Loading...
ශ්‍රී ලංකාවේ Apple Authorized Distributor, Sellers සහ Service Providers ගැන නිවැරදිව අවබෝධ කරගමු

පසුගිය දවස් කිහිපය පුරාවටම ශ්‍රී ලාංකීය තරුණ ජනතාව අතර Apple iPhones, එහි අමතර කොටස් සහ විවිධ දෑ ගැන වැරදි මත විශාල වශයෙන් සමාජ මාධ්‍ය හරහා සංසරණය වුනු කාලයක් ලෙස හඳුන්වන්න පුළුවන්. එයට ප්‍රධානම හේතුව වූයේ අදාල පුද්ගලයන් විසින් අන්තර්ජාලය පිවිස ඒ හරහා ලබා ගත් තොරතුරු වග විභාගයකින් තොරව සහ කිසිඳු තහවුරු කිරීමේ මාධ්‍යක් නොමැතිව ඒ පිළිබඳව කිසිඳු දැනුමක් නොමැති අය වෙත ගොස් ඉදිරිපත් කිරීමයි.

ඒ වන විටත් එලෙස ව්‍යාජ තොරතුරු සපයන අය විසින් සමාජ ජාලයන්හි පල කල ඇතැම් තොරතුරු නිසා ඔවුන් හට විශාල ප්‍රසිද්ධියක් සහ පිලිගැනීමක් ඇති වී තිබීම ඉහත කී මේ පිළිබඳව දැනුමක් සහ නිවැරදි පැහැදිලි අවබෝධයක් නොමැති අය අතර මෙම ව්‍යාජ තොරතුරු සහ මතයන් වේගයෙන් පැතිර යාමට හේතු වීමක් උනා.

එහි ප්‍රතිඵලයක් විදිහට තමයි ලංකාවේ වගකිව යුතු ආකාරයෙන් සමාජ මාධ්‍ය සහ අන්තර්ජාලය ඔස්සේ තාක්ෂණික පුවත් සපයන කණ්ඩායමක් විදිහට ක්‍රියා කරන Android වැඩකාරයෝ අපි තීරණය කරන්නේ මෙහි සත්‍ය සත්‍යතාවය පිලිබඳව නිවැරදිව සහ පැහැදිලිව අධ්‍යයනය කරලා මේ ගැන ඔයාලා වෙත අරගෙන එන්න.

මේකේ පලවෙනි පියවර විදිහට තමයි අපි අපේ Facebook පිටුව හරහා පහත දැක්වෙන post එක පල කරන්නේ. එහි පරමාර්ථය උනේද මිනිසුන්ගේ ඇති වැරදි මතයන් එලියට ඇද ගැනීමයි.

ඉහත දැක්වෙන පෝස්ට් එකේ ආකාරයට ලංකාවේ Apple Authorized Resellers ලෙස කටයුතු කරන ආයතන ලෙස කටයුතු කරන්නේ ආයතන 4ක් පමණයි. ඒ සඳහා අදාල දත්ත ලබා ගැනීමට Apple සමාගමේ වෙබ් අඩවියට පිවිසීමෙනුත් පුළුවන්. මෙහිදී මම පෙර පැවසුවාක් මෙන් ඇතැම් පුද්ගලයන් විසින් ශ්‍රී ලංකාවේ Apple Authorized Resellers පිලිබඳව සමාජ ජාලයන්හි සටහන් තැබීම් සිදු කරනු ලැබූ අතර ඔවුන්ද ඒ සඳහා පාදක කරගෙන තිබුනේ Apple වෙබ් අඩවියේ සඳහන් තොරතුරු පමණි. නමුත් තත්වය සැබැවින්ම ඊට වඩා වෙනස් තත්වයකි.

ඔක්කොටම කලින් Apple Authorized Reseller කෙනෙක් කියන්නේ කවුද?

