Loading...
Apple සමාගම විසින් කුඩා notch එකකින් සහ නවීකරණය කල කැමරාවකින් යුතුව iPhone 13 ජංගම දුරකතනය එලිදක්වයි

සැප්තැම්බර් 14 වන දින පැවැත්වුනු California Streaming event එකේදි Apple සමාගම විසින් 2021 වර්ෂයේදී එළිදැක්වීමට නියමිතව තිබුණු iPhone 13 මාදිලියේ ජංගම දුරකතනයන් දෙක වන iPhone 13 සහ iPhone 13 mini එළිදැක්වීම සිදු කරනු ලැබූ අතර ගිය වසරේ iPhone 12 මාදිලිය සඳහා නියම කල තිබූ මිලම iPhone 13 සහ iPhone 13 mini සඳහාද නියම කිරීමට Apple සමගම කටයුතු කර තිබුණා. ඒ අනුව iPhone 13 ජංගම දුරකතනය ඇමරිකානු ඩොලර් 799 සිට ඉහළට සහ iPhone 13 mini ඇමරිකානු ඩොලර් 699 සිට ඉහලට ලෙස මිල නියම කර තිබෙනවා.

මෙවර විශේෂත්වයක් වූයේ Apple සමාගම විසින් iPhone 13 මාදිලි සඳහා base storage එක ලෙස 128GB යොදා ගැනීමයි. ඒ අනුව iPhone 13 මාදිලියේ ජංගම දුරකතන දෙක 128GB, 256GB සහ 512GB යන ධාරිතාවයන්ගෙන් මිලදී ගත හැකියි.

iPhone 12 වල design එකට බෙහෙවින්ම සමාන design එකකින් යුක්තව iPhone 13 මාදිලිය නිපදවා තිබුණත් මෙවර iPhone 13 මාදිලියේ display notch එක පෙර පැවති මාදිලි වල notch එකේ දිගට වඩා 20%කින් අඩු කිරීමට Apple සමාගම කටයුතු කර තිබෙනවා. නමුත් පෙර මාදිලි වල notch එක සතුව තිබූ කිසිඳු පහසුකමක් අඩු නැතිව iPhone 13 මාදිලි සඳහාද ඒ ආකාරයටම ලබා දීමට Apple සමාගම කටයුතු කර තිබෙනවා.

iPhone 13 මාදිලියේ ජංගම දුරකතන සඳහා යොදාගෙන ඇති display iPhone 12 මාදීයේ ජංගම දුරකතන වලට වඩා 28%කින් දීප්තිමත් අතර Super Retina XDR display එකක් වනවා. iPhone 13 මාදිලියේ ජංගම දුරකතන සඳහා යොදාගෙන ඇත්තේ iPad mini 6 සඳහා යොදාගෙන ඇති A15 Bionic මාදිලියේ CPU එකක් වන වතර එය cores 6කින් යුතු CPU එකක් වේ. එහි cores දෙකක් high perfomance cores වන අතර ඉතිරි cores 4 high-efficiency cores වේ. මීට අමතරව cores 4කින් යුතු GPU එකකින්ද iPhone 13 මාදිලියේ ජංගම දුරකතනයන් බල ගැන්වෙනවා.

Apple සමාගම ඔවුන්ගේ ඉදිරිපත් කිරීමේදී පැවසූ ආකාරයට iPhone 13 ජංගම දුරකතනය iPhone 12 ජංගම දුරකතනයට වඩා පැය 2.5ක බැටරි ආයුකාලයකින් යුක්ත වන අතර iPhone 13 mini මාදිලිය iPhone 12 mini වලට වඩා පැය 1.5ක බැටරි ආයුකාලයකින් යුක්ත වනවා.

Apple සමාගම විසින් මෙවර iPhone 13 මාදිලි වල කැමරා සඳහා සැලකිය යුතු මට්ටමේ නව පහසුකම් රැසක් හඳුන්වා දීමට කටයුතු කර තිබෙනවා. මූලිකවම ඔවුන් විසින් iPhone 13 මාදිලි වල කැමරාව redesign කර ඇති අතර කැමරාවේ main wide camera එක සඳහා aperture අගය f/1.6 අගයක් ගන්නා sensor එකක් යොදාගෙන ඇති අතර ඒ හරහා පෙරට වඩා 46%ක ආලෝක ප්‍රමාණයක් ලබා ගැනීමේ හැකියාව හිමිව තිබෙනවා.

මෙතක් කල් portrait mode එක හරහා ඡායාරූප සඳහා ලබා දුන් සේවාව වීඩියෝ සඳහාද හඳුන්වා දෙමින් Cinematic Mode නමින් නව video mode එකක් හඳුන්වා දීමට Apple සමාගම කටයුතු කර ඇති අතර ඒ හරහා වෘත්තීය මට්ටමේ වීඩියෝ කරණයෙහ් යෙදීමේ හැකියාව iPhone 13 පරිශීලකයන් හට ලබා දී තිබෙනවා.

iPhone 13 මාදිලි සඳහාද 5G සහය ලබ දීමට Apple සමාගම කටයුතු කර ඇති අතර iPhone 13 මාදිලියේ ජංගම දුරකතන වල ඇති 5G සහය රටවල් 60ක දුරකතන සේවා සපයන ආයතන 200කට අධික ප්‍රමාණයක ජාලයන් සඳහා සහය දක්වන ආකාරයට නිර්මාණය කර තිබෙනවා.

මෙම ලිපිය California Streaming YouTube Live එක ආශ්‍රයෙන් නිම වූ ලිපියකි.