Loading...
විභාග වල අවසානයද? ChatGPT හි බුද්ධිය MBA විභාගයක් සමත් වීම සඳහා ප්‍රමාණවත් මට්ටමේ පවතින බවට සොයාගැනේ

කුඩා කාලයේ අප විසින් විවිධාකාරවූ ක්‍රීඩා සිදුකළ ඇති බව මතක ඇති බවට මා විශ්වාස කරන්නෙමි. ඒ අතරින් පරිඝණක ක්‍රීඩා කිරීමට හෝ ඒ සම්බන්ධ අත්දැකීමක් ලබාගැනීමට හැකිවූයේ අතලොස්සකටයි. නමුත් මේ වන විට සියල්ලන්ම පාහේ මෙම තාක්ෂණික ලෝකයේ සිදුවන දියුණුවට විවිර වී අවසන් ය. පරිඝණයක් නොමැති වුවත් එහි අඩුව පියවා ගැනීම සඳහා මේ වන විට තාක්ෂණයෙන් සන්නද්ධ වූ Smartphone සහ අනෙකුත් උපාංගයන් අප වෙත සමීප වී ඇත.

Source: entrepreneur.com

සාම්ප්‍රදායික අධ්‍යාපන රටාවෙන් ඔබ්බට අපට සිතීමට කාලය එළඹී ඇති අතරම එයට සම්බන්ධ වීමට අප හට අකමැත්තෙන් හෝ කිරීමට සිදුවන දෙයකි. එහි ප්‍රතිඵලයක් වශයෙන් මා දක්වන්නේ මෑත කාලය තුළ අන්තර්ජාලයේ මහත් සේ උද්‍යෝගයක් සහ ජනප්‍රියතාවයක් ලබාගත් ChatGPT නම් වූ කෘතිම බුද්ධිය භාවිතයෙන් නිර්මණය කළ යෙදවුම වේ. බොහෝ දෙනා මෙම යෙදවුම පරිශීලනය කිරීමෙන් පසුව අදහස් දැක්වූයේ අනාගතයේ විශාල ප්‍රමාණයේ රැකියා කප්පාදුවක් ඇතිවනු ඇති බවයි. නමුත් ඒ සඳහා අනාවැකි පැවසීමට අප ඉක්මන් විය යුතු නැත.

Source: pcmag.com

විභාගයකට මුහුණ දී ඇති සියල්ලන්ම පාහේ සිය ප්‍රශ්න පත්‍ර තුළ සඳහන් වන එක් කරුණක් පිළිබඳව හොඳින් මතක ඇති බවට මා විශ්වාස කරමි. එනම් " කිසිඳු ඉලෙක්ට්‍රොනික උපාංගයක් භාවිතා කිරීම තහනම් බවයි." මාගේ විශ්වාසය නම් එය කාලීන වන්නේ මෙම 2022න් පසු කාලයටයි. මන්දයත් මේ වන විට සිදුකළ පර්යේෂණ කිහිපයකින් පසු ගත් නිගමනයන්ට අනුව ChatGPT භාවිතා කර MBA උපාධියක විභාගයක් සමත් වීමට හැකියාව ඇති වීමයි.

මෙම පුවත සඳහන් වූ පමණින් සියල්ලම විසඳී නොමැත. එය 100%ක නිරවද්‍යතාවයකින් යුතුව සමත් වීමක් නොවන අතර එය තරමක දියුණු මට්ටමක පවතින්නාවූ සමත් වීමකි. නමුත් මෙය අප හට ඉතාම වැදගත් වන්නේ මෙවැනි තාක්ෂණික යෙදවුමක් මගින් ඉතාම සංකීර්ණ ගැටලු සඳහා යම්කිසි නිරවද්‍යතාවයකින් පිළිතුරු සැපයීම සිදුකළ හැකිවීම පිළිබඳවයි.

ChatGPT යනු කුමක් ද?

