Loading...
IBM සමාගම දින 4කට අධික බැටරි ආයු  කාලයක් ලබාදිය හැකි, 2nm මයික්‍රෝ චිපයක් නිපදවයි

පරිගණක විද්‍යාවේ පෙරළියක් ඇති කරමින් පළමු වරට නැනෝ මීටර් 2ක් තරම් කුඩා ට්‍රාන්සිස්ටර් ඇති මයික්‍රෝ චිපයක් නිපදවීමට IBM සමාගම සමත් වී තිබෙනවා.

ඇයි එච්චර පොඩි?

මයික්‍රෝ චිප් සෑදී ඇත්තේ IC රැසක එකතුවෙන්. එමෙන්ම IC සෑදී ඇත්තේ ට්‍රාන්සිස්ටර් රැසක එකතුවෙන්. ට්‍රාන්සිස්ටරයක ප්‍රමාණය කුඩා වන තරමට සිලිකන් චිපයකට ඒවා එකතු කළ හැකි ප්‍රමාණය වැඩි වන අතර, එමගින් එම චිපයේ බලසම්පන්න බවත්, සංකීර්ණ බවත් වැඩි වෙනවා.

මෙම නව චිපයේ ට්‍රාන්සිස්ටර් පිහිටා ඇති අයුරු. Image: IBM

මේ සියල්ල ගණනය කිරීමේ කාලය අඩු කරගැනීමට, එහෙමත් නැති නම් ගණනය වේගවත් කිරීමට දායක වනවා.

මොකක්ද වාසිය?

IBM සමගම ප්‍රකාශ කරන ආකාරයට මෙම ප්‍රොසෙසර් හි performance එක දැනට පවතින නැනෝ මීටර 7 ප්‍රොසෙසර් වලට වඩා 45% කින් වැඩි වනවා. එමෙන්ම පවතින ප්‍රොසෙසර් වලට වඩා 75% ක බලශක්ති කාර්යක්ෂමතාවයක් ලබා දෙනවා.

IBM සමාගමේදී මෙම නව චිප් සහිත wafer යක් ප්‍රදර්ශනය කළ අයුරු. Image: IBM

මෙම ගණනය කිරීම් ප්‍රයෝගිකව සිදු වුවහොත් (සිදු වන බවට ඔවුන් ප්‍රකාශ කරනවා) එමගින් සාමාන්‍ය smartphone එකක බැටරි ආයු කාලය 4 ගුණයකින් වැඩි කිරීමට මෙම නව ප්‍රොසෙසර් වලට හැකියාව ලැබෙනවා. එනම් smartphone එකක් දින 4කට වරක් පමණක් charge කිරීම ප්‍රමාණවත් වනු ඇති.

මේ ලෙසම laptop හා desktop පරිගණක වල බලශක්ති කාර්යක්ෂමතාවය ද විශාල පෙරළියකට ලක් වන බව නිසැකයි.

ලෝක චිප් හිඟය

මේ වන විට මුළු ලොවම විශාල (computer) චිප් හිඟයකට මුහුණ පා සිටින බවත් එයට හේතුත් Android වැඩකාරයෝ කියවන ඔබ දන්නවා. පරිගණක, පරිගණක කොටස් (Graphics card ආදියත්), smartphone වගේම මෝටර් රථ නිෂ්පාදනයටත් මෙය තදින්ම බලපා තිබෙනවා.

මේ වන විට intel සමාගම ඩොලර් බිලියන 20ක් වය කරමින් පරිගණක චිප් කර්මාන්තශාලා 2ක් ඇරඹීමට සුදානම් වන්නේ ලෝක චිප් සැපයුමෙන් 80%ක් ම ආසියානු රටවලින් ලබා ගැනීම නුවණට හුරු නැති බව පවසමින්.

Source: BBC