Loading...
2022 ආරම්භයත් සමඟ ගමන් වාර 10කට සැරසෙමින් වසර 2ක නිද්‍රාවෙන් ඇහැරෙන Elon Muskගේ යෝධ දරුවා, Falcon Heavy

වර්තමානයේ ලෝකයේ ක්‍රියාකාරී මට්ටමේ පවතින බලවත්ම රොකට්ටුව වන SpaceX සමාගමේ Falcon Heavy රොකට්ටුවේ මුල්ම දියත් කිරිම් තුනෙන් පසු වසර දෙකකින් පමණ කිසිම දියත් කිරීමක් සිදු කර නැහැ. ඉතින් බොහෝ දෙනා Falcon Heavy රොකට්ටුවට මොනවද වෙලා තියෙන්නේ කියලා බලනවා.

Falcon Heavy නම් රොකට්ටුව පිළිබද අදහස එන්නේ SpaceX සමාගමේ මුල් කාලයේදීමයි. Boeing සමාගමේ Delta IV Heavy රොකට්ටුව මෙන් සාමාන්‍ය රොකට්ටුවක පළමු අදියරවල් තුනක් සමාන්තරව ක්‍රියාකරවමින් වඩා බලවත් රොකට්ටුවක් සංවර්ධනය කිරීමට SpaceX සමාගම 2003 දී අදහස් කරන ලදී. නමුත් ඔවුන් ඒ කාලයේ සූදානම් වූයේ ඒ වන විට SpaceX සමාගම සංවර්ධනය කරමින් තිබූ Falcon 1 රොකට්ටුවේ පළමු අදියර 3 ක් එකට සම්බන්ධ කිරීමටයි.

නමුත් Falcon 1 රොකට්ටුවේ මුල් දියත් කිරීම් 3 ම අසාර්ථක වූ නිසා සහ Falcon 9 රොකට්ටුව සංවර්ධනයට නාසා ආයතනයේ මුදල් හා උපකාරය ලැබුණු නිසා Falcon 9 රොකට් යොදා ගෙන Falcon Heavy රොකට්ටුව සංවර්ධනයට තීරණය කරන ලදී. 2011 අප්‍රේල් මස SpaceX සමාගම පැවසූයේ 2013 දී තමන්ගේ Falcon Heavy රොකට්ටුව පියාසර කරන බවයි. නමුත් Falcon 9 රොකට් දෙකක අසාර්ථකවීම්  නිසා සහ පළමු අදියර 3 ක් සමාන්තරව ක්‍රියාකිරීමේ ඇති ඉංජිනේරුමය ගැටළු නිසා Falcon Heavy රොකට්ටුවේ සංවර්ධනය කිරීම් අවසන් වූයේ 2018 වසරේදීය.

මීට සමාන්තරව Falcon 9 රොකට්ටුවත් v1.0, v1.1, Full Thrust, Block 4 ලෙසින් සංවර්ධනය වූ අතර පළමු Falcon Heavy රොකට්ටුවට යොදා ගත් බූස්ටර් Falcon 9 FT/B4 කාණ්ඩයට අදාළ වේ. රොකට්ටුවේ මංගල ගමන යනු රොකට්ටුව පරීක්ෂා කිරීමට සිදු කරන මෙහෙයුමක් නිසා‌ මෙයට වාණිජ හෝ රාජ්‍ය අභ්‍යවකාශ යානාවක් අන්තර්ගත වූයේ නැත. ඒ වෙනුවට සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී (CEO) වන Elon Musk ගේ පෞද්ගලික Tesla Roadstar මෝටර් රථය මෙම මෙහෙයුමට එක් කරනු ලැබුවේ එයින් ලැබෙන ප්‍රසිද්ධියත් සැලකිල්ලට ගෙනයි.

