Loading...
අනාගතයේ අප පාලනය වන්නේ කෘතිම බුද්ධිය යටතේ ද?

කෘත්‍රිම බුද්ධිය (Artificial Intelligence) ලොව පුරා තාක්ෂණික පරිශීලකයින් මෙන්ම වෘත්තිකයින් අතර උද්වේගය සහ භීතිය යන දෙකම ඇති කරන ආකර්ශනීය මාතෘකාවක් බවට පත්වී තිබෙනවා.

මේ වෙනකොට විවිධ ක්ෂේත්‍ර වල කටයුතු කරන පිරිස් මෙන්ම ලොකු කුඩා සෑම දෙනාම මෙම AI භාවිතා කිරීමට නැඹුරු වී තිබීම වැඩි වශයෙන් දැකගත හැකිවී තිබේ. එම හේතුව නිසාවෙන්ම මෙම තාක්ෂණික කරුණ පිළිබඳව විශාල දුර්මතයන් රාශියක් සමාජගත වීම මේ වන විට දක්නට ලැබේ. මෙම හේතුව නිසාවෙන්ම අප විසින් මේ හා සම්බන්ධ විවිධ මතයන් සහ එහි සත්‍ය අසත්‍යතාවය පිළිබඳව පාඨක ඔබ දැනුවත් කිරීම සඳහා මෙම ලිපිය ඔබ වෙත ගෙන එනු ලබනවා.

Source: (globalengineering.info)

AI තාක්ෂණය පිළිබඳව විශාල සමාජ කතිකාවතක් ආරම්භ වී කාලයේදී Android වැඩකාරයෝ පාඨක ඔබ වෙත ඒ පිළිබඳව දැනුවත් කිරීම සඳහා ලිපි පෙළක් ගෙන ආවෙමු. එම ලිපි පරිශීලනය කිරීම සඳහා ඔබට අවස්ථාව ඇත.

බොහෝ දෙනා AI තාක්ෂණය ලෙස සිතාගෙන සිටින්නේ මේ වන විට ජනප්‍රිය යෙදවුම් වන ChatGPT, Midjourney, Dall-E වැනි යෙදවුම් වේ. එම යෙදවුම් AI තාක්ෂණයෙන් නිර්මාණය වී ඇති යෙදවුම් වූව ද එම යෙදවුම් වල පරාසයට වඩා විශාල පරාසයක භාවිතයන් සිදුකිරීම සඳහා මෙම AI යොදාගැනේ. මෙලෙස ඉතාමත් ජනප්‍රියත්වයට පත්වූ AI තාක්ෂණය සම්බන්ධයෙන් පවතින දුර්මතයන් කිහිපයක් ද මෙම ලිපිය ඔස්සේ ඔබ වෙත ගෙන එනු ලබනවා.


01. AI විසින් ඉදිරියේදී මිනිස් ශ්‍රමය ප්‍රතිස්ථාපනය කිරීමක් සිදුවේ

Source: (revenue-hub.com)

මෙම කරුණ මේ වන විට විශාල වශයෙන් ජනප්‍රිය වන කරුණකි. එයින් සඳහන් වන ලෙස මේ වන විට තාක්ෂණික ක්ෂේත්‍රයේ මෙන්ම අනෙක් ක්ෂේත්‍ර තුළ ද AI තාක්ෂණයේ යෙදීම් දැකගත හැකිවන බැවින් ඉදිරියේදී එක ක්ෂේත්‍ර තුළ භාවිතා වන මිනිස් ශ්‍රමය ඉතා ඉහළ මට්ටමකින් අවම වී එයට ආදේශයක් වශයෙන් AI මගින් බලගැන්වෙන යෙදවුම් හෝ ක්‍රියාවලීන් භාවිතා කිරීමට සූදානම් වන බවයි.

