Loading...
චීන අභ්‍යවකාශ නැවතුම්පළට සම්බන්ධ මාස 3ක මෙහෙයුමක් අවසන් කරමින් චීන ගගනගාමීන් පෘථිවියට පැමිණෙයි

දින 90 ක් පුරා පෘථිවි කක්ෂයේ ඇති චීන අභ්‍යවකාශ නැවතුම්පළට සම්බන්ධ වී පරීක්ෂණ සිදු කළ Shenzhou 12 මෙහෙයුමේ ගගනගාමීන් තිදෙනා අද (17) පෙ.ව. 11.04 ට නැවත පෘථිවියට ගොඩබැස්සේ චීන ජාතික අභ්‍යවකාශ පරිපාලනායතනයේ (CNSA) අළුත්ම අභ්‍යවකාශ නැවතුම්පළේ පළමු කාර්ය මණ්ඩලය ලෙස තමන්ගේ කාර්ය භාර්ය අවසන් කරමිනි.

Tiangong-1 හා Tiangong-2 තනි මොඩියුල අභ්‍යවකාශ නැවතුම්පළවල් දෙකකට පසු අන්තර්ජාතික අභ්‍යවකාශ නැවතුම්පළ ආකාරයේ මොඩියුල කිහිපයක අභ්‍යවකාශ නැවතුම්පළක් ඉදි කිරීම ආරම්භ කරමින් චීනය Tianhe නමින් හැදින්වූ මොඩියුලය කක්ෂගත කරනු ලැබුවේ මේ වසරේ අප්‍රේල් 29 වන දිනයි. මෙය ඔවුන්ගේ චීන අභ්‍යවකාශ නැවතුම්පළේ පළමු මොඩියුලය වූ අතර ගගනගාමීන් තිදෙනෙක්ට ජීවත් වීමට හා වැඩ කිරීමට අවශ්‍ය මූලික පහසුකම්වලින් යුක්ත විය.

මේ මොඩියුලය තුළ මුළුතැන්ගෙයක්, වැසිකිළියක්, නිදන මැදිරි, ගිනි නිවන උපකරණ, සන්නිවේදන පද්ධතිය හා පාලක උපකරණ අන්තර්ගත විය. Tianhe මොඩියුලය දියත් කිරීමට යොදා ගත් Long March 5B රොකට්ටුව සුපුරුදු පරිදිම වගකීමකින් තොරව පෘථිවි කක්ෂයේ අතහැර දැමූ අතර ලෝකයේ කලබගෑනියක් ඇති කරමින් සති කිහිපයකට පසු නැවත වායුගෝලයට ඇතුළු වී කිසිවෙකුට හානියක් නොකර ඉන්දියන් සාගරයට කඩා වැටුණි.

Tianhe ෙමාඩියුලය

සමකයට 41.5° ක ආනතියක් ඇති කිලෝමීටර් 390 ක් ඉහළ පෘථිවි කක්ෂයක ඇති නැවතුම්පළ වෙත ගගනගාමීන් යැවීමට පෙර ඔවුන් සදහා අවශ්‍ය භාණ්ඩ හා සැපයුම් කිලෝග්‍රෑම් 6,640 ක් රැගෙන  Tianzhou 2 යානය දියත් කරනු ලැබුවේ මැයි 29 වනදායි. එය ස්වයංක්‍රීයව නැවතුම්පළේ පසුපස දොරටුව හා සම්බන්ධ වූ අතර ගගනගාමීන් රැගත් Shenzhou 12 යානය දියත් කරනු ලැබවේ ජුනි 17 වනදායි.

Nie Haisheng, Liu Boming හා Tang Hongbo රැගත් යානය Long March 2F රොකට්ටුවකින් කක්ෂයට ඇතුල් කළ අතර දියත් කිරීමෙන් පැය 6.5 කට පසු නැවතුම්පළේ ඉදිරි දොරටුව හා සම්බන්ධ වීමට හැකි විය. ඔවුන්ගේ පළමු කාර්යය වූයේ Tianhe මොඩියුලය ජීවත් වීමට හැකි පරිදි සකස් කර ගැනීමයි. ඒ අනුව භාණ්ඩ නිසි ස්ථානවල ඇසිරීම, සියළු පද්ධතීන් ක්‍රියාත්මක කර බැලීම ආදිය මුල් දිනවලදී සිදු කරන ලදී,

