Loading...
Artemis සමඟ selfie ගන්​න හඳ​ට ගිය GoPro කැමරා

ඇමරිකාවේ ජනාධිපති ‌John F. Kennedy ගේ අදහසකට අනුව 1969 සිට 1972 දක්වා කාලයේදී මිනිසුන් 12 දෙනෙක් චන්ද්‍රයා මත පා තබා ඇත. නමුත් ඉන්පසු ඇමරිකාවේ සිදු වූ දේශපාලන වෙනස්කම් මත ඉහළ වියදමකින් යුක්ත Apollo ව්‍යාපෘතිය නවතා දැමුණු අතර දශක 5 ක් පුරාවට පහළ පෘථිවි කක්ෂයෙන් එපිටට මිනිසෙක් ගෙන යා හැකි අභ්‍යවකාශ යානයක් කිසිවෙක් සතු වූයේ නැත. නමුත් ඇමරිකාවේ මෑතකාලීන ආණ්ඩු කිහිපයක පෙළඹවීම යටතේ නැවත වරක් මිනිසුන් චන්ද්‍රයා බලා ගෙන යා හැකි අභ්‍යවකාශ යානයක් සහ එය දියත් කිරීමට රොකට්ටුවක් සංවර්ධනය කිරීමට NASA ආයතනය සමත් වී ඇත.

Apollo දෙවියාගේ සහෝදරිය වන Artemis ගේ නමින් නම් කෙරුණු මේ වැඩසටහනේ අරමුණ 2025 දී සිට මිනිසුන් චන්ද්‍රයා මතට යැවීමටයි. නමුත් මේ අළුත්ම Orion යානය සහ අළුත්ම Space Launch System රොකට්ටුව මිනිසුන් ගමන් කරන මෙහෙයුමකට භාවිතා කිරීමට පෙර පරීක්ෂා කිරීම වෙනුවෙන් මිනිසුන් නොමැති මෙහෙයුමක් සිදු කළ යුතුවේ. ඉතින් ඒ මෙහෙයුම නොවැම්බර් 16 වනදා දියත් කළ Artemis I මෙහෙයුමයි.

Orion යානය අඩ සියවසකට පමණ පසු සංවර්ධනය කළ මිනිසුන්ට පහළ පෘථිවි කක්ෂයෙන් දුරට ගමන් කළ හැකි පළමු අභ්‍යවකාශ යානයයි. Apollo යානයට වඩා ප්‍රමාණයෙන් විශාල මේ යානයේ ගගනගාමීන් 4 දෙනෙක්ට පහසුවෙන් ගමන් කිරීමට හැක. Orion යානයේ සංවර්ධන කටයුතු ආරම්භ වූයේ ජනාධිපති George W. Bush ගේ ආණ්ඩුවෙන් ආරම්භ කළ Constellation වැඩසටහනේදීය.

නමුත් ජනාධිපති Barack Obama ගේ ආණ්ඩුව විසින් එම වැඩසටහන නවතා දමන ලදී. එහිදී එම වැඩසටහන යටතේ සංවර්ධනය වුණු Ares I සහ Ares V රොකට් අතහැර දැමූ නමුත් Orion වැඩසටහන නැවතුනේ නැත. එය පසුව ආරම්භ කළ Space Launch System රොකට් වැඩසටහනට අන්තර්ගත කරන ලදී.

SLS රොකට්ටුවේ කොටස්

SLS රොකට්ටුව ඝන ඉන්ධන බූස්ටර් 2 ක් සහ ද්‍රව ඉන්ධන අදියර 2 ක් ඇති දැවැන්ත රොකට්ටුවකි. පළමු අදියරේ ඇත්තේ අභ්‍යවකාශ ෂටල්වල භාවිතා කර ඉතිරි වූ RS-25 රොකට් එන්ජින් 4 කි. Interim Cryogenic Propuslion Stage නමින් හැඳින්වෙන දෙවන අදියරේ ඇත්තේ 60 දශකයේ සිට භාවිතා කරනා RL-10 තනි රොකට් එන්ජිමකි. දියත් කරන මොහොතේදී පළමු අදියර එන්ජින් 4 සමඟින් ක්‍රියා කරනා ඝන ඉන්ධන බූස්ටර් 2 මුල් මිනිත්තු 2 දී රොකට්ටුව ඉහළ වායුගෝලය වෙත ගෙනයෑමට උපකාරී වේ.

ඉන්පසු පළමු අදියර තවත් මිනිත්තු 6 ක් තනිවම අභ්‍යවකාශය බලා ගමන් කරයි. කෙනෙඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් දියත් කර පැය 2 කට පමණ පසුව Orion යානය දෙවන අදියරෙන් වෙන් වන්නේ යානයට චන්ද්‍රයා බලා යෑමට අවශ්‍ය පැයට කිලෝමීටර් 36,210 ක පමණ ප්‍රවේගය ලබා දීමෙන් පසුවයි.

Artemis I දියත් කිරීම

මෙම මෙහෙයුමේදී SLS රොකට්ටුව ඉතාමත් සාර්ථක ලෙස ක්‍රියා කළ අතර Orion යානය නිවැරදිව චන්ද්‍රයා බලා යන ගමන් මාර්ගයකට ඇතුල් කිරීමට සමත් විය. දින 5 ක් පුරා චන්ද්‍රයා වෙත ගමන් කළ යානය නොවැම්බර් 21 වනදා චන්ද්‍රයා වටා ඉලිප්සාකාර කක්ෂයකට ඇතුල් විය.

Orion යානය සහ චන්ද්‍රයා

දින 25.5 ක් පුරා දිවෙන මේ මෙහෙයුමේදී Orion යානයේ ක්‍රියාකාරිත්වය පරීක්ෂා කිරීමට NASA ආයතනය බලාපොරොත්තු වේ. ඒ තොරතුරු අනාගතයේදී ගගනගාමීන් ගමන් කරන මෙහෙයුම්වලට ප්‍රයෝජනවත් වනු ඇත. නමුත් අන් කවර මෙහෙයුමකටත් වඩා මේ මෙහෙයුමේ කැපී පෙනෙන අංගයක් වන්නේ Orion යානයේ සවි කර ඇති GoPro Hero 4 කැමරාවලින් පෘථිවියට එවන ඡායාරූප සහ වීඩියෝය.

යානයේ සූර්ය පැනලවල කෙළවරේ සවි කර ඇති මේ කැමරාවලින් සෙල්ෆි ආකාරයේ දර්ශණ ලබා දෙන නිසා මීට පෙර කිසිදු අභ්‍යවකාශ මෙහෙයුමකින් නොලැබුණු ආකාරයට ලැබෙන මේ ඡායාරූප අභ්‍යවකාශලෝලීන්ව අමන්දානන්දයට පත් කිරීමට සමත් වී ඇත.

Orion යානය සහ පෘථිවිය

මේ වන චන්ද්‍රයා වටා කක්ෂයක පවතින යානය දෙසැම්බර් 05 වනදා නැවත පෘථිවිය බලා පිටත් වනු ඇත. ඉන්පසු දෙසැම්බර් 11 වනදා යානය පෘථිවි වායුගෝලයට ඇතුළු වනු ඇත. තත්පරයට කිලෝමීටර් 11 ක වේගයෙන් ඇතුළු වන යානයේ ඉදිරිපස සෙල්සියස් අංශක 2,760 කට පමණ උණුසුම් වේ. නමුත් මේ උෂ්ණත්වයෙන් යානය ආරක්ෂා කිරීමට තාප ආවරණයක් සවි කර ඇත. එහි ක්‍රියාකාරිත්වය පරීක්ෂා කිරීමත් මෙම මෙහෙයුමේ අරමුණක් වේ. සියල්ලම හොඳින් සිදු වුවහොත් Orion යානය පැරෂුට් මඟින් ශාන්තිකර සාගරයට ගොඩබසිනු ඇත.

Orion යානයේ ආකෘතියක් සාගරයේ