Loading...
අන්තර්ජාතික අභ්‍යවකාශ නැවතුම්පළට භාණ්ඩ රැගෙන යන Boeing Starliner යානයේ දෙවන ගමන අද

නාසා ආයතනය තමන්ගේ වැඩසටහන් සඳහා වාණිජ සමාගම් සම්බන්ධ කර ගන්නා විට එක කාර්යයක් සඳහා සැපයුම්කරුවන් දෙදෙනෙක්ට කොන්ත්‍රාත්තු ලබා දෙයි. එයට හේතුව වන්නේ යම්කිසි ගැටළුවක් නිසා එක් සැපයුම්කරුවෙක්ගේ ගැටළුවක් ඇති වුවහොත් අනිත් සැපයුම්කරුවා මඟින් තමන්ගේ කාර්යය දිගටම කරගෙන යාමට හැකි වන නිසයි.

ඒ අනුව නාසා ආයතනය අන්තර්ජාතික අභ්‍යවකාශ නැවතුම්පළට භාණ්ඩ රැගෙන යෑම සඳහා Commercial Resupply Services වැඩසටහන ආරම්භ කරන විට SpaceX සමාගමට සහ Orbital Sciences සමාගමට කොන්ත්‍රාත්තු ලබා දුණි. ඒ අනුව සංවර්ධනය වූ Dragon යානා සහ Cygnus යානා වර්තමානයේ නැවතුම්පළට භාණ්ඩ රැගෙන යයි. ඉන්පසු අන්තර්ජාතික අභ්‍යවකාශ නැවතුම්පළට ගගනගාමීන් රැගෙන යෑම සඳහා Commercial Crew වැඩසටහන ය⁣ටතේ SpaceX සමාගමට හා Boeing සමාගමට කොන්ත්‍රාත්තු ලබා දුණි.

Atlas V රොකට්ටුව මුදුනේ ඇති Starliner OFT-2 යානය

ඒ අනුව සංවර්ධනය වූ Crew Dragon යානා වර්තමානයේ නැවතුම්පොළට ගගනගාමීන් ගෙන යන අතර, තරමක් ප්‍රමාද වී සංවර්ධනය වූ Starliner යානය 2019 දෙසැම්බර් 20 වනදා තම පළමු පරීක්ෂණ මෙහෙයුම සිදු කරන ලදී. Orbital Flight Test නමින් හැඳින්වූ මෙම මෙහෙයුමේදී ගගනගාමීන් නොමැතිව Starliner යානයක් ස්වයංක්‍රීයව අන්තර්ජාතික අභ්‍යවකාශ නැවතුම්පළ බලා ගොස් නැවත ආපසු පැමිණීමට බලාපොරොත්තු විය. නමුත් දියත් කිරීමෙක් මිනිත්තු කිහිපයකට පසු යානයේ මෘදුකාංග දෝෂයක් ඇති බව සොයා ගැනීමෙන් පසු යානය නැවතුම්පළට නොයවා නැවත පෘථිවියට ගොඩ බස්වන ලදී.

ඉන්පසු නාසා ආයතනය මේ ගැන පූර්ණ විමර්ශනයක් සිදු කළ අත⁣ර එහිදී යානයේ තවත් දෝෂ කිහිපයක් සොයා ගෙන ඒවාත් නිවැරදි කරන ලදී. ඉන්පසු දෙවන පරීක්ෂණ මෙහෙයුම සඳහා Boeing සමාගම සූදානම් වූ නමුත් ඒ කාලයේ අන්තර්ජාතික අභ්‍යවකාශ නැවතුම්පළේ සම්බන්ධ දොරටුවල (Docking Ports) වෙනත් යානා පැවති නිසා මෙහෙයුම කල් දැමීමට සිදු විය.

අවසානයේ Orbital Flight Test-2 නමින් හැඳින්වූ මෙම මෙහෙයුම පසුගිය ජූලි 31 වනදා දියත් කිරීමට නියමිතව තිබූ නමුත් Nauka මොඩියුලය නැවතුම්පළේ ඇති කළ ගැටළුව නිසා මෙහෙයුම අද (03) දින දක්වා කල් දැමීමට තීරණය කරන ලදී.

