මෙම ලිපිය කොළඹ නාලන්දා විද්‍යාලීය ආදි තාරකා විද්‍යා සංගමයේ සාමාජික මධුර කාවින්ද කුරේ සොයුරා විසින් ලියැවුණකි.

වසර 100 පසු මේ වසරේ තාරකා විද්‍යාවේ කථාබහට ලක්වුන මාතෘකාවක් තමයි ඔරායන් වල තියෙන රතු යෝධ තාරකාවක් ලෙස ප්‍රසිද්ධ උන බීටල්ජුස් තාරකාව. මුලින්ම මෙම තාරකාව අධ්‍යයනය කළ මෑත ඉතිහාසය පිළිබදව පොඩ්ඩක් කියනව නම් Abraham Michelson හා Francis Gladheim යන විද්වතුන් දෙදෙනා ප්‍රථම වතාවට වසර 1920 දී මවුන්ට් විල්සන් නිරීක්ෂණාගාරය උපයෝගී කරගනිමින් මේ තාරකාවේ කෝණික විෂ්කම්භය මැනගැනීමට සමත් වුනා.

ඒ කාලයේදී ඇත්තටම අපට සූර්යයාගේ පමණක් කෝණික විෂ්කම්භය මිනුම් කරගැනීමට හැකියාවක් තිබ්බ නිසා මෙම සොයාගැනීම එම කාලයේදී වැදගත් තාරකා විද්‍යා සංදිස්ථානයක් වුනා. නමුත් ඔවුන් ඇත්ත වශයෙන්ම දැනන් හිටියේ නැහැ එම අගය සත්‍ය කෝණික විෂ්කම්භයේ අගය මෙන් 4 ගුණයක් පමණ වන බව. මෙම හේතුව නිසා බීටල්ජුස්ට අපේ පෘතුවියේ ඉදන් තියෙන දුර ආලෝක වර්ෂ 120ක් පමණ වන බව නිගමනය වුනා. සත්‍ය වශයෙන්ම මෙම නිරීක්ෂණය තාරකා විද්‍යාව නොමගට යොමු කෙරුණු අවස්ථාවක්.

අපි මොනාද ඇත්තටම දැන් මේ තාරකාව ගැන දන්නේ? අපි දන්නවා දැන් මෙම තාරකාව රතු යෝධ තාරකාවක් කියල. නමුත් විද්වතුන්ට මෙම තාරකාවේ නිශ්චිත විශ්කම්භයක් ගණනය කිරීමට නොහැකි තත්වයක් තමයි තියෙන්නේ. සාමාන්‍යයෙන් කියන්නේ මේ තාරකාවේ අවසානය දෙවන වර්ගයේ සුපර්නෝවා පිපිරීමකින් අවසන් වීමට නියමිත බවයි.

නුතන තාරකා වර්ගීකරණයට අනුව බීටල්ජුස් M1 හා M2Ⅰa-Ⅰab අතර දෝලනය වෙමින් පවතී. මේක දැන් ඇත්තටම විචල්‍ය තාරකාවක් ලෙස හදුන්වයි. මෙම තාරකාවේ මෙවැනි අසාමාන්‍ය හැසිරීම් රටාව තවමත් තාරකාවේදීන්ට ගැටළුවක් ගෙනදෙන අතර සෑම වසර 10000 ට පමණ සැරයක් මෙහි අපගේ සූර්යයාගේ පවතින තරම් ස්කන්ධයක් ක්ෂය වන බව මේවන විටත් ඔවුන් අනුමානයෙන් හදුනාගෙන තියෙනවා.

මේ පිළිබදව විශ්ලේෂණයකින් ඔවුන් මුලදී තාරකාව අවට තාරකාවේ විෂ්කම්භයේ අගය මෙන් 6 ගුණයක අවට කලාපය පුරා තාරකාවේ පදාර්ථය විහිදී තිබෙන බව දැනගත් අතර ඉන් අවුරුදු දෙකකට පස්සේ එම කලාපය තවදුරටත් පුළුල් වන බවට ප්‍රකාශ කළා. නමුත් පදාර්ථය විසිරී තියෙන ආකාරයෙන් ඔවුන් ප්‍රකාශ කලේ එය ඒකාකාරව විහිදී නොපවතින බවයි. තවත් වැඩිදුරට ඔවුන් එය නිහාරිකාවක ආකෘතියකින් විහිදී පවතින බව ප්‍රකාශ කල අතර එය කිලෝමීටර් බිලියන 60 පමණ පරාසයක විහිදී තිබෙන අයුරු නිරීක්ෂණය කලා.

වසර 2016 දී සිදුකරන ලද පරීක්ෂණ වලින් අනාවරණය වුනේ සාමාන්‍යයෙන් තාරකාවේ භ්‍රමණ වේගය අප දන්නා අගයමෙන් 150 ගුණයක් විශාල වන බවය. මෙය නිසා ඔවුන් නිගමනය කලේ තාරකාවේ ප්‍රසාරණය වීම දැන් අවසන්වී ඇති බවය, එයට හේතුව වශයෙන් ඔවුන් කෝණික චලිතයේ මුලධර්මය පහදා දෙයි. තවද මෙම තාරකාවේ විශාලනය සැලකියයුතු වශයෙන් මෙම කල සීමාවේදී වෙනස් වීමකට භාජනය විය.

එමෙන්ම පර්යේෂණ විද්‍යා විශේෂඥ ආචාර්යය තවීෂා ධර්මවර්දන විසින් තාරකාව මතුපිට 50 - 70 අතර ප්‍රතිශතයක් අදුරුව පැවතීම තාරකාවේ උෂ්ණත්වය වෙනස්වීමකට හේතුවන්නේ යයි පවසන ලද අතර තවමත් මෙය ගැටළු සහගත තත්වයකි. නමුත් මේ වනවිට දින 420 ට අදාල විශාලත්ව වෙනස් වන චක්‍රය පැහැදිලි කිරීමට හබල් දුරේක්ෂයෙන් ලබාගත් චායාරුප භාවිතයෙන් පරීක්ෂක කණ්ඩායමක් වෙනත් අදහසක් ඉදිරිපත් කොට තිබේ.

එයට අනුව තාරකාවෙන් පිටවන පදාර්ථ තාරකාවේ වායුගෝලයට ගමන් කොට ඝනීභවනය වීම නිසා ඒවා මගින් එහි ආලෝකය පැමිණීමට බාධාවක් නිර්මාණය කරයි. මෙම හේතුව බෙටල්ජුස් තාරකාවේ ආලෝක වක්‍රය වෙනස් ලෙස දිස්වීමට හේතුවක් වන බව එම පරීක්ෂක කණ්ඩායමේ මතයයි. ඒ අනුව විද්වතුන්ගේ මතය වෙන්නේ මේ තාරකාව ඉදිරි වසර 100,000 අතර කාලයේදී නිත්‍ය වශයෙන්ම පුපුරා විනාශ වන බවයි.