Apple Authorized Reseller එහෙමත් නැත්තම් AAR කියන කෙටි යෙදුමෙන් හැඳින්වෙන්නේ Apple සමාගම යටතේ නිපදවෙන මෘදුකාංග සහ/හෝ දෘඩාංග අලෙවි කිරීම සඳහා Apple Computer Inc. සමාගමත් සමඟ ගිවිසුම් ගත බැඳීමකට යටත් වෙන ව්‍යාපාරික සහකරුවෙක්. Apple සමාගම මේ ආකාරයට බලය ලබාදුන් සමාගම් වල නාමලේඛනයක් ඔවුන්ගේ වෙබ් අඩවියේ පවත්වාගෙන යනු ලබනවා.

එහෙනම් ඇයි ලංකාවේ සමහර Authorized Resellersලාගේ නම් ඒකේ නැත්තේ?

Apple Computer Inc. සමඟ Apple Authorized Reseller කෙනෙක් විදිහට ගිවිසුම් ගත වුවත් Apple සමාගමේ වෙබ් අඩවියේ ඇති නාමලේඛනයට නම ඇතුලත් කර ගැනීම සඳහා Apple Authorized Reseller කෙනෙකු විසින් යම් යම් කාරණා කිහිපයක් සැපිරිය යුතු වෙනවා.

එම කාරණා අතරතුර, ඔහු හෝ අදාල සමාගම විසින් Apple උපාංග පමණක් අලෙවි කිරීම සිදු කිරීම කල යුතු වෙනවා. ඒ වගේම ඒ සඳහා වෙනම ස්ථානයක Apple සමාගමේ පිලිගත් තත්වයන් යටතේ Showroom එක සැකසීම කල යුතු වෙනවා. එමෙන්ම කාර්‍ය මණ්ඩලය ඒ සඳහාම විශේෂයෙන් පුහුණු කිරීම සිදු කල යුතු වෙනවා. එහි ඇති ප්‍රධාන අරමුණ වන්නේ එම showroom එකකට පැමිණෙන ඕනෑම අයෙකුට Apple සමාගම විසින්ම පවත්වාගෙන යන showroom එකක ඇති හැඟීම ලබා දීමයි.

උදාහරණයකට ගතහොත් Abans සමාගම විසින් නිල වශයෙන් Apple උපාංග ලංකාවට ගෙනත් අලෙවි කිරීම සිදු කලත් ඉහත කී නිර්ණායක යටතේ සකස් කර ති showrooms ප්‍රමාණය සීමිත වීම මත Apple සමාගමේ වෙබ් අඩවියේ සඳහන්ව ඇත්තේ Abans සමාගම විසින් Apple සමාගමේ නිර්ණායකයන්ට යටත්ව පවත්වාගෙන යන showrooms වලින් කිහිපයක් පමණි. එයට හේතුව වන්නේ Apple සමාගම විසින් ඔවුන්ගේ තත්වය නිර්ණායකයන්ට අදාලව ඇති showrooms පමණක් ඔවුන්ගේ නාමලේඛනයේ පවත්වාගෙන යෑම නිසාවෙනි

ඒ අනුව අපිට Apple සමාගමේ වෙබ් අඩවියේ සඳහන් වන නාමලේඛනයේ සඳහන් නොවුන පමණින් යම් ආයතනයක් Apple Authorized Reseller කෙනෙකු නොවන බව තීරණය කල නොහැක.

හරියටම ශ්‍රී ලංකාවේ Apple Authorized Distributor කවුද?

ලංකාවේ කවුරුත්ම දන්න දේ තමයි Abans කියනේ Apple Authorized Distributor කියල. නමුත් Genxt ආයතනය ලංකාවට පැමිණීමත් සමඟ මේ තත්වය වෙනස් වෙනවා. මුලින්ම Apple උපාංග ලංකාවට ආනයනය කර බෙදා හැරීම සිදු නොකලත් Genxt සමාගම ඒ වන විටත් සිංගප්පූරුව, මියන්මාරය, නේපාලය, බංගලාදේශය, මාලදිවයින්, මොංගෝලියාව සහ පකිස්තානය ඇතුලු තවත ලෝකයේ රටවල් කීපයක තම මෙහෙයුම් සිදුකරමින් පැවතුන සමාගමක් සහ ඔවුන් එම රටවල Apple සමාගමේ partner කෙනෙක් වශයෙන්ද කටයුතු කරනවා.

