Loading...
ශ්‍රී ලංකාව තුළ බහු සම්ප්‍රේෂණ කුළුණු ඉදිකිරීමට Edotco සමාගමටත් අවසර ලබා දීමට සුදානම් වේ

ශ්‍රී ලංකාව පුරා මේ වන විට ජංගම දුරකථන කුළුණු 7,000ක පමණ ප්‍රමාණයක් ක්‍රියාත්මක වෙමින් පවතින අතර අධික ප්‍රමාණයක් පවතින අතර දැනට බහු සම්ප්‍රේෂණ ජංගම දුරකථන කුළුණු ඉදිකිරීම සිදු කරනු ලබන්නේ රජය සමඟ එකතුව ඒ ඒ දුරකථන සේවා සපයන සමාගම් විසිනුයි. එමෙන්ම දැනට ශ්‍රී ලංකාව තුළ වසරකට දුරකථන කුළුණු 300 පමණ ප්‍රමාණයක් අලුතෙන් ඉදිවනු ලබනවා.


යෝජිත විදුලි සංදේශන නියාමන සංශෝධන පනත ඔස්සේ මෙම බහු සම්ප්‍රේෂණ කුළුණු ඉදිකිරීම තෙවන පාර්ශ්වයක් වෙත ද පැවරීමට සූදානම් වී ඇති අතර මෙය සඳහා Axiata Groupහි යටිතල පහසුකම් සපයන අනුබද්ධිත ආයතනයක් වන Edotco ආයතනය අවධානය යොමු කර තිබෙනවා. මොවුන් විසින් මැලේසියාව, මියන්මාරය, බංග්ලාදේශය, කාම්බෝජය, ශ්‍රී ලංකාව, පකිස්ථානය, ඉන්දුනීසියාව, පිලිපීනය සහ ලාඕසය ආදි රටවල් රැසක සම්ප්‍රේෂණ කුළුණු 58,000කට අධික ප්‍රමාණයක් මේ වන විට ඉදිකර, නඩත්තු කරනු ලබනවා.

ඒ අනුව මොවුන් විසින් 5G Ready බහු සම්ප්‍රේෂණ කුළුණු ශ්‍රී ලංකාව තුළ ඉදි කිරීම සඳහා අවධානය යොමු කර ඇති අතර මෙය ශ්‍රී ලංකාව තුළ 5G තාක්ෂණය තව දුරටත් ව්‍යාප්ත කිරීමට සියලු දුරකථන සේවා සපයන සමාගම්වලට සහායක් වනු ඇතැයි බලාපොරොත්තු වන්න පුලුවන්.


ශ්‍රී ලංකාවට බලපා ඇති මුල්‍ය අර්බුදය හමුවේ, අයවැය කප්පාදුව නිසා මේ වන විට රජය විසින් නව දුරකථන කුළුණු ඉදිකිරීම සිමා කර තිබෙන අතර මෙලෙස තෙවන පාර්ශවයක් වෙත බහු සම්ප්‍රේෂණ කුළුණු ඉදිකිරීමේ හැකියාව ලබා දීම මෙරට සන්නිවේදන ක්ෂේත්‍රයේ හැරවුමක් වනු ඇතැයි අපේක්ෂා කළ හැකියි.

Source: capacitymedia.com