පෘථිවිය හැර යන Starman

Falcon Heavy පළමු රොකට්ටුව 2018 පෙබරවාරි 7 වනදා ඇමරිකාවේ ෆ්ලොරිඩා ජනපදයේ නාසා ආයතනයේ කෙනෙඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ Launch Complex-39A පුවරුවෙන් දියත් කරන අතර පළමු අදියරේ හා බූස්ටර් දෙකේ ඇති Merlin 1D එන්ජින් 27 න් ලැබෙන තෙරපුම් බලයෙන් රොකට්ටුව නියමිත ගමන් මාර්ගයේ නිසි ආකාරයෙන් ගමන් කරන ලදී. බූස්ටර් දෙකේ ඉන්ධන මුළින් අවසන් විය යුතු නිසා පළමු අදියරේ එන්ජින්වල බලය අඩු කර ක්‍රියා කරන අතර දියත් කිරීමෙන් මිනිත්තු 2 තත්පර 34 කට පසු බූස්ටර් දෙක වෙන් විය.

පළමු අදියර විසින් රොකට්ටුව දිගටම අභ්‍යවකාශය වෙත ත්වරණය කරන විට බූස්ටර් දෙක ආපසු හැරී එන්ජින් ක්‍රියාත්මක කර නැවත ගොඩබිම වෙතට ඒමට ගමන් මාර්ගය සකස් කර ගන්නා ලදී. මේ අතර පළමු අදියර එන්ජින් ක්‍රියා විරහිත කර දෙවන අදියරෙන් වෙන් වූ අතර දෙවන අදියරේ තනි එන්ජිමෙන් රොකට්ටුව දිගටම ත්වරණය විය. බූස්ටර්ස් දෙක සාර්ථකව කැනවරල් තුඩුවේ Landing Zone 1 හා 2 වේදිකා දෙකට ගොඩබසින විට පළමු අදියර ගමන් කරන දිශාවටම ගමන් කර අත්ලාන්තික් සාගරය මැද ඇති Of Course I Still Love You ඩ්‍රෝන්ෂිප් එකට ගොඩබැසීමට උත්සාහ කරන ලදී.

කෙසේ නමුත් එන්ජින් ක්‍රියාත්මක කිරීමට ගන්නා  TEA-TEB ද්‍රවය අවසන් වීම නිසා ගොඩබැසීමට අවශ්‍ය වන එන්ජින් 3 න් 2 ක් ක්‍රියාත්මක වූයේ නැත. මේ නිසා පළමු අදියර ඩ්‍රොන්ෂිප් එක අසළින් සාගරයට කඩාගෙන වැටුණි. දෙවන අදියර එන්ජින් දහනයන් 3 ක් සිදු කළ අතර එයින් මෝටර් රථය ස්ථිර වශයෙන් සවි කළ දෙවන අදියර නක්ෂත්‍ර ඒකක 1.67 ක උපරිමයක් ඇති ඉලිප්සාකාර සූර්ය කක්ෂයකට ඇතුල් විය.

මේ මෙහෙයුමෙන් Falcon Heavy රොකට්ටුවේ ක්‍රියාකාරිත්වය තහවුරු වූ අතර වසර කිහිපයකට පෙර සවුදි අරාබියේ සන්නිවේදන චන්ද්‍රිකාවක් දියත් කිරීමට ලබා ගෙන තිබූ කොන්ත්‍රාත්තුවක් අනුව දෙවන Falcon Heavy රොකට්ටුව 2019 අප්‍රේල් 12 වනදා දියත් කරන ලදී. මේ රොකට්ටුව කලින් රොකට්ටුවට වඩා වෙනස් වූයේ මෙය සම්පූර්ණයෙන්ම Falcon 9 Block 5 රොකට්ටුවේ තාක්ෂණය අනුව සෑදූ රොකට්ටුවක් වීමයි.