ChatGPT යනු OpenAI සමාගම විසින් නිර්මාණය කරන ලද Chatbot එකක් වේ. මෙය නිර්මාණය කිරීම සඳහා පාදක කරගෙන ඇති විශාල ප්‍රමාණයක Language Model භාවිතයෙන් සංවාදාත්මක තොරතුරු හුවමාරුවකින් පසුව එයට සමාන වූ ද නිරවද්‍ය වූද තොරතුරු පවතින දත්ත භාවිතා කර පරිශීලකයන් වෙත ලබාදීම සඳහා මෙම යෙදවුම නිර්මාණය කර ඇත.

Source: pcmag.com

ChatGPT භාවිතයෙන් සිදුකළ MBA විභාගය ආශ්‍රිත පරීක්ෂණය.

මෙම පරීක්ෂණ සිදුකර ඇත්තේ University of Pennsylvania’s Wharton School හි මහාචාර්යවරයෙකු වන Christian Terwiesch විසිනි. මොහු විසින් සිදුකර ඇත්තේ MBA විභාගයක් සඳහා සැකසෙන ප්‍රශ්න පත්‍රයක අඩංගු ප්‍රශ්න අතරින් ප්‍රශ්න පහක් පමණ මෙම ChatGPT වෙත ඇතුළත් කර ලැබෙන පිළිතුරු සමාලෝචනය කර බැලීමයි.

අවසානයේ දී එමගින් ලැබුණු පිළිතුරු සලකා බලන විට එම ප්‍රශ්න පහ සඳහා  "B හෝ B+" යන ලකුණු සීමාව වෙත ළඟා වීමට ප්‍රමාණවත් ලකුණු ලබාගෙන තිබූ බව ඔහු විසින් සඳහන් කර ඇත. එනම් එම විභාගය සමත් වීම සඳහා ප්‍රමාණවත් වන ලකුණු මට්ටම සපුරාගෙන ඇත. මේ පිළිබඳව ඔහු විසින් නිකුත් කළ පර්යේෂණ වාර්තාවක්ද පහත සඳහන් වේ. ඒ පිළිබඳව ද ඔබට අධ්‍යයනය කිරීම සඳහා අවස්ථාව ඇත.

Christian Terwiesch on Twitter

ඉහත සඳහන් වාර්තාව තුළ ඔහු විසින් මෙම පරීක්ෂණය සඳහා භාවිතා කළ ගැටලු මෙන්ම ඒ සඳහා ChatGPT මගින් ලබාගත් පිළිතුරු ද සඳහන් වේ.

අවසාන නිගමනයන් සහ දෝෂ.

ලිපිය ආරම්භයේදී ඔබට හැඟෙන්නට ඇත්තේ මෙය ඉතාමත් නිරවද්‍ය වන බවත් ඉදිරියේදී ඔබට ද සියලුම විභාග සඳහා භාවිතයට ගැනීමට හැකියාව ලැබෙනු ඇති බවත් ද? පිළිතුර 50% බැගින් ඔව් සහ නැත යන පිළිතුරු දෙකටම බෙදීමට සිදුවේ.

මන්දයත් මොහු විසින් සඳහන් කරන පරිදි මෙම ChatGPT හි මේ වන විට පවතින අනුවාදය සමග එය ඉතාමත් ඉහළ මට්ටමේ පවතින බවයි. එය මේ වන විට සැලකිය යුතු මට්ටමේ නිරවද්‍ය තොරතුරු ලබාගැනීම සඳහා භාවිතා කිරීමට ඉතාමත් යෝග්‍ය වේ.