Genxt සමාගමේ ශ්‍රී ලංකාවේ ආගමනයත් සමඟම ඔවුන් විසින් කල් යාමේදි Apple සමාගමෙන් ලංකාව තුල Apple සමාගමේ නිෂ්පාදන අලෙවි කිරීමේ අවසරය ඉල්ලා සිටින අතර ඒ වන විටත් ඔවුන්ට තිබුණු පිලිගැනීම නිසා Apple සමාගම Abans සමාගම හැරුණු කොට ශ්‍රී ලංකාව තුල තම නිෂ්පාදන අලෙවි කිරීමේ සහ බෙදා හැරීමේ කටයුතු සඳහා අවසරය Genxt සමාගම වෙත ලබා දීම සිදු කරනවා.

ඉන් පසුව Genxt සමාගම විසින් ඔවුන් Apple උපාංග සඳහා ලබා දෙන සේවාවන් සහ අනෙකුත් සියළුම සේවාවන් පිළිබඳ පෙන්වමින් Apple සමාගමේ උපාංග (විශේෂයෙන්ම iPhones) ආනයන කර බෙදා හැරීමේ සියළුම මෙහෙයුම් කටයුතු තමන් සතු කර ගැනීමට සමත් වෙනවා.

එතකොට ලංකාවේ Apple Authorized Resellersලා කවුද?

මේ වෙනකොට ලංකාවේ Apple Authorized Resellersලා විදිහට පහත ආයතන සැලකෙනවා.

  1. Dialog Axiata
  2. Mobitel
  3. Future World
  4. Genxt Store
  5. Singer
  6. Softlogic
  7. Abans
  8. iDealz Lanka
  9. BT Store by BT Options

* මීට අමතර යම් ආයතනයක් Apple Authorized Reseller කෙනෙක් ලෙස කටයුතු කරනවා නම් ඒ බව අපට තහවුරු කිරීමෙන් පසුව මෙම ලැයිස්තුවට ඇතුලත්වීමේ හැකියාව පවතිනවා.

එතකොට ශ්‍රී ලංකාවේ Apple Authorized Service Providersලා කවුද?

ශ්‍රී ලංකාව ඇතුලත Apple Authorized Service Providers ලෙස තම කටයුතු සහ මෙහෙයුම් පවත්වාගෙන යන ආයතනයන් තුනක් පවතිනවා.

  1. Abans
  2. Future World
  3. Genxt

මෙහි විශේෂත්වය වන්නේ මෙම ආයතන හරහා සේවය ලබා ගත හැකි වන්නේ TRCSL අනුමැතිය ඇතිව ශ්‍රී ලංකාව සඳහා වන නිල බෙදාහැරීමේ ආයතන හරහා බෙදාහරින ලද ඇපල් ජංගම දුරකතන වලට පමණක් වීමයි. එමෙන්ම එහිදී භාවිතා වන්නේ Apple Care warranty එක වන අතර Abans warranty, Genxt Warranty ලෙස වෙන වෙන හැඳින්වීම සිදු කරන්නේ බෙදාහැරීමේ ආයතනය පහසුවෙන් හඳුනා ගැනීමේ පරමාර්ථයෙන් වන අතර ඔබගේ ජංගම දුරකතනය හෝ ඇපල් උපාංගය සතුව වලංගු Apple care warranty සතුවේ නම් ඉහත සේවා සපයන ආයතන තුනෙන්ම ඔබට Warranty claim කිරීමේ හැකියාව පවතිනවා.

ශ්‍රී ලංකාවේදී කුමන Apple Authorized Distributor යටතේ ආනයනය කර බෙදාහරින ලදුව අලෙවි වූ ජංගම දුරකතනයක් වුවත් ඉහත සඳහන් කල Apple Authorized Service Providersලා හරහා warranty claim කල හැකි වුවත් බොහෝ විට සුළු සුලු අපහසුතා ඇති වීමට හැක්කේ මේ ශ්‍රී ලංකාව නිසාවෙනි.

එතකොට Genxt ලාංඡනය නොමැතිව Apple care warranty තියෙන iPhone එකක් ලංකාවේදි මිලදී ගතහොත් ඒකට ලංකාවේ Apple Authorized Service Providers හරහා warranty claim කිරීම හෝ සේවා ලබා ගැනීමට හැකිද?

