Loading...
ලොව වසඟ කළ ජේම්ස් වෙබ්ගේ මුල්ම වර්ණ ඡායාරූප ගැන විස්තරාත්මක විග්‍රහය

ලෝකය පුරා තාරකා විද්‍යාලෝලීන් ඇඟිලි ගනිමින් බලා සිටි දෙයක් පසුගියදා සිදු විය. ජූලි 12 වනදා NASA ආයතනය ඇතුළු James Webb අභ්‍යවකාශ දුරේක්ෂ වැඩසටහනට සම්බන්ධ යුරෝපීය (ESA) සහ කැනේඩියානු (CSA) අභ්‍යවකාශ ආයතනවල විද්‍යාඥයින් එක්ව James Webb දුරේක්ෂයේ මුල්ම විද්‍යාත්මක නිරීක්ෂණයන් එළි දක්වන ලදී.

James Webb අභ්‍යවකාශ දුරේක්ෂයේ මුල්ම විද්‍යාත්මක නිරීක්ෂණ සඳහා යොදා ගත්තේ පහත ආකාශ වස්තූන් 5 යි.

  1. SMACS J0723.3-7327 : ආලෝක වර්ෂ බිලියන 5.12 ක් දුරින් පිහිටා ඇති ගුරුත්වාකර්ශණ කාචයක් ලෙස ක්‍රියා කරන මණ්දාකිණි පොකුරකි. ගුරුත්වාකර්ෂණ කාචය නිසා මෙයට පිටුපසින් ඉතා දුරින් පවතින වස්තූන් දැක ගැනීමට ඉඩ සලසයි.
  2. NGC 3324 - ආලෝක වර්ෂ 9,100 ක් දුරින් පවතින, Carina නිහාරිකාව අසළ තාරකා බිහිවන කලාපයක්.
  3. Stephan’s Quintet - මණ්දාකිණි 5 කින් සමන්විත මණ්දාකිණි පොකුරකි.
  4. Southern Ring ග්‍රහ නිහාරිකාව - ආලෝක වර්ෂ 2,000 ක් පමණ දුරින් පිහිටන ග්‍රහ නිහාරිකාවකි. විෂ්කම්භය අලෝක වර්ෂ බාගයක් පමණ වේ.
  5. WASP-96b (වර්ණාවලියක්) : ආලෝක වර්ෂ 1,150 ක දුරින් පිහිටන 2MASS 00041112-4721382 තාරකාවේ සෞරග්‍රහ මණ්ඩලයට අයත් වන ග්‍රහලෝකයක වර්ණාවලියක්.
James Webb's Deep Field

පළමු ඡායාරූපය වන්නේ ඇමරිකානු ජනාධිපති Joe Biden විසින් ඉදිරිපත් කළේ SMACS J0723.3-7327 මණ්දාකිණි පොකුරේ ඡායාරූපයයි. මෙම ඡායාරූපය මධ්‍යයේ ඇත්තේ ඒ මණ්දාකිණි පොකුරයි. ඊට අමතරව ක්ෂීරපථයේ ඇති තාරකා කිහිපයක් මෙහි දිස් වේ. අනිත් ආකාශ වස්තූන්වලින් තරු වෙන් කර හඳුනාගත හැක්කේ ඒවා වටා ඇති ආලෝක ධාරා වැනි රේඛා 6 නිසායි. එය ඇති වන්නේ දුරේක්ෂයේ ප්‍රාථමික දර්පණයේ ෂඩාස්‍රාකාර කොටස්වල දාර 6 නිසායි. මේ තාරකා අතලොස්ස හැරුණු කොට මේ ඡායාරූපයේ දිස්වන අන් සියළුම වස්තූන් පාහේ මණ්දාකිණි වේ. මධ්‍යයේ ඇති මණ්දාකිණි පොකුර නිසා ඇති වන ගුරුත්වාකර්ෂණ කාචය හේතුවෙන් ආලෝක වර්ෂ බිලියන ගණනක් දුරින් ඇති මණ්දාකිණි ආසන්න වී මේ මණ්දාකිණි පොකුර වටා ⁣දිස් වේ.

