Loading...
වසර 3 කට පසු Falcon Heavy ගුවනට

SpaceX සමාගමේ Falcon Heavy රොකට්ටුව යනු වර්තමාන ලෝකයේ ක්‍රියාකාරී රොකට් අතරින් බලවත්ම රොකට්ටුව වේ. එම කීර්ති නාමය පවතිනු ඇත්තේ මේ මස මැද භාගයේදී Space Launch System රොකට්ටුව දියත් කරන තුරු පමණි. කෙසේ නමුත් ලෝකයේ ක්‍රියාකාරීව පවතින බලවත්ම රොකට්ටුව ලෙසින් දියත් කරන අවසන් Falcon Heavy රොකට්ටුව පෙරේ​දා (01) රාත්‍රියේ දියත් කරන ලදී. ඒ වසර 3 ක නිහැඬිතාවයකට පසුවයි. මෙම රොකට්ටුවේ දියත් කරන්නේ ඇමරිකානු ආරක්ෂක අංශයේ රහසිගත චන්ද්‍රිකා කිහිපයකි.

2018 දී පරීක්ෂණ මෙහෙයුම ලෙසින් Elon Musk ගේ පෞද්ගලික Tesla Roadster කාර් රථය දියත් කළ Falcon Heavy රොකට්ටුව පසුව ඇමරිකානු ආරක්ෂක අංශයේ STP-2 මෙහෙයුම සහ Arabsat-6A වාණිජ චන්ද්‍රිකාව දියත් කරන ලදී. මෙම දියත් කිරීම් 3 ම Falcon Heavy රොකට්ටුවේ සම්පූර්ණ හැකියාවන් භාවිතා කළේ නැත. ඒ නිසා රොකට්ටුවේ බූස්ටර් දෙක ආපසු ගොඩබිමට පැමිණ ගොඩබැසීමට සමත් වූ අතර පළමු අදියර සාගරයේ නවත්වා තිබූ ඩ්‍රොන්ෂිප් එකට ගොඩබැසීමට උත්සාහ කරන ලදී.

නමුත් සාමාන්‍ය Falcon 9 රොකට් දියත් කිරීම්වලදී පළමු අදියර ගොඩබසින දුරට (~650 km) වඩා තරමක් ඈතට (1,000+ km) ගමන් කරන තරම් වේගයෙන් පැමිණෙන නිසා උත්සාහයන් 3 න් Arabsat-6A මෙහෙයුමේදී පමණක් පළමු අදියර සාර්ථකව ගොඩබැසීමට සමත් විය.

කෙසේ නමුත් මෙම දියත් කිරීම් 3 න් පසුව තිබුනේ ඇමරිකානු ආරක්ෂක අංශයේ USSF-44 මෙහෙයුමයි. එම රහසිගත මෙහෙයුම 2020 අවසන් කාර්තුවට නියමවී තිබුනත් දිගින් දිගටම ප්‍රමාද වීමෙන් අවසානයේ ඊයේ දිනය දක්වා දියත් කිරීම කල් දමන ලදී. ඉතින් මේ USSF-44 මෙහෙයුම යනු කුමක්ද? මෙය ඇමරිකානු ආරක්ෂක අංශය විසින් දියත් කරන රහසිගත කාණ්ඩයේ මෙහෙයුමකි.

එනම් මෙහි ගෙන ගිය චන්ද්‍රිකා ගැන තොරතුරු බාහිරට ලබා දෙන්නේ නැත. මෙම මෙහෙයුමේදී නම් ගෙන යන චන්ද්‍රිකා ගැන ඉතාමත් සරල විස්තරයක් ඉදිරිපත් කර ඇත. මෙම රොකට්ටුවේ චන්ද්‍රිකා කණ්ඩායම් 2 ක් ගෙන යයි. එකක් Shepherd Demonstration නමින් හදුන්වන චන්ද්‍රිකාවක් හෝ චන්ද්‍රිකා කිහිපයකි. දෙවැන්න Northrop Grumman සමාගමේ EELV Secondary Payload Adapter (ESPA) චන්ද්‍රිකාවකි. මෙය කුඩා චන්ද්‍රිකා රැගෙන යන චන්ද්‍රිකාවකි. මෙහි පළමු වැන්න Long Duration Propulsive ESPA (LDPA) 1 ලෙසින් පසුගිය වසරේ STP-3 මෙහෙයුමේදී Atlas V රොකට්ටුවකින් දියත් කරන ලදී.