Starliner හා Crew Dragon යානා

Starliner යානයත් Crew Dragon යානය මෙන් එකම කොන්ත්‍රාත්තුවක් යටතේ සංවර්ධනය කළ නිසා යානා දෙකම නිෂ්පාදනය කර ඇත්තේ එකම ආරක්ෂිත තත්වයන්ට අනුවයි. නමුත් Boeing සමාගම විසින් මේ යානය Crew Dragon යානයට වඩා තරමක් වෙනස් ලෙස සංවර්ධනය කර ඇත. කිලෝග්‍රෑම් 13,000 ක ස්කන්ධයක් ඇති යානය කොටස් දෙකකින් යුක්ත වේ. ඒ ගගනගාමීන් සිටිනා ගගනගාමී මොඩියුලය (Crew Module) සහ යනයේ එන්ජින්, සූර්ය පැනල අඩංගු වන සේවා මොඩියුලයයි (Service Module).

සෑම මෙහෙයුමක් අවසානයේදී පෘථිවියට ගොඩබසින්නේ පාලන මොඩියුලය පමණක් වන අතර සේවා මොඩියුලය අතහැර දමයි. මේ පාලන මොඩියුලයක් 10 වතාවක් පමණ නැවත භාවිතා කිරීමට සකස් කර ඇති අතර Starliner යානා Atlas V, Delta IV, Falcon 9 හෝ Vulcan Centaur යන ඕනෑම රොකට්ටුවකින් දියත් කළ හැක.

Starliner යානයේ කොටස්

මීටර් 4.56 ක විෂ්කම්භය ඇති පාලන මොඩියුලයේ ඝන මීටර් 11 ක ජීවත් විය හැකි පරිමාවක් ඇත. උපරිම වශයෙන් ගගනගාමීන් 7 දෙනෙක් ගෙන යෑමට හැකි මේ යානයට පැය 60 ක් පෘථිවි කක්ෂයේ ස්වාධීන මෙහෙයුමක් සිදු කළ හැකි අතර නැවතුම්පළට සම්බන්ධ වී දින 210 ක් පැවතිය හැක. සූර්ය පැනලවලින් විදුලි බලය නිපදවා ගන්නා යානයේ සූර්ය පැනල හා එන්ජින් ඇත්තේ සේවා මොඩියුලයේය.

යානයේ ගගනගාමී මොඩියුලය වෙල්ඩින් නොකර Spin Forming නම් නවීන තාක්ෂණයකට නිෂ්පාදනය කර ඇති අතර ඇමරිකානු ඉතිහාසයේ පළමු වරට ගොඩබිමට ගොඩබසින කැප්සියුල වර්ගයේ පළමු යානය⁣ වේ. ඒ සඳහා යානයේ Airbags ඇත. මේ Airbags ඇත්තේ යානයේ තාප ආවරණයට (Heat Shield) ඉහළින්ය. යානය වායුගෝලයට ඇතුළු වීමෙන් පසු පැරෂුට් විවෘත කර පහළට එයි. පහළට පැමිණෙමින් සිටියදී තාප ආවරණය ගලවා දමන අතර ඉන්පසු Airbags පුම්බයි.

වාහනයක ඇති Airbags ගැටුමකදී මගීන්ව ආරක්ෂා කරන ආකාරයටම මේ Airbags මඟින් යානය පැරෂුට් මඟින් පොළවේ ස්පර්ශ වන විට කම්පනය දරා ගනී. එමෙන්ම හදිසි අවස්ථාවකදී යානය සාගරයට ගොඩබැස්සොත් Airbags නිසා යානය පාවෙයි.

Starliner යානයේ ගොඩබැසීමේ පද්ධතිය

මේ වන විට Starliner යානා 3 ක් නිෂ්පාදනය කර ඇත. පළමු යානය භාවිතා කළේ Pad Abort පරීක්ෂාවටයි. යානය රොකට්ටුව මඟින් දියත් කරන මිනිත්තු කිහිපයේදී රොකට්ටුවේ ගැටළුවක් ඇති වුවහොත් යානයට රොකට්ටුවෙන් වෙන් වී ඉවතට ගමන් කිරීමට හැකි විය යුතුය. ඒ සඳහා RS-88 රොකට් එන්ජින් 4 කින් සමන්විත Starliner යානයේ මේ Abort පද්ධතිය පරීක්ෂා කරනු ලැබුවේ Pad Abort පරීක්ෂාවේදීය.