අති විශාල ස්කන්ධයක් හමුවේ ආලෝක කිරණ හා අධෝරක්ත කිරණ ඇතුළු සියළුම විද්‍යුත් චුම්භක තරංග නැමෙන නිසා ඒ සිදුවීම උත්තල කාචයක් හරහා අලෝකය ගමන් කරන විට සිදු වන ආකාරයට සිදු වූවොත් එම ස්කන්ධයට පිටුපසින් ඇති වස්තූන් කාචයකින් මෙන් විශාල කර පෙන්වයි. ඒ නිසා වඩා දුර නිරීක්ෂණය කිරීමට හැකි වේ. මෙය ගුරුත්වාකර්ෂණ කාචයක් ලෙස හඳුන්වයි.

ගුරුත්වාකර්ෂණ කාචයක සටහනක්

ආලෝක කිරණ නැමීම නිසා ගුරුත්වාකර්ශණ කාචයට හමු වූ වස්තූන් වක්‍ර වී, විකෘති වී දැක ගත හැක. මෙම ඡායාරූපය සකස් කර ඇත්තේ පැය 12.5 ක් පුරා James Webb දුරේක්ෂයේ NIRCam උපකරණය විසින් සිදු කළ නිරීක්ෂණ මඟිනි. මයික්‍රොමීටර් 0.6 සිට මයික්‍රොමීටර් 5 දක්වා අධෝරක්ත තරංග කලාපයක නිරීක්ෂණ සිදු කළ හැකි මෙම උපකර⁣ණයෙන් ලබා ගත් නිරීක්ෂණයන් පහත පරිදි වර්ණ ගන්වා මෙම අලංකාර ඡායාරූපය නිර්මාණය කර ඇත.

  • නිල් - මයික්‍රොමීටර් 0.9/1.5 අධෝරක්ත තරංග
  • කොළ - මයික්‍රොමීටර් 2.0/2.77 අධෝරක්ත තරංග
  • තැඹිලි - මයික්‍රොමීටර් 3.56 අධෝරක්ත තරංග
  • රතු - මයික්‍රොමීටර් 4.44 අධෝරක්ත තරංග
NGC 3324 "Cosmic Cliffs"

දෙවෙන ඡායාරූපය වන්නේ NGC 3324 නමින් හඳුන්වන Carina නිහාරිකාව (NGC 3372) අසළ ඇති තාරකා උපදින කලාපයකි. Cosmic Cliffs නමින් හඳුන්වන මේ කලාපයේ බිහි වන නව තාරකාවලින් පි⁣ටවෙන පාරජම්බුල කිරණෙන් මේ කලාපය හැඩගස්වා ඇත. මෙහි දැක්වෙන විවිධ කොටස් ගැන අවධානය යොමු ක⁣ළොත්,

ඉහළට නැඟී ඇති කුළුණු වැනි නිර්මාණයන් බිහි වන්නේ තරුණ තාරකාවලින් නිකුත් වන පාරජම්බුල කිරණෙන් ඉවතට තල්ලු කරන දූවිලිවලිනි.

කඳු පංති වැනි ප්‍රදේශවලින් ඉහළට නැඟෙනා වායූන් ලෙස දිස් වන්නේ පාරජම්බුල කිරණ නිසා අයනීකරණය වූ වායූන් සහ ඉවතට තල්ලු වන දූවිලිය.

පෙණ බුබුළු සහ කුහර ලෙස දිස් වන්නේ අළුතින් තාරකා බිහිවුණු ස්ථානවල පිරිසිදු වූ පරිසරයයි.

මෙම ඡායාරූපයත් NIRCam උපකරණයේ ග්‍රහණයකි.

Stephan’s Quintet මණ්දාකිණි පොකුර

තෙවන ඡායාරූපය වන්නේ Stephan’s Quintet මණ්දාකිණි පොකුරයි. මෙය තනි ඡායාරූප 1,000 කට වැඩි ප්‍රමාණයක් එකතු කර සාදන ලද්දකි. මෙම ඡායාරූපයෙන් ආවරණය වන්නේ අහසේ චන්ද්‍රයාගේ දෘෂ්‍ය විෂ්කම්භය මෙන් 1/5 ක දිග පළල ඇති කලාපයකි. මෙම මණ්දාකිණි පොකුරේ ඡායාරූපය නිර්මාණය කර ඇත්තේ NIRCam හා MIRI උපකරණවලින් ලබා ගත් තොරතුරුවලිනි. මේ පොකුරට අදාළවන මණ්දාකිණිවලින් එකක් අනිත් මණ්දාකිණිවලට වඩා පෘථිවියට ආසන්නවෙන් පවතී. වම් කෙළවරේ ඇති NGC 7320 මණ්දාකිණිය පෘථිවියේ සි⁣ට ආලෝක වර්ෂ මිලියන 40 ක් දුරින් පවතින අතර ඉතිරි මණ්දාකිණි 4 සැබෑවටම එකිනෙකට ආසන්නයේ පවතයි. NGC 7317, NGC 7318A, NGC 7318B සහ NGC 7319 යන නම්වලින් හඳුන්වන මේ මණ්දාකිණි 4 පෘථිවියේ සිට ආලෝක වර්ෂ මිලියන 290 ක් දුරින් පිහිටයි. මීට අමතරව අනිත් ඡායාරූපවල මෙන්ම පසුබිමේ මණ්දාකිණි විශාල ප්‍රමාණයක් දිස් වේ.