මෙය සමාජ භීතිකාවක් ලෙස පැතිර යන පුවතක් වන අතරම මේ හේතුවෙන් විශාල ශ්‍රමිකයන් පිරිසක් මෙම AI හි භාවිතයන් පිළිබඳව පසුවන්නේ යන් අසතුටකිනි. මෙමගින් කිසිසේත්ම මිනිසා යල්පැනගිය මට්ටමකට පත්වීමක් සිදුනොවන නමුත් අප පිළිගත  යුතු කරුණක් වන්නේ මේ වන විට පවතින ස්වයංක්‍රීයකරණය සහ දත්ත විශ්ලේෂණය (Data Analysis) සඳහා මෙම AI භාවිතයන් ඉතාම කාර්යක්ෂම සහ නිරවද්‍ය මට්ටමක පැවතීමයි. එමනිසා ඉදිරියේදී මානව හැකියාවන් ප්‍රතිස්ථාපනය වීමට වඩා එම හැකියාවන් සම්පූර්ණ කිරීමේදී මෙම AI තාක්ෂණය බෙහෙවින් ඉවහල් කරගත හැකි වීම විශාල පිටුවහලක් වනු ඇත.  එමනිසා එම තාක්ෂණික දියුණු වීම් ප්‍රතික්ෂේප කිරීම සිදුනොකරමින් එම භාවිතයන් සමග ඉදිරියට ගමන් කිරීම තුළින් අනාගත ගැටලු නිරාකරණය පහසු මට්ටමකට ලඟා කරගත හැකිවේ.

මෙම ගැටලුව පිළිබඳව පසුගිය දිනෙක TechTrack Youtube නාලිකාව ඔස්සේ පැහැදිලි කිරීමක් සිදුකර ඇත. වැඩිදුර අධ්‍යයනය සඳහා එම වීඩියෝව නරඹන්න.

02. AI සතුව මිනිසාට සමාන බුද්ධියක් ඇත

කාලයත් සමග මිනිසා තමාගේ පහසුව සඳහා තාක්ෂණයන් දියුණු කරමින් නව නිපැයුම් සිදුකිරීම දක්නට ලැබුණි. එහි විශාලතම ඉදිරි පියවරක් වශයෙන් නම් කෙරුණු කාර්මික විප්ලව සමයේ පටන් මේ දක්වාත් මින් ඔබ්බටත් මානවයා පෘථිවිය තුළ නොනැසී ජීවත් වීම සඳහා මෙම තාක්ෂණික පුනරුදය සිදුකරනු ඇත.

එහි එක් සංධිස්ථානයක් වශයෙන් නම් කළ හැකි මෙම AI භාවිතයන් මිනිස් ක්‍රියාකාරකම් වලට සමාන ක්‍රියාවන් සිදුකල ද එය "මේ වන විට" මිනිස් මොළයේ හෝ මිනිස් බුද්ධියේ මට්ටම දක්වා පැමිණීම සිදුවී ඇති බවට පළ වන මතයන් නිරවද්‍යතාවයෙන් තොර වේ. එයට හේතුව නම් Machine Leanring, Deep Learning භාවිතා කරමින් මෙම AI යෙදවුම් වල ක්‍රියාකාරීත්වය සිදුවන්නේ යම් නිශ්චිත කාර්යයක් සඳහා ඇල්ගොරිතම සහ ඒ වෙත ලබා දී ඇත දත්ත මත පදනම්ව වේ. එනම් මිනිසාට මෙන් AI හට සමාන සංජානන හැකියාවක් "මේ වන විට" නොමැත.

03. AI හි 100%ක නිරවද්‍යතාවයක් පැවතීම

පෙර සඳහන් කළ පරිදි මෙම යෙදවුම් වල ප්‍රතිඵල ලබාදෙන්නේ ඒවා ආශ්‍රිතව සිදුකරන ලද දත්ත වල පුහුණු කිරීම් මගිනි. එනම් ඒ සඳහා ලබාදෙන දත්ත මත පදනම්ව සහ ඒ ආශ්‍රයෙන් නිර්මාණය කරන ලද ආකෘති මත පදනම්ව වේ. යම් හෙයකින් එලෙස ලබාගන්නා දත්ත වල නිරවද්‍යතාවයේ දෝෂ පවතින්නේ නම් එය AI මගින් ලබාදෙන ප්‍රතිඵල වල නිරවද්‍යතාවය සඳහා ද බලපෑම් ඇතිකරනු ලබයි. මේ වන විට මෙම නිරවද්‍යතාවයේ පවතින දෝෂ ඉදිරියේදී කෙලෙස සංවර්ධනය වීමක් සිදුවුවද මේ වන විට මෙම යෙදවුම් මගින් ප්‍රතිඵල ලෙස ලබාදෙන සියලුම තොරතුරු වල නිරවද්‍යතාවය 100%ක් බවට සැලකීම යම් තරමකින් අපහසු වේ.