ගගනගාමීන්

අභ්‍යවකාශ නැවතුම්පළේ පළමු අභ්‍යවකාශ ඇවිදීම සිදු කරනු ලැබුවේ ජූලි 4 වනදායි. එහිදී Liu Boming හා Tang Hongbo විසින් චීනය සංවර්ධනය කළ අළුත්ම අභ්‍යවකාශ ඇදුම පරීක්ෂා කරන ලදී. මෙය චීනයේ දෙවන අභ්‍යවකාශ ඇවිදීම වන අතර පළමු අභ්‍යවකාශ ඇවිදීම සිදු කළේ වසර 13 කට පෙර Shenzhou 7 මෙහෙයුමේදීය. එය මිනිත්තු 22 ක් පමණක් සිදු කළ නමුත් මෙම අභ්‍යවකාශ ඇවිදීම අන්තර්ජාතික අභ්‍යවකාශ නැවතුම්පළේ සාමාන්‍ය අභ්‍යවකාශ ඇවිදීමකට ආසන්න කාලයක් සිදු කරන ලදී. පැය 6 මිනිත්තු 46 ක් සිදු කළ මේ අභ්‍යවකාශ ඇවිදීමේදී  Liu හා Tang නැවතුම්පළෙන් පිටත වැඩ කළ අතර නැවතුම්පළ තුළ සිටි Nie විසින් නැවතුම්පළේ රොබෝ හස්තය ක්‍රියාකරවන ලදී.

සම්පූර්ණ අභ්‍යවකාශ ඇවිදීම පුරාවටම Liu රොබෝ හස්තයේ කෙළවර සිටි අතර Nie විසින් නැවතුම්පළ තුළ සිට මේ හස්තය යා යුතු ස්ථානය පාලනය කරන ලදී. ඒ අතර Tang නැවතුම්පළ පිටත පෘෂ්ඨයේ සවි කර ඇති ආධාරක මගින් නැවතුම්පළ වටා ගමන් කරන ලදී. මේ අභ්‍යවකාශ ඇවිදීමේදී මෙම මොඩියුලයේ පිටත සම්බන්ධ කර ඇති කැමරාවක් විවෘත කරන ලදී. මෙම කැමරාව දියත් කරන අවස්ථවේදී හකුළා තැන්පත් කර තිබුණි. මිනිත්තු 22 ක අත්දැකීමකින් පැය 7 කට ආසන්න අභ්‍යවකාශ ඇවිදීමක් සිදු කළ ගගනගාමීන් සාර්ථකව අභ්‍යවකාශ ඇවිදීම අවසන් කර නැවතුම්පළට නැවත ඇතුල් විය.

ඔවුන්ගේ දෙවන අභ්‍යවකාශ ඇවිදීම සිදු කළේ අගෝස්තු 20 වනදායි. මෙහිදී Nei හා Liu නැවතුම්පළෙන් පිටතට ගමන් කළ අතර මෙහිදී සිදු කිරීමට බලාපොරොත්තු වූ ප්‍රධාන කාර්යයන් වූයේ කැමරාවක් හා අමතර උෂ්ණත්ව පාලක පොම්පයක් සවි කිරීමයි. පැය 5 මිනිත්තු 55 ක සාර්ථක අභ්‍යවකාශ ඇවිදීමක් අවසන් කරමින් ගගනගාමීන් නැවත නැවතුම්පළ තුළට ඇතුළු විය.

මෙහෙයුමේ ඉතිරි කාල වේලවලදී ගගනගාමීන් විවිධාකාරයේ විද්‍යාත්මක පරීක්ෂණවල නිරත වූ අතර චීනයේ පාසල් සිසුන් සමඟ සජීවී සංවාදයක නිරත වීමටත් අමතක කළේ නැත. එමෙන්ම චීන ජනාධිපති ගගනගාමීන්ව අමතා සුභ පතන ලදී. දින 90 ක මෙහෙයුම් කාලය අවසන් වීමෙන් පසු ගගනගාමීන් තිදෙනා තමන් පැමිණි Shenzhou 12 යානයේ නැගී නැවතුම්පළින් වෙන් වූයේ ඊයේ (16) පෙ.ව. 06.26 ටයි. ඉන්පසු යානය අද (17) පෙ.ව. 10.18 ට එහි එන්ජින් ක්‍රියාත්මක කර තම කක්ෂය වායුගෝලය තුළට පහත් කර ගන්නා ලදී. මැද පෙරදිග ප්‍රදේශයට ඉහළින් පෘථිවි වායුගෝලයට ඇතුළු වූ යානය එහි පැරෂුට් එක විවෘත කර චීනයේ ගෝබී කාන්තාරයට ගොඩබසින ලදී.

මේ අතර නැවතුම්පළට සම්බන්ධ වී පවතින Tianzhou 2 යානය නුදු⁣රු අනාගතයේදී නැවතුම්පළෙන් වෙන් වී පෘථිවි වායුගෝලයට ඇතුළු වී විනාශ වී යනු ඇත. ඊළඟ ගගනගාමීන් යැවීමට පෙර නැවතුම්පළට භාණ්ඩ රැගෙන වන Tianzhou 3 යානය රැගත් Long March 7 රොකට්ටුව මේ වන විටත් දියක් කිරීමට සූදානමින් ඇත. මීළඟ ගගනගාමී කණ්ඩායම ඔක්තෝබර් මාසයේදී නැවතුම්පළට ගමන් කරනු ඇත.