Southern Ring ග්‍රහ ⁣නිහාරිකාව

එකම වස්තුවේ ආකාර දෙකක් ඇති සිව්වන ඡායාරූපයෙන් දිස් වන්නේ Southern Ring ග්‍රහ ⁣නිහාරිකාවයි. ග්‍රහ නිහාරිකා නිහාරිකා යන නාමයෙනි හැඳින්වූවත් සැබැවින්ම මේ මිය යන තාරකාවක අවසන් යුගයයි. සූර්යයාගේ වැනි ස්කන්ධයක් ඇති තාරකා වයස්ගත වන විට රතු යෝධ තාරකා බවට ප්‍රසාරණය වේ. ඉන්පසු එහි බාහිර ස්ථර එලෙස තබා අභ්‍යන්තරය පමණක් සංකෝචනය වී මධ්‍යයේ කුඩා සුදු වාමන තාරකාවක් හා වටේට දූවිලි වළාවක් මෙන් දිස් වන ග්‍රහ නිහාරිකා සාදයි. වම්පස ඇති ඡායාරූපය NIRCam උපකරණයෙන්ද දකුණු පස ඡායාරූපය MIRI උපකරණයෙන්ද ලබා ගෙන ඇත. සංසන්දනය කළ විට මධ්‍යම අධෝරක්ත කලාපයෙන් ඡායාරූප ලබා ගන්නා MIRI උපකරණයට දූවිලි වළාවන් හරහා මධ්‍යයේ ඇති තාරකාව වඩා පැහැදිලිව නිරීක්ෂණය කිරීමට හැකි වී ඇති බව පැහැදිලි වේ.

A spectrum of WASP-96b

මේ වස්තූන්ට අමතරව James Webb දුරේක්ෂයේ පළමු විද්‍යාත්මක නිරීක්ෂණ එළි දැක්වීමේදී ඉදිරිපත් කළ 5 වන ඉලක්කය වන්නේ 2MASS 00041112-4721382  තාරකාව වටා කක්ෂගත වී ඇති WASP-96b ග්‍රහලෝකයේ වර්ණාවලියයි. එනම් ඒ තාරකාවේ ආලෝකය ග්‍රහලෝකයේ වායුගෝලය හරහා දුරේක්ෂය වෙත ලැබෙන විට වායුගෝලයයේ ඇති විවිධ වායූන් නිසා එම ආලෝකයේ විව්ධ වෙනස්කම් සිදු කර ඇත. වර්ණාවලිය අධ්‍යයනයෙන් එම වෙනස්කම් සොයා ගෙන ග්‍රහලෝකයේ වායුගෝලය සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමට හැකි වේ. මෙමඟින් ඒ ග්‍රහලෝකයේ වායුගෝලය තුළ ජල වාෂ්ප අන්තර්ගත බව පැහැදිලි වේ.

සාමාන්‍ය ජනතාවට ඡායාරූප කිහිපයක් විදිහට ඉදිරිපත් කළත් James Webb දුරේක්ෂයේ මේ දක්වා සියළු විද්‍යාත්මක නිරීක්ෂණ දත්ත ගිගාබයිට් 40,000 ක් පමණ වෙනවා. ඒ දත්ත ලෝකය පුරා විද්‍යාඥයින්ට දැන් භාවිතා කිරීමට හැක.

මේ James Webb අභ්‍යවකාශ දුරේක්ෂයේ මුල්ම විද්‍යාත්මක නිරීක්ෂණ කිහිපයයි. තවත් දශක 2 ක් පමණ ක්‍රියා කිරීමට බලාපොරොත්තු වන දුරේක්ෂය විසින් විශ්වය පිළිබදව අළුත් තොරතුරු කොපමණ ප්‍රමාණයක් අප වෙත ලබා දේ දැයි අප නොඉවසිල්ලෙන් බලා සිටිමු.