දෙවන LDPA චන්ද්‍රිකාව ලෙසින් USSF-44 මෙහෙයුමේ දියත් කරන මෙහි තවත් චන්ද්‍රිකා 6 ක් සවි කර ඇත. එයින්  3 ක් කක්ෂයේදී මුදා හරින අතර ඉතිරි 3 මෙයට සම්බන්ධ වී දිගටම ක්‍රියා කරනු ඇත. Shepherd Demonstration සහ LDPA 2 මෙට්‍රික් ටොන් 3.7 ක ස්කන්ධයකින් යුක්ත වේ. රොකට්ටුව විසින් මෙම චන්ද්‍රිකා ඍජුවම භූ ස්ථාවර සමක කක්ෂයකට ඇතුල් කිරීමට නියමිත වේ. ඒ නිසා මෙය SpaceX සමාගම විසින් සිදු කරන පළමු භූ ස්ථවර කක්ෂ දියත් කිරීම වේ.

මෙම දියත් කිරීමට යොදා ගත් Falcon Heavy රොකට්ටුවේ සියළුම කොටස් අළුත්ම ඒවා වේ. බූස්ටර් දෙක ලෙස ඇත්තේ B1064 සහ B1065 ය. මේ දෙක දියත් කිරීම අවසානයේ කැනවරල් තුඩුවේ Landing Zone 1 සහ Landing Zone 2 වෙත ආපසු ගොඩබැසීමට සමත් විය. නමුත් B1066 පළමු අදියර නැවත ගොඩබැස්සේ නැත. මෙම මෙහෙයුමේ ගෙන යන චන්ද්‍රිකා නියමිත කක්ෂයට යැවීමට නම් පළමු අදියර ඉන්ධන අවසන් වන තුරුම දහනය කළ යුතු වේ. ඒ නිසා B1066 ගොඩබැසීමට අවශ්‍ය වන Landing Legs හෝ Grind Fins වලින් සමන්විත වූයේ නැත. SpaceX සමාගම මේ ආකාරයට සිතා මතාම පළමු අදියරක් අත හැරියේ 2020 වසරේ Crew Dragon in-flight abort test එකෙන් පසුවයි.

USSF-44 මෙහෙයුමේදී රොකට්ටුවේ දෙවන අදියරට විශාල කාර්යභාර්යක් තිබුණි. පළමු අදියරෙන් වෙන් වූ පසු දෙවන අදියරේ තනි Merlin 1D Vacuum එන්ජිම පළමු වරට ක්‍රියාත්මක විය. ඉන්පසු රොකට්ටුවේ Payload Fairing දෙක ගලවා දැමූ අතර පැරෂුට් මගින් සාගරයට ගොඩබසින මේවා ගොඩ ගැනීමට Doug නෞකාව දියත් පුවරුවේ සිට කිලෝමීටර් 1,439 ක් පමණ දුරින් අත්ලාන්තික් සාගරයේ ස්ථානගත වී තිබුණි. මීට පෙර වැඩිම දුරකින් Fairing ගොඩබැස්සේ STP-2 මෙහෙයුමේදීය. ඒ කිලෝමීටර් 1,346 ක් දුරිනි. සාමාන්‍ය Starlink චන්ද්‍රිකා දියත් කරන Falcon 9 මෙහෙයුමක නම් Fairing ගොඩබසින්නේ කිලෝමීටර් 670 ක් පමණ දුරිනි.

