Loading...
දිවයිනම ආවරණය වන පරිදි 4G ජාලය පුළුල් කිරීමට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පෙරමුණ ගනී

මේ වෙන විට ශ්‍රී ලංකාව තුල 5G නියමු ව්‍යාපෘතින් Dialog, SltMobitel හා Hutch සමාගම් විසින් දියත් කරමින් සිටින බවට අපි ඔබව මිට පෙර දැනුම්වත් කර තිබෙනවා. කෙසේ වෙතත් තවමත් ශ්‍රී ලංකාව තුල 4G හෝ 3G Network පහසුකම් නොමැති ප්‍රදේශ බොහෝමයක් පවතිනවා.

Covid - 19 වසංගත තත්වයත් සමග බොහෝ දෙනා නිවසට වි තම කටයුතු කර ගැනිමට සිදු වි ඇති නිසා මේ දිනවල 3G හෝ 4G Network පහසුකමක් තිබිම අත්‍යාවශ්‍යම වෙනවා. මේ වෙන විට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් තවමත් 4G තාක්ෂණය නොමැති ප්‍රදේශ වෙත කඩිනමින් 4G තාක්ෂණය ලබා දිම සදහා  "ගමට සන්නිවේදනය " නම් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරමින් සිටිනවා.

පසුගිය වසරේදි ආරම්භ කරන ලද මේ “ගමට සන්නිවේදනය” ව්‍යාපෘතිය ඩිජිටල් ශ්‍රී ලංකාවක් නිර්මාණ කිරීමේ අරමුණ සහිතව භූගෝලීය බාධක නොතකා දිවයින පුරා ඩිජිටල් සේවාවන් සඳහා බාධාවකින් තොරව ප්‍රවේශවීම සහතික කිරීමත්, 100% ක් 4G හෝ Broadband ආවරණය ශ්‍රී ලංකාව පුරා ස්ථිර කිරීමත් මෙහි අරමුණ වෙනවා. මේ ව්‍යාපෘතිය සදහා ශ්‍රී ලංකාව තුල අන්තර්ජාල සේවා සපයන සියලු ආයතනය සහය වෙන අතර විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් ද මේ ව්‍යාපෘතිය තුල ආයෝජනය සිදු කරනු ලබනවා.

මේ ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකාව තුල 4G තාක්ෂණය නොමැති ප්‍රදේශ හදුනා ගනිමින් ශ්‍රී ලංකාව තුල අන්තර්ජාල සේවා සපයන ආයතනය දැනුම්වත් කරමින් හා 4G තාක්ෂණය ලබා දිමට අවශ්‍ය විදුලි සංදේශ කුළුණු ඉදි කිරිම සිදු වෙනවා. මේ ව්‍යාපෘතිය සදහා SLT-Mobitel සමාගම හා Dialog Axiata සමාගමත් සක්‍රීය ලෙස දායක වෙනු ලබනවා.

මෙහි නියමු ව්‍යාපෘතිය රත්නපුර දිස්ත්‍රික්කය මුලික කරගෙන ආරම්භ වු අතර රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 17 ක්, ජාතික පාසල් 14 ක්, පළාත් පාසල් 588 ක්, රෝහල් 38 ක් සහ රජයේ ආයතන ආවරණය කරමින් දිස්ත්‍රික්කයේ මහජනතාවට අවශ්‍ය සන්නිවේදන අවශ්‍යතා ද මේ ව්‍යාපෘතිය ඔස්සේ සපයනු ලබනවා. ඒ අනුව මෙන්ම උපදෙස් ද මෙම ව්‍යාපෘතිය මගින් ලබා දෙනු ඇත. මේ ව්‍යාපෘතිය මගින් රත්නපුර දිස්ත්‍රික්කය පුරාවු ප්‍රදේශ සදහා නව සන්නිවේදන කුළුණ 37ක් ඉදිකිරීමත් සිදු වෙනවා.

මේ “ගමට සන්නිවේදනය” ව්‍යාපෘතියේ තවත් අදියරයක් ලෙස කුරුණෑගල දිස්ත්‍රික්කය සදහා  අවශ්‍ය 4G සන්නිවේදන පහසුකම් සැපයීමට නව සන්නිවේදන කුලුනු 50ක ඉදිකිරීම් කටයුතු මුලික අදියරේ පවතිනවා.

ඒ වගේම මේ ව්‍යාපෘතිය යටතේ මාතර දිස්ත්‍රික්කය සදහා අවශ්‍ය 4G සන්නිවේදන පහසුකම් ලබා දිමට අවශ්‍ය නව සන්නිවේදන කුලුනු 23 ක් ඉදිකිරීමේ සදහා අවශ්‍ය ඉඩම් හදුනා ගනිමින් පවතිනවා.

මේ වෙන විට පවතින Covid-19 වසංගතය තත්වය තුල ශ්‍රි ලංකා විදුලි සංදේශ නියාමන කොමිශන් සභාවේ අධික්ෂණය මත, දුරකථන සේවා සපයන සමාගම් සමග “ගමට සන්නිවේදනය” ව්‍යාපෘතිය ඔස්සේ සිදු කරන මේ දිස්ත්‍රික් ව්‍යාපෘතිය සියල්ල මේ වසර ජුලි මාසය අවසන් වෙන විට නිම කිරිමට ඔවුන් බලාපොරොත්තුවෙන් සිටිනවා.

Source : TRCSL