Loading...
iPhone Chipset එකක් සමඟ නිකුත් වීමට නියමි​ත Budget Macbook එක

Apple සමාගම සිය නිෂ්පාදන පෙළෙහි දැවැන්ත වෙනසක් සිදු කරමින්, ඉතා සහනදායී මිලකට ලබාගත හැකි නවතම MacBook එකක් හඳුන්වා දීමට සූදානම් වන බව වාර්තා වේ.

Bloomberg​හ් වාර්තාකරු Mark Gurman පවසන පරිදි, Apple සමාගම සිය ඉදිරි 'Budget' Macbook සඳහා ඉතා විචිත්‍රවත් වර්ණ මාලාවක් අත්හදා බලමින් සිටී. මෙය දැනට වෙළෙඳපොළේ ඇති MacBook Air හෝ MacBook Pro මාදිලිවල දකින්නට ලැබෙන සාම්ප්‍රදායික රිදී හෝ අළු වැනි වර්ණවලින් ඔබ්බට ගිය පියවරකි.


90 දශකයේ අගභාගයේදී Apple සමාගම හඳුන්වා දුන් iBook G3 පරිගණක පෙළ ඉන් පසුව පැමිණි වඩාත් වර්ණවත්ම Laptop කාණ්ඩය ලෙස මෙය ඉතිහාසගත වනු ඇත. වාර්තාවලට අනුව, මේ වන විට Apple සමාගම පහත සඳහන් වර්ණ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ඇත.

  • Light Yellow
  • Light Green
  • Blue
  • Pink
  • Classic Silver
  • Dark Gray

කෙසේ වෙතත්, මෙම සියලුම වර්ණ වෙළෙඳපොළට නිකුත් කරනු ඇත්ද යන්න තවමත් ස්ථිර නැත. iBook G3 පරිගණකය Tangerine, Blueberry, Indigo වැනි වර්ණවලින් හදුන්වාදුන් Apple සමාගම, දශක දෙකකට පමණ පසු නැවතත් එම වර්ණවත් සංකල්පයම සිය Budget MacBook මාදිලිය හරහා කරළියට ගෙන ඒමට උත්සාහ කරමින් සිටින බව පෙනේ.

iPhone Chipset එකකින් බලගැන්වෙන ප්‍රථම MacBook එ​ක

මෙම නව MacBook එකෙ​හි වඩාත්ම කැපී පෙනෙන තාක්ෂණික වෙනස වන්නේ එහි Chipset එක​යි. මෙම Budget Macbook මාදිලිය සඳහා Apple සමාගමේ සුප්‍රකට M-series CPU එක වෙනුවට iPhone සඳහා භාවිතා කරන A-series චිප් එකක් භාවිතා කිරීමට නියමිතය. බොහෝ දුරට මෙය iPhone 16 Pro මාදිලිය බලගැන්වූ A18 Pro චිප් එක වීමට ඉඩ ඇත.

මෙමඟින් උපාංගයේ නිෂ්පාදන පිරිවැය සැලකිය යුතු ලෙස අඩු කර ගැනීමට Apple සමාගමට හැකි වේ.

Design එ​ක

මිල අඩු කළද, Apple සමාගම සිය නිෂ්පාදනවල ඇති Premium Build Quality එක අත්හැරීමට සූදානම් නැත. මෙම නව MacBook මාදිලිය ද Aluminum Body එකකි​න් සමන්විත වනු ඇත. පිරිවැය පාලනය කරගැනීම සඳහා Apple සමාගම විසින් නවතම සහ වේගවත් නිෂ්පාදන ක්‍රියාවලියක් සංවර්ධනය කර ඇති අතර, එමඟින් Aluminum Bodies වඩාත් ලාභදායී ලෙස නිපදවීමට ඔවුන්ට හැකි වී තිබේ.

තවද, මෙ​ය අඟල් 13කට වඩා මඳක් අඩු ප්‍රමාණයේ Display සමන්විත වනු ඇති බවට වාර්තා වේ. මෙය දැනට පවතින Macbook Air මාදිලියට වඩා මඳක් කුඩා සහ සැහැල්ලු උපාංගයක් වනු ඇතැයි විශ්වාස කෙරේ.


නිකුත් කරන දිනය

නවතම තොරතුරුවලට අනුව, Apple සමාගම මෙම නව MacBook එක ඇතුළුව තව​ත් Budget Devices කිහිපය​ක් හඳුන්වා දීමේ Event එක​ක් එළඹෙන මාර්තු මාසයේ 4වන දින පැවැත්වීමට සැලසුම් කර ඇති බවට අපි ඔබට මීට පෙර වාර්තා කරන ලදී.

Source: macrumors.com