Falcon Heavy රොකට්ටුවේ දෙවන අදියරේ පළමු දහනයෙන් එය පහළ පෘථිවි කක්ෂයකට (Low Earth Orbit) ඇතුළු විය. ඉන්පසු එන්ජිම දෙවන වරට ක්‍රියාත්මක කර කක්ෂය භූ ස්ථාවර කක්ෂයක් ලබා ගමන් ගන්නා අතරමැදි ඉලිප්සාකාර කක්ෂයක් (Geosynchronous Transfer Orbit) බවට පත් කර ගනී. මෙම ඉලිප්සාකාර කක්ෂයේ ඉහළම කෙළවර කිලෝමීටර් 35,000 ක් පමණ උසක පිහිටයි. සාමාන්‍ය මෙහෙයුමකදී නම් මෙම ඉලිප්සාකාර කක්ෂයට චන්ද්‍රිකා මුදාහරින අතර චන්ද්‍රිකා විසින් කක්ෂයේ ඉහළම ස්ථානයේදී එන්ජින් දහනයක් සිදු කර කක්ෂය වෘත්තාකර භූ ස්ථාවර කක්ෂයක් (Geostationary Equatorial Orbit) බවට පත් කර ගනී.

මෙතෙක් කල් SpaceX සමාගම විසින් භූ ස්ථාවර කක්ෂවලට යැවූ සියළු දියත් කිරීම් ඒ ආකාරයේ දියත් කිරීම් විය. නමුත් SpaceX සමාගමට කෙළින්ම භූ ස්ථාවර කක්ෂයටම චන්ද්‍රිකා දියත් කරන මෙහෙයුමක් ලැබුනේ පළමු වතාවටයි. ඒ අනුව චන්ද්‍රිකා රැගත් දෙවන අදියර පැය 5 ක් පමණ මෙම ඉලිප්සාකාර කක්ෂයේ ඉහළ නැඟි අතර ⁣අවසානයේ කක්ෂයේ ඉහළම ස්ථානයට ළඟා වූ පසු එන්ජිම නැවත ක්‍රියාත්මක කර කක්ෂය වෘත්තාකර භූ ස්ථාවර කක්ෂයක් බවට පත් කර ගන්නා ලදී.

ඔබ මෙම දියත් කිරීමට යොදා ගන්නා Falcon Heavy රොකට්ටුව දුටුවේ නම් ⁣කලින් දියත් කළ Falcon Heavy රොකට්වලට සාපේක්ෂව ප්‍රධාන වෙනස්කම් 2 ක් නිරීක්ෂණය කරන්නට ඇති. එකක් නම් පළමු අදියරේ ගොඩබැසීමට අවශ්‍ය වන Landing Legs සහ Grid Fins නොමැති වීමයි. අනිත් වෙනස වන්නේ දෙවන අදියරේ කොටසක් අළු පැහැයෙන් වර්ණ ගන්වා තිබීමයි. එයට හේතුව වන්නේ පැය 5 කට වැඩි කාලයක් කක්ෂයේ පවතින විට ඉන්ධන ටැංකිය අධික ලෙස සිසිල් වීම වැළැක්වීමටයි.

මෙහි ඉන්ධනය වන පිරිසිදු කළ භූමිතෙල් අධික ලෙස සිසිල් වුවහොත් ඝන හෝ උකු තත්වයකට පත් වේ. මෙය වළක්වාගැනීමට නම් ඉන්ධන ටැංකිය උණුසුම් තත්වයක පවත්වා ගත යුතුය. ඒ සදහා ඉන්ධන ටැංකිය සුදු පැහැයෙන් නොව අළු පැහැයෙන් වර්ණ ගන්වා ඇත. එවිට සූර්යාලෝකය පරවාර්තනය වීම අවම වී ඉන්ධන ටැංකිය අවශ්‍ය උෂ්ණත්වයට උණුසුම් වේ. කෙසේ හෝ දියත් කිරීමෙන් පැය 6 කට පමණ පසු එන්ජින් දහනයන් 3 කට පසු දෙවන අදියර විසින් චන්ද්‍රිකා 2 භූ ස්ථාවර කක්ෂයට මුදා හරින ලදී. ඉන්පසු දෙවන අදියර බොහෝ විට භූ ස්ථාවර කක්ෂයට ඉහළින් පවතින කක්ෂයකට ඇතුල් කර අතහැර දමයි.