ගෝලීය තාක්ෂණික දැවැන්තයා වන Apple සමාගම විසින් ලොව වේගයෙන්ම වර්ධනය වන ඩිජිටල් ගෙවීම් වෙළඳපොළක් වන ඉන්දියාව සඳහා අද (සැප්තැම්බර් 30) සිට Apple Pay සේවාව නිල වශයෙන් හදුන්වා දී තිබෙනවා. දිගු කලක් තිස්සේ ඉන්දීය තාක්ෂණික ක්ෂේත්‍රය මෙන්ම පරිශීලකයන්ද මහත් උනන්දුවෙන් බලා සිටි මෙම සේවාව හඳුන්වා දීමත් සමඟ, iPhone, Apple Watch සහ iPad භාවිත කරන්නන්ට අතිශය ආරක්ෂිත, පහසු සහ Contactless ඩිජිටල් ගෙවීම් අත්දැකීමක් අත්විඳීමට අවස්ථාව උදා වී තිබෙනවා.
මේ වන විට ලොව පුරා රටවල් සහ කලාප 90කට අධික සංඛ්‍යාවක ක්‍රියාත්මක වන, ප්‍රමුඛ පෙළේ බැංකු සහ ජාල සහකරුවන් 11,000කට වැඩි සංඛ්‍යාවක් සමඟ බද්ධ වී ඇති Apple Pay, මෙලෙස ඉන්දියානු මූල්‍ය පරිසර පද්ධතියට එක්වීම එරට ඩිජිටල් ආර්ථික ගමනේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස සැලකන්න පුලුවන්.
ආරම්භක අදියරය ලෙස Apple සමාගම ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ මූල්‍ය ආයතනයක් වන Axis Bank සමඟ සුවිශේෂී හවුල්කාරිත්වයකට එළඹ Apple Pay පහසුකම හඳුන්වා දී ඇති අතර ඒ අනුව Axis Bank විසින් නිකුත් කරන ලද සුදුසුකම් ලත් Visa සහ Mastercard Credit Cards හිමියන්ට මෙම සේවාව භාවිත කළ හැකි වනවා. එමෙන්ම ඉදිරියේදී ඉන්දියාවේ සෙසු ප්‍රධාන රාජ්‍ය සහ පෞද්ගලික වාණිජ බැංකු රැසක් මෙන්ම Debit Cards දක්වාද Apple Pay පහසුකම ව්‍යාප්ත කිරීමට Apple සමාගම සැලසුම් කරමින් සිටිනවා.
දකුණු ආසියානු කලාපයේ දැවැන්තම ආර්ථිකය වන ඉන්දියාව තුළට Apple Pay ඇතුළුවීම, කලාපය පුරා Contactless Payments සහ Tokenisation තාක්ෂණයන් සීඝ්‍රයෙන් ප්‍රචලිත වීමට මනා පිටුවහලක් සපයනු ඇතැයි බලාපොරොත්තු වන්න පුලුවන්. එමෙන්ම පසුගිය වසරේදී ශ්‍රී ලංකාව සඳහාත් Google සමාගම විසින් Google Pay සේවාව හඳුන්වා දුන් අතර මේත් සමඟ නුදුරු අනාගතයේදී Apple Pay සේවාවත් ලැබෙනු ඇතැයි බලාපොරොත්තු විය හැකියි.
Source: www.apple.com