04. අනාගතයේ දී AI මගින් ලෝකය පාලනය කරනු ඇත

Source: (theconversation.com)

මෙය බොහෝ දුරට මිනිසාගේ මනස තුළට කාවදින තර්කයක් වන්නේ මේ වන තෙක් තාක්ෂණය සම්බන්ධයෙන් නිර්මාණය කරන ලද විද්‍යා ප්‍රබන්ධ නිර්මාණ හේතුවෙනි. එහි සඳහන් වන ආකාරයට යම් කාලයකට පසුව සමස්ථ පෘථිවියම එක් පාලනයකට යටත් වීමත් එලෙස පාලනය සඳහා AI වැනි දේ පැවතීමත් මනසට කාවදින අන්දමෙන් නිර්මානශීලී ලෙස ලබාදී ඇත. එසේම එයට මහඟු පිටුවහලක් ලබාදෙමින් අනාගත වාක්‍ය ප්‍රකාශ කරන්නාවූ සහ කාල තරණයක් සිදුකල බවට ප්‍රසිද්ධ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කරන්නාවූ "විද්වතුන්" ද මෙම කරුණ සනාථ කිරීමට මහා පරිශ්‍රමයක් දරයි.

කෙසේ නමුත් අනාගතය පිළිබඳව අප හට පුරෝකථනයන් සිදුකිරීම අපහසු බැවින් "මේ වන විට" පවතින තත්ත්වය සැලකීමේ දී ගෝලීය ආධිපත්‍ය AI විසින් ලබාගන්න ලෙස අනුමාන කිරීම තරමක් අපහසු මට්ටමක පවතී. මන්දයත් වර්තමානය තුළ පවතින තාක්ෂණික පාලනය මිනිසා විසින් යහපත් අන්දමින් පවත්වාගෙන යාමයි. නමුත් යම් යම් සාධක මත පදනම් ව ඇතැම් තත්ත්වයන් පාලනයෙන් ගිලිහීමේ අවධානමක් පෙන්නුම් කළ ද එම අවස්ථාවන් වලදී මානව ක්‍රියාකාරීත්වය මගින් එය පාලනය කිරීම සිදුවී ඇත. මෙයට එක් උදාහරණයක් වශයෙන් 2017 වසරේ දී එවකට Facebook සමාගම විසින් සිදුකරන ලද AI පර්යේෂණයක් අතරමග නවතා දැමීමට හේතු වූයේ ඔවුන් භාවිතා කරන ලද AI Programs ඔවුනට ආවේණික වූ භාෂාවක් භාවිතයෙන් සන්නිවේදනය සිදුකිරීම හේතුවෙනි.

එසේම පසුගිය කාලය තුළ තාක්ෂණික සමාගම් කිහිපයක නිලධාරීන් සිදුකළ ප්‍රකාශ අනුව යම් තැතිගැන්මක් ඇතිවී පැවතීම සාධාරණ මට්ටමක පවතී. ඔවුන් සඳහන් කරනු ලබන ආකාරයට AI තාක්ෂණයේ දියුණුව ඔවුන් අපේක්ෂා කළ මට්ට්මට වඩා ඉතාමත් ඉක්මණින් සිදුවෙමින් පවතින බවයි. එය නිසි ආකාරයට පාලනයක් සිදුනොවන්නේ නම් එය අනාගතයේ දී අහිතකර ප්‍රතිවිපාක ලබාදීම සඳහා ප්‍රධාන හේතුවක් වනු ඇති බවට ඔවුන් වැඩිදුරටත් සඳහන් කරනු ලබයි.

OpenAI CEO විසින් AI හි භාවිතය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය. (twitter.com)

මෙම ලිපිය ඔස්සේ ඔබ වෙත කරුණු කිහිපයක් රැගෙන ආ අතර අප තුල සහ සමාජය තුළ පවතින දුර්මතයන් කිහිපයක් සාකච්ඡා කිරීම සිදුවිය. එසේම ඉදිරියේදී මේ හා සම්බන්ධ තවත් ලිපි පෙළක් ඔබ වෙත ලබාදීමට අප සූදානම් වන අතර ඒ සඳහා අප සමග සම්බන්ධ වී සිටින්න.  එතෙක් පාඨක ඔබ වෙත සිතන්නට යමක්...

"AI තාක්ෂණය AI විසින්ම දියුණු කරගතහොත්?" ඔබගේ අදහස Comment කරන්න.

Sources: Theverge Futurism Independent Theconversation