එහිදී බිම තිබූ යානය RS-88 එන්ජින් ක්‍රියාත්මක කිරීමෙන් කෙටි කාලයක් තුළ ඉහළට රැගෙන ගිය අතර ඉන්පසු පැරෂුට් මඟින් ගොඩබසින ලදී. මෙහිදී යානයේ පැරෂුට් 3 න් දෙකක් පමණක් නිසි ආකාරව විවෘත වූ අතර එයින් බලාපොරොත්තු නොවූ පරිදි යානයේ තවත් ආරක්ෂිත පද්ධතියක් පරීක්ෂාවට ලක් විය.

Boeing Pad Abort Test

දෙවන Starliner යානය අද රාත්‍රියේ අභ්‍යවකාශ ගත වන අතර තුන්වන යානය මීට පෙර සිදු කළ පරීක්ෂණ මෙහෙයුමට යොදා ගන්නා ලදී. මුල්ම Starliner මෙහෙයුම් සඳහා Boeing සමාගම තෝරාගෙන ඇත්තේ United Launch Alliance සමාගමේ Atlas V රොකට්ටුවයි. මෙහිදී මේ රොකට්ටුවේ වෙනස්කම් කිහිපයක් කිරීමට සිදු විය. සාමාන්‍ය Atlas V රොකට්ටුවක් සැලකූ විට එහි ගෙන යන අභ්‍යවකාශ යානාව අනුව කාරණා 3 ක් වෙනස් වේ. මෙය රොකට්ටුවේ වින්‍යාසය (Configuration) ලෙස හඳුන්වයි.

පළමු කාරණය රොකට්ටුවේ Payload Fairing හෙවත් අභ්‍යවකාශ යාකය ආවරණය කරන රොකට්ටුවේ ඉහළින්ම ඇති ආවරණයෙ විෂ්කම්භයයි. ගෙන යන යානාවේ විශාලත්වය අනුව මෙය මීටර් 4 හෝ 5 වේ.

දෙවන කාරණය රොකට්ටුවට සම්බන්ධ කරන ඝන ඉන්ධන රොකට් බූස්ටර් සංඛ්‍යාවයි. ගෙන යන යානයේ ස්කන්ධය හෝ එයට ලබා දිය යුතු ⁣ප්‍රවේගය වැඩි වන විට වැඩපුර බූස්ටර් සම්බන්ධ කරන අතර මේ සංඛ්‍යාව 0-5 අතර අගයකි.

රොකට්ටුවේ වින්‍යාසයේ තුන්වන කාරණය වන්නේ Atlas V දෙවන අදියර වන Centaur III අදියරේ ඇති එන්ජින් ගණනයි. මෙය 1 හෝ 2 වේ. උදාහරණයක් ලෙස Mars 2020 යානය අඟහරු බලා දියත් කළ Atlas V රොකට්ටුවේ වින්‍යාසය 541 වේ. එනම් එහි මීටර් 5 ක විෂ්කම්භය ඇති Payload Fairing, ඝන ඉන්ධන බූස්ටර් 4 ක් හා දෙවන අදියරේ තනි එන්ජිමක් ඇත.

Starliner යානය දියත් කරන රොකට්ටුවේදී යානය රොකට්ටුවේ ඉහළින් විවෘත ලෙස සවි කරන ⁣නිදා මෙහි Payload Fairing අන්තර්ගත වන්නේ නැත. ඒ නිසා එය None යන අදහසින් N ලෙස දක්වන අතර ඝන ඉන්ධන බූස්ටර් දෙකක් හා Centaur අදියරේ එන්ජින් දෙකක් භාවිතා වේ. ඒ අනුව Starliner යානා දියත් කරන Atlas V රොකට්වල වින්‍යාසය වන්නේ N22 ය.

දියත් කිරීම වෙනුවෙන් බලා සිටින Starliner OFT-2 යානය

අද (03) ප.ව. 10.50 ට Starliner OFT-2  යානය රැගත් Atlas V N22 රොකට්ටුව ඇමරිකාවේ ෆ්ලොරිඩා ජනපදයේ කැනවරල් තුඩුවේ අභ්‍යවකාශ හමුදා මූලස්ථානයේ Space Launch Complex-41 පුවරුවෙන් දියත් කරනු ඇත. එය පහත ලින්ක් එක හරහා සජීවීව නැරඹීමට හැක.