ඒ අනුව කිලෝග්‍රෑම් 6,465 ක ස්කන්ධය ඇති Arabsat-6A චන්ද්‍රිකාව භූ ස්ථාවර කක්ෂයක් බලා යන ඉලිප්සාකාර කක්ෂයකට ඇතුල් කරන ලදී. බූස්ටර් දෙක සුපුරුදු පරිදි LZ-1 හා 2 වල ගොඩබැස්ස අතර පළමු අදියර සාර්ථකව ගොඩබිම සිට කිලෝමීටර් 967 ක්දුරින් නවතා තිබූ Of Course I Still Love You ඩ්‍රෝන්ෂිප් එක මතට ගොඩබැසීමට සමත් විය. නමුත් Falcon 9 පළමු අදියර ගොඩබැසීමෙන් පසු පෙරළීමට නොදී අල්ලාගන්නා Octagrabber රොබෝ යන්ත්‍රය මේ වන විට Falcon Heavy පළමු අදියර වෙනුවෙන් සකස් කර නොතිබූ නිසා මේ බූස්ටරය අල්ලා ගැනීමට හැකි වූයේ නැත.

මේ නිසා රළු මුහුදු තත්වයක් හමුවේ බූස්ටරය මුහුදට පෙරළුණි. Falcon Heavy තුන්වන මෙහෙයුම සිදු කරනු ලැබුවේ ඇමරිකා ගුවන් හමුදාව වෙනුවෙනි. හමුදාවේ අනාගත වැදගත් මෙහෙයුම් සදහා මෙම රොකට්ටුව සහතික කිරීමට මෙම මෙහෙයුම යොදා ගත් අතර Space Test Program Flight 2 නමින් හැදින්වූ මේ මෙහෙයුමේදී කිලෝග්‍රෑම් 3,700 ක සම්පූර්ණ ස්කන්ධය ඇති චන්ද්‍රිකා 24 ක් පහළ හා මධ්‍යම කක්ෂවලට ඇතුල් කරන ලදී. මේ මෙහෙයුමේදී දෙවන අදියරේ එන්ජින් දහනයන් 4 ක් පමණ සිදු කළ අතර සියළු චන්ද්‍රිකා විවිධ කක්ෂවලට මුදා හැරීමට පැය 6 ක් පමණ ගත වුණි.

මෙය දියත් කිරීම සදහා යොදා ගත් බූස්ටර් දෙක කලින් Arabsat-6A මෙහෙයුමට යොදා ගත් බූස්ටර් දෙකම වූ අතර අළුත් පළමු අදියර ගොඩබැසීමට උත්සාහ කළේ කිලෝමීටර් 1,200 ක් පමණ දුරින්ය. මෙය SpaceX සමාගම බූස්ටරයක් ගොඩබැස්වීමට උත්සාහ කළ උපරිම දුර වූ අතර මෙහිදී වායුගෝලයට ඇතුල් වීමේදී ඇති වූ අධික තාපය නිසා පළමු අදියරේ පහළ කොටසට හානි වීමෙන් ගොඩබැසීම අසාර්ථක විය.


මේ අනුව Falcon Heavy රොකට්ටුව ඇමරිකානු ආරක්ෂක අංශවල චන්ද්‍රිකා දියත් කිරීමටත් සහතික වූ ලැබූ අතර ඉන්පසු දියත් කිරීම් ගණනාවකටම කොන්ත්‍රාත් දිනා ගැනීමට SpaceX සමාගම සමත් විය. සාමාන්‍යයෙන් රොකට් ක්ෂේත්‍රයේ රොකට් දියත් කිරීමක් සදහා රොකට්ටුව නිපදවීමට වසර 2-3 ක් පමණ ගත වේ. මේ නිසා වසර දෙකක පමණ නිහඩතාවයකින් පසුව නැවතත් Falcon Heavy රොකට් දියත් කිරීම් ගණනාවක් පෙළ ගැස්වී ඇත.