බෑ, Apple Care warranty එක තිබුණා උනත් ඉහත සඳහන් කල Apple Authorized Service Providersලාගෙන් සේවය ලබා ගත හැක්කේ ශ්‍රී ලංකාවේ Apple Authorized Distributor විසින් ආනයනය කර බෙදාහරින ලද iPhones සහ අනෙකුත් ඇපල් උපාංග වලට පමණි. එයට හේතුව වන්නේ Apple සමාගම විසින් ඔවුන්ගේ ජංගම දුරකතන සහ අනෙකුත් උපාංග නිල වශයෙන් ලංකාවට ගෙනැවිත් අලෙවි කිරීමේ බලය ලබා දී ඇත්තේ Apple Authorized Distributorලාට පමණක් වීමයි.

නිවැරදි කිරීමයි. Future World ආයතනයේ සහ තවත් ආයතනයකින් තහවුරු කල ආකාරයට Apple Care warranty වලංගුව පවතින ඕනෑම Apple නිෂ්පාදනයක් සඳහා Warranty claim කිරීම Apple Authorized Service Providers හරහා ශ්‍රී ලංකාව තුලදී සිදු කර ගත හැකිය. නමුත් ඒ සඳහා සියළුම models සහය දක්වන්නේ නැති බව කරුණාවෙන් සලකන්න.

මට Apple Care+ warranty එක ගන්න ඕනේ නම් කොහොමද ශ්‍රී ලංකාවේදී මිලදී ගන්නේ?

මේ වෙන විට ලංකාවේ මේ සේවාව සපයන්නේ නෑ. ඒ උනත් අවශ්‍යම අයෙක් ඉන්නව නම් Apple Authorized Service Provider කෙනෙක් සම්බන්ධ කරගෙන ඔවුන් හරහා මෙම සේවාව මිලදී ගැනීම කරන්න පුළුවන්.


යම් යම් පුද්ගලයන් විසින් මේ වෙනකොට අපි අතර ඇති කරලා තියෙන ගොඩක් වැරදි මත වලට පිළිතුරු මේ ලිපිය හරහා ඔයාලට හම්බෙන්න ඇති කියල බලාපොරොත්තු වෙනවා. ඒ වගේම Genxt Warranty, Abans Warranty කියන්නේ මොකක්ද කියන එකත් පැහැදිලි වෙන්න ඇති කියල මම හිතනවා.

මේ ලිපිය මේ ආකාරයට සකස් කිරීමේදී මට Genxt ආයතනයත්, Apple Authorized Resellers ලෙස ශ්‍රී ලංකාව තුල කටයුතු කරන ආයතන කිහිපයකින්ම සහ The Smart Phone Shop, Maharagama ආයතනයේ අධිපති Foshen Wickramasinghe මහතා විසින් සහය සහ තොරතුරු ලබා දුන්නා. ඇත්තෙන්ම මගෙත් තිබ්බ සමහර වැරදි මත කිහිපයක් මේ ලිපිය සකස් කිරීමේදී නැති වෙලා ගියා.

මීට අමතරව තව මොනව හරි ඔයාලට පැහැදිලි කරගන්න අවශ්‍ය නම් අපිට කියන්න. අපි අදාල පාර්ශවයන්ගෙන් හරියට අහල විස්තර සපයන්නම්.


සැ. යු. මෙම ලිපිය හුදෙක් කිසිඳු වෙළඳ දැන්වීමක් හෝ ප්‍රවර්ධනාත්මක ලිපියක් නොවන අතර ශ්‍රී ලංකාව තුල ඇති වී ඇති සහ ඇති කරන ලද දුර්මත ඉවත් කිරීම සඳහා අප විසින් ස්වේච්ඡාවෙන් ඉදිරිපත්ව බලයලත් පාර්ශවයන්ගෙන් විමසා කරුණු සොයා බලා එම කරුණු මත සකස් කරන ලද ලිපියකි. එබැවින් ඇතැම් කරුණු වල ප්‍රායෝගික තත්වයන් මෙයින් වෙනස් විය හැකිය.