නමුත් මෙම අනුවාදය සමග ක්‍රියාකිරීමේදී එය සම්මත සැකිල්ලක් මත පදනම් වී නිර්මාණය වී ඇති බැවින් ChatGPT සඳහා Advanced Process Analysis Questions එනම් විශ්ලේෂණාත්මක ක්‍රියාවලි සහිත ඉහළ මට්ටමේ ගැටලු සඳහා පිළිතුරු සැපයීමේදී ChatGPT හි දායකත්වය තරමක මන්දගාමී, නිරවද්‍යතාවයකින් අඩු මට්ටමක පවතී. එවැනි අවස්ථාවක දී මෙමගින් ලබාගන්නා තොරතුරු මත පදනම්ව විභාගය අසමත් වීමට ඉඩ ඇත. නමුත් ඉදිරියේදී නිකුත් වීමට නියමිත අනුවාද මගින් මෙම අඩුපාඩු සියල්ල සම්පූර්ණ කිරීමට ඔවුන් කටයුතු කරනු ඇති බවට අප හට විශ්වාස කළ හැකිවේ.

කෙසේ නමුත් ඔහු විසින් සඳහන් කරනු ලබන්නේ පරිශීලකයන් සඳහා පිළිතුරු සැපයීම කිනම් මට්ටමක පැවතියද ඔහුට මෙම ChatGPT භාවිතයෙන් ප්‍රශ්න නිර්මාණය කිරීමට ඉතාමත් පහසු වන බවයි.

අධ්‍යාපන ක්‍රමය බිඳ වැටීමේ අවධානමක් පවතී ද?

කිසිසේත් නැත. එයට හේතු ද මෙම පර්යේෂණ වාර්තාව ඔස්සේ ඔබ වෙත සඳහන් කර තිබීම විශේෂත්වයකි. නව තාක්ෂණයේ දියුණුවත් සමග අපට ද ඒ සමගම අනුගත වීමට සිදුවීම අප විසින් සිදුකළ යුතුම වේ. එසේ නොවුනහොත් අප කුඩා දූපතක තනි වූ ගෝත්‍රික කණ්ඩායමක් බවට පත්වනු ඇත. නමුත් මෙලෙස අනුගත වීම තුළ ද අප විසින් අනුගමනය කළ යුතු පියවර ඇත. රටක් තුළ හෝ යක් ප්‍රජාවක් තුළ පවතින අධ්‍යාපන ක්‍රමයේ දියුණුව සැලකීමේ දී ඔවුනගේ නිර්මාණශීලීත්වය සඳහා ප්‍රධාන ස්ථානයක් හිමිවනු ඇත.

Source: pcmag.com

මෙම පරීක්ෂණයේ ඇතුළත් වන තොරතුරුවලට අනුව පවතින අනුවාදය සමග A+ වැනි ප්‍රතිඵලයක් වෙත ළඟා වීම සඳහා ChatGPT හට තරමක අපහසුතාවයක් ඇත. එනම් දැනට මෙම පිටිය තුළ ඉදිරියෙන් පවතින්නේ මිනිසා වේ. මෙවැනි AI තාක්ෂණයන් ඉදිරියේදී ද නිර්මාණය වීමට නියමිතය. දැනටමත් නිර්මාණය වෙමින් පවතී. එලෙස නිර්මාණය වන්නේද යම් මිනිසෙකුගේ සිතෙහි ඇතිවන්නාවූ අදහසකට අනුවය.

එමනිසා අප ද මෙම සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමයෙන් නික්මී ඉදිරි පියවර තැබීමට අපගේ පහළ පරම්පරාව සූදානම් කළ යුතු වන්නෙමු. පවතින තාක්ෂණයන් භාවිතා කර අපගේ දැනුම, අවබෝධය සහ නිර්මාණශීලීත්වය වැඩිදියුණු කර ගැනීම අප සතුව පවතින වගකීමකි.

මෙම යෙදවුම හා මේ හා සම්බන්ධ තාක්ෂණික කරුණු පිළිබඳව දැනුවත් වීම සඳහා අප විසින් ඉදිරියේදී ගෙන එන ලිපි පෙළ සමග සම්බන්ධ වී සිටින්න.

Sources: searchenginejournal globalnews computing entrepreneur medrxiv