Falcon Heavy රොකට්ටුව පිළිබද සලකා බැලීමේදී බොහෝ දෙනා හරියට තේරුම් නොගන්නා දෙයක් වන්නේ මේ රොකට්ටුවේ හැකියාවයි. Falcon Heavy රොකට්ටුවේ ඉහළම හැකියාවන් දැක ගත හැක්කේ  එහි බූස්ටර්ස් හා පළමු අදියර ඉන්ධන අවසන් වන තෙක් භාවිතා කළහොත් පමණි. මෙහිදී රොකට්ටුවට පහළ පෘථිවි කක්ෂයට (LEO) කිලෝග්‍රෑම් 63,800 ක් හෝ භූ ස්ථාවර කක්ෂයක් බලා ගමන් කරන අතරමැදි කක්ෂයකට (GTO) කිලෝග්‍රෑම් 26,700 ක් යැවිය හැක. මෙහිදී රොකට්ටුවේ බූස්ටර් හෝ පළමු අදියරයන් කිසිවක් ගොඩබසින්නේ නැති නිසා රොකට්ටුවේ විකිණුම් මිල ඩොලර් මිලියන 150 ක් වේ.

Falcon රොකට් පෙළපත

Falcon Heavy රොකට්ටුව භාවිතා කළ හැකි තවත් ක්‍රමයක් වන්නේ මෙතෙක් දියත් කළ මෙහෙයුම් 3 ම දියත් කළ ආකාරය වන බූස්ටර් දෙක නැවත ගොඩබිමටත් පළමු අදියර ඩ්‍රෝන්ෂිප් එක මතටත් ගොඩබැස්වීමයි. මෙය රොකට්ටුවේ අඩුම හැකියාව දක්වන ආකාරය වන අතර මෙහිදී පහළ පෘථිවි කක්ෂයට යැවිය හැක්කේ කිලෝග්‍රෑම් 23,000 ක් පමණක් වන අතර GTO හැකියාව කිලෝග්‍රෑම් 8,000 දක්වා අඩු වේ.

විකිණුම් මිල ඩොලර් මිලියන 90 ක් වේ. Falcon Heavy රොකට්ටුව යැවිය හැකි තවත් අතරමැදි අකාරයක් ඇත. ඒ බූස්ටර් දෙක සාගරය මැද ඇති ඩ්‍රෝන්ෂිප් දෙකකට ගොඩබස්වමින් පළමු අදියර ඉන්ධන අවසන් වන තුරු භාවිතා කිරීමයි. මෙහිදී රොකට්ටුවේ මිල ඩොලර් මිලියන 95 ක් වන අතර රොකට්ටුවේ හැකියාවන් අඩු වන්නේ උපරිමයෙන්  10% ක් පමණි.

ඉතින් වසර  2 ක බලා සිටීමෙන් පසු ඔබට දැක ගත හැකි මීළග Falcon Heavy දියත් කිරීම මේ විස්තර කර ක්‍රම අතරින් අවසන් ක්‍රමයේ දියත් කිරීමකි. එනම් ඔබට බූස්ටර් දෙක අත්ලාන්තික් සාගරයේ නවතා ඇති Just Read the Instructions හා A Shortfall of Gravitas ඩ්‍රෝන්ෂිප් දෙක මතට එකවර ගොඩබසිනු දැක ගැනීමට හැකි වනු ඇත. නමුත් මෙම මෙහෙයුමේදී පළමු අදියර ඉන්ධන අවසන් වන තුරුම භාවිතා කරන නිසා එය ගොඩබසින්නේ නැත.

ඔක්තෝබර් 9 වනදා දියත් කරන මෙම රොකට්ටුවේ ගෙන යන්නේ USSF-44 නමින් හදුන්වන එක්සත් ජනපද අභ්‍යවකාශ හමුදාවේ රහසිගත චන්ද්‍රිකාවක් හෝ චන්ද්‍රිකා කිහිපයකි. මෙය කෙළින්ම භූ ස්ථාවර කක්ෂයකට ඇතුළු කිරීමට නියමිත වේ. මීට අමතරව Falcon Heavy රොකට්ටුව මේ වන විට දිනා ගෙන ඇති දියත් කිරීම් කොන්ත්‍රාත්තු පහත දැක්වේ.

  • USSF-52 (2022)
  • ViaSat 3 (2022)
  • Psyche (2022 අගෝස්තු)
  • USSF-67 (2022)
  • VIPER (2023)
  • GOES-U (2024 අප්‍රේල්)
  • Europa Clipper (2024)
  • Gateway (2024)
  • Dragon XL 1+2 (2024 හා 2026)