද්ධිය අපි great conjunction එකක් විදිහට හඳුන්වනවා. අවසන් වරට great conjunction එකක් දිස්වූයේ 2000 වසරේ මැයි 28 දා.

නමුත් මේ සිදුවීම ඒ වසරෙදි අපට බලාගන්න පුළුවන්කමක් ලැබුණෙ නෑ. ඒකට හේතුව එදින මේ ග්‍රහ වස්තු දෙක අපගේ දෘෂ්‍ය පථයේ සූර්‍යයාගේ සිට 14.9° ක් තරම් ආසන්නයෙන් බටහිර දිශාවට වන්නට පිහිටා තිබීම. මේ නිසා බ්‍රහස්පති සහ සෙනසුරු සූර්යයාගේ ආලෝකයට සැඟවී යාමෙන් ඒ දුර්ලභ අවස්තාව දැකගැනීමට අපට හැකි වුනේ නැහැ.

වසර 20කට වරක් මෙලෙස සිදුවන සංයෝජනයන් දෙකක් ගත් විට ඔවුන්ගේ කක්ෂයෙන් තුනෙන් 2ක පමණ පරතරයක් ඇති පිහිටීම් වලදී සිදුවේ

2020 great conjunction එක මෙතරම් සුවිශේෂී වන්නෙ ඇයි?

හේතු කිහිපයකින්ම මෙය සුවිශේෂී වෙනවා. වසර 20 කට වරක් මේ ග්‍රහලෝක ආසන්නයෙන් දිස් වුවත් මේ වසරේ බ්‍රහස්පති සහ සෙනසුරු 0.1° ක් තරම් ආසන්නයෙන් දිස් වෙනවා. මේ තරම් ආසන්නයෙන් අවසන් වරට මේ ග්‍රහලෝක දෙක දිස් වූයේ 1623 ජූලි 16 වන දිනදි. නමුත් එදිනද මෙම ග්‍රහලෝක දෙක සූර්‍යයාට 13° නැගෙනහිරින් තරම් ආසන්නව දිස්වීම නිසා දැකගැනීමට නොහැකි වෙනවා. (ඒ වන විට දුරේක්ෂයද සොයාගෙන තිබුණු නමුත් ගැලිලියෝ පවා එය නිරීක්ශණය කළ බවට සාක්ෂි හමු නොවේ).

අවසන් වරට නිරීක්ෂණය කළහැකි මට්ටමේ great conjunction එකක් අද තරම්ම ආසන්නයෙන් දිස්වෙලා තියෙන්නෙ 1226 මාර්තු 4. 1961 පෙබරවාරි 19 දින අද තරම් නොවුණද, සැලකිය යුතු තරම් ආසන්නයෙන් සූර්යයාට 34.9° ක් බටහිරින් ග්‍රහලෝක දෙක පිහිටලා තිබුණා. මේ වසරේ සිසිර සූර්‍ය නිවෘතියත් මෙදාටම යෙදිලා තියෙන නිසා ලෝකය පුරාම ජීවත්වන මිනිසුන්ට හොඳින් මේ සංසිද්ධිය නිරීක්ෂණය කරන්න හොඳ පසුබිමක් මෙන්ම කාලයත් ලැබෙනවා. මේ කාරණා සියල්ලක්ම නිසා ජීවිත කාලයටම එක් වරක් දැකගන්න ලැබෙන සංසිද්ධියකටත් වඩා මේ සිදුවීම වැදගත් වෙනවා.

Great conjunction එකක් සිදුවන්නේ කෙසේද?

නිවැරදිවම කිව්වොත් සෑම පෘථිවි වර්ෂ 19.85 කටම වරක් බ්‍රහස්පති සහ සෙනසුරු මේ විදිහේ සංජෝජනයක පිහිටනවා. සූර්යයා වටා එක් වටයක් පරිභ්‍රමණය වීමට බ්‍රහස්පතිට වසර 11.86 ක් ගතවන අතර සෙනසුරුට වසර 29.4 ක් ගත වන නිසා සෑම වසර 19.85 කට වරක් මේ විදිහට රාත්‍රී අහසේ එකිනෙකා පසුකර යන බවක් දිස්වෙනවා. ‘මහා සංයෝජනයක’ දි අපි ඇත්තටම නිරීක්ෂණය කරන්නෙ රාත්‍රී අහසේ මන්දගාමීව ගමන් කරන සෙනසුරු, වේගවත්ව ගමන් කරන බ්‍රහස්පති ග්‍රහයා විසින් පසු කරගෙන යාම ආරම්භ කරන අවස්තාව.

සෑම අනුක්‍රමික මහා සංයෝජන දෙකක්ම රාත්‍රී අහසේ පිහිටන ස්ථානය ගත් විට 117° ක පමණ වෙනසක් පවතිනවා, ඒ වගේම ග්‍රහලෝකවල කක්ෂීය අනුනාදය(orbital resonance) ද අනුව ගත් කල දළ වශයෙන් සෑම වසර 800 කට වරක්ම අහසේ එකම ස්ථානයකදී දිස් වෙනවා.ඇත්ත වශයෙන්ම, 2020 දෙසැම්බර් 21 වන දින සිදුවීමට සමාන සමානකමක් සිදුවී ඇත්තේ මීට වසර 796 කට පෙර. මේ දෙසැම්බරයේ තරම් පහසුවෙන් දැකගත හැකි ‘මහා සංයෝජනයක්’ සිදු වූ අවසන් අවස්ථාව තමයි ඒ.

මේ conjunction එක නැරඹීමට සුදුසුම වෙලාව කුමක්ද?

2020 දෙසැම්බර් 21 වන සඳුදා ලංකාවෙ වේලාවෙන් රාත්‍රී 7 ට බ්‍රහස්පති සහ සෙනසුරුගෙ පිහිටීම් අතර වෙනස කලා 6ක අවමයකින් දිස් වෙනවා. ඉතිං වාසනාවකට මේ වෙලාවෙදි ලංකාවෙ අපිට මේ සසිද්ධිය රාත්‍රී අහසේ දිස් වෙනවා. නමුත් රාත්‍රී 7 වන විට බටහිර ක්ෂීතිජයේ 15°ක් පමණ ඉහළින් තමා මේ ග්‍ර්හලෝක දෙක පිහිටන්නෙ.

ඒ නිසා මේ අවස්තාව නිවැරදිම වෙලාවට බලනවනම් ඔබ ක්ෂිතිජය තෙක්ම පැහැදිලි අහසක් ඇති ප්‍රදේශයක සිටිය යුතුයි. කෙසේ නමුත් හිරු බැස යාමත් සමඟම බටහිර ක්ෂිතිජයේ තරමක් නිරිත දෙසට වන්න 25°ක් පමණ ඉහළින් අපිට මේ සංයෝජනය බලාගන්න පුළුවන් වෙනවා.  මේ දිනවල රෑ අහස දෙස බැලූ පමණින්ම මේ ග්‍රහලෝක දෙක හොඳින් හඳුනාගන්න පුලුවන්කම තියෙනවා.

Conjunction එක නිරීක්ෂණය කරන්නෙ කොහොමද?

මේ “මහා සං‍යෝජනය” සිදුවන්නේ මකර රාශියේ මායිම් තුළ පමණක් වන අතර මේ වන විට පුර අටවක චන්ද්‍රයා දකුණු අහසේ ඉහළින් පිහිටනවා. පියවි ඇසට බැලූ බැල්මට මේ ග්‍රහලෝක දෙකම එකක් ලෙස පෙනෙන බැවින් මෙම ආචරණය Double Planet Effect ලෙසත් හඳුන්වනවා. කෙසේ නමුත් දුරදක්නයක් තුළින් මේ ග්‍රහලෝක දෙක වෙන්කර හඳුනාගන්න පුලුවන් වෙනවා.

මේ සඳහා කුඩා දුරේක්ෂයක් වුවත් ප්‍රමාණවත් වෙනවා. 50x පමණ විශාලනයක් සහිත උපනෙතක් භාවිතා කිරීම තුළින් එකම දෘශ්‍ය පරාසය තුළ ග්‍රහලෝක දෙකම වෙන් කර හඳුනාගන්න පුලුවන්. ඒ වගේම සෙනසුරු වළලු, බ්‍රහස්පතිගෙ ගැලීලියානු චන්ද්‍රයන් උනත් බලාගන්න පුලුවන්. ඔබ මේ සියල්ලම ඡායාරූපයට නැඟීමට අදහස් කරනවනම් 200mm කාචයක් ඔබට අවශ්‍ය වෙනවා.

යළිත් මෙවැන්නක් අපිට බලාගත හැක්කේ කවදාද?

තව වසර 20කින් යළිත් සං‍යෝජනයක් සිදුවෙනවා. Cosmic scale එකෙන් කිව්වොත් ඒක බොහොම පොඩි කාලයක්. සුභ ආරංචිය තමයි යළිත් බ්‍රහස්පති සහ සෙනසුරු කලා 6කින් පමණ වෙන්ව සූර්‍යයාගේ සිට 43.5° දුරින් අලුයම අහසේ දිස්වෙනව. ඒත් ඒකෙ දුක හිතෙන කොටස තමයි මේක වෙන්නෙ 2080 